Home කාලීන පුවත් හින්දු කෝවිල්වල කැන සමග කෙසෙල් ගස කපා සිටුවන්නේ ඇයි

හින්දු කෝවිල්වල කැන සමග කෙසෙල් ගස කපා සිටුවන්නේ ඇයි

by Hela news

හින්දු ආගමික විශ්වාසයන්ට අනුව සොබාදහමට අයත්, ගස්වැල් හා සතුන් විශාල භක්තියකින් යුතුව වන්දනාමාන කරති. සත්වයකු ලෙස ගවයාත්, ගසක් ලෙස කෙසෙල් ගසත් ඒ අතර ප්‍රධානය. ගස්, දෙවියන් ලෙස ගෞරවයට පාත්‍රවන අතර සෑම ගසක්ම හා සතෙකුම හින්දු දෙවියන් හා ඍජුවම සම්බන්ධ වන බව ද විශ්වාස කෙරේ.  


කෙසෙල් ගස හා එහි පත්‍ර හින්දු ආගමේදී විශ්වාස කෙරෙන්නේ ශුද්ධ වූ වස්තූන් ලෙසය. කහ වර්ණය සෞභාග්‍යයේ හා සුබ මුහුර්තයේ වර්ණය බව පිළිගන්නා හින්දුන් තම නිවසේ පැවැත්වෙන විවාහ මංගල්‍යයන් ප්‍රධාන කොට ගත් සියලුම ආකාරයේ උත්සවවලදී කෙසෙල් කැණ හා මුව සහිත පූර්ණ කෙසෙල් ගස් දෙකක් නිවස ඉදිරිපිට සිටුවා ඔවුහු අපේක්ෂා කරන්නේ විවාහයෙන් පසු දරුවන් ලැබ පවුලක් ලෙස සිටීමයි. විවාහ උත්සවවලදී මගුල් පෝරුව හෙවත් ‘මනමේඩෙයි’ ඉදිරිපසද කෙසෙල් ගස් සිටුවා තබති.   
මංගල අවස්ථාවලදී කෙසෙල් ගසට අමතරව තුල්සි, පීපල්, නීමි, ආටි, අශෝක, බිල්වපනා, නරියාල්, අඹ යන ශාක හා ශාක පත්‍රවලට ද වන්දනාමාන කෙරේ. කෙසෙල් ගස ලෙහෙසියෙන් විනාශ නොවී පඳුරු දමමින් වර්ධනය වන ආකාරයටම තමන්ගේ සෞභාග්‍යය හින්දුන් අපේක්ෂා කරති.   


කෙසෙල් ගස මහා පරිමාණයෙන් නොවැඩෙන, දැවමය කඳක් නොතිබෙන එකක් වුවද එය බහුවාර්ෂික ශාකසාර ගණයට වැටේ. කෙසෙල් ගසේ මුල, කඳ, පත්‍ර හා ගෙඩි යන සෑම කොටසක්ම වැදගත් ලෙස සැලකේ. පූජනීය වූ කෙසෙල් ගස බ්‍රහස්පති දෙවියන් ලෙස හින්දුන් විශ්වාස කරන අතර පවුලේ දියුණුව පතා වන්දනාමාන කරන කෙසෙල් ගස විෂ්ණු හා ලක්ෂ්මී දෙවියන්ද සංකේතවත් කරන අතර විෂ්ණු දෙවියන් ඒ තුළ වැඩ හිඳින බවද විශ්වාස කෙරේ.   


බ්‍රහස්පතින්දා දිනයේදී විෂ්ණු හා ලක්ෂ්මී දෙවියන්ට කෙසෙල් ගෙඩි පූජා කරන යුවලකට ප්‍රීතිමත් හා සාමකාමී විවාහයක් හා ජීවිතයක් හිමිවන බවට විශ්වාසයයි. මෙම කෙසෙල් ගෙඩි පූජාව සඳහා හොඳම කාලය ලෙස සැලකෙන්නේ වසරේ දීප්තිමත්ම කාලය ලෙස සැලකෙන දෙසැම්බර් – ජනවාරි කාලය අතරේ ඇති 11 වන දිනයයි. බ්‍රහස්පති ග්‍රහ දෝෂවලින් පීඩා විඳින උදවිය සෑම බ්‍රහස්පතින්දාවකම කෙසෙල් ගසට නමස්කාර කිරීම ආරම්භ කළ යුතු අතර අයහපත් බලපෑම් මගහරවා ගැනීමට මැණික් ගලක් පැලඳිය යුතුය. මැණික් ගලක් පැලඳිය නොහැකිනම් කෙසෙල් ගසේ මූල කොටස් පැලඳිය හැකි බව ද පැවැසේ. කෙසෙල් ගෙඩි විෂ්ණු දෙවියන්ට පූජා කරනු ලබෙන්නේ පවුලේ සතුට හා සාමය පතා ආශිර්වාද ලබාගැනීමටය.   
එමෙන්ම ආහාර පූජාව සඳහා ද පත්‍ර භාවිත කරන අතර කෙසෙල් කැන් සහිත ගස් හින්දු කෝවිල් ඇතුළු ආගමික ස්ථානයන්හි ඇතුල් වීමේ දොරටුව සැරසීමට යොදාගන්නේ එම ස්ථානයට වඩින දෙවියන් පිළිගැනීම සඳහාය. විවාහ ශාලාව හෝ නිවස දෙපස පූර්ණ කෙසෙල් ගස් දෙකක් සිටුවන්නේ මනාලයා හා මනාලිය නියෝජනය කරමිනි.   


කෙසෙල් ගස සම්බන්ධව හින්දු පුරාවෘත්තයට අනුව සිදුවීම් ගණනාවකි. ඉන් එකක් මෙසේය.  
රිෂී දුර්වාසා නම් පුද්ගලයා ඔහුගේ බිරිඳගේ නින්දට බාධා කිරීම නිසා බිරිඳ ඔහුට බැණ වැදුණේය. බිරිඳ හා සැමියා අතර ආරවුල දුරදිග ගොස් බිරිඳ තම සැමියාට ශාප කළේ කෙසෙල් ගසක් බවට පත්වන්නට යැයි කියාය. ශාපය ලැබී සැමියා කෙසෙල් ගසක් බවට පත්විය. සිද්ධියෙන් පසුව බි​රිඳ තමන්ගේ ඉක්මන්වීම ගැන කනගාටුවට පත්වූවාය. පසුව ඇය තම සැමියාගෙන් (කෙසෙල් ගසෙන්) ඉල්ලා සිටියේ තමාට විශේ‍ෂ වූ හා ශුද්ධ වූ ගසකට සැලකීමට තමන්ට අවසරය ලබාදෙන ලෙසය. සැමියා තම බිරිඳගේ ඉල්ලීමට ඉඩදුන් අතර කෙසෙල් ගස පූජනීය තත්ත්වයට පත්වූයේ එදින සිට බව කියැවේ.

   
හින්දු ආගමිකයින් ජ්‍යොතිෂයට අනුවද කෙසෙල් ගසට වන්දනාමාන කිරීම කරති. කෙසෙල් ගසට වතුර දැමීම හා වන්දනාමාන කිරීම කළ යුතු වන අතර සෑම බ්‍රහස්පතින්දා දිනකම නව වතාවක් කෙසෙල් ගස වටා ගොස් එහි මුල්වලට ජලය වත් කළ යුතුය. සෑම බ්‍රහස්පතින්දා දිනකම එය පුරුදු කිරීමෙන් පුද්ගලයන්ට බ්‍රහස්පති ග්‍රහලෝකයෙන් ප්‍රතිලාභ ලබාගත හැකිය.   


මංගල දෝෂ ඇති විවාහපත් නොවූ අයකුට කෙසෙල් ගසක් විවාහ කර ගැනීමෙන් එම දෝෂ ඉවත් කර ගැනීමට හැකි බව ජ්‍යොතිෂයේ විශ්වාසයයි. එසේම අදටත් අපේ රටේත් ක්‍රියාත්මක වන හින්දු චාරිත්‍රයක් වන්නේ අවිවාහක පිරිමි අයෙකු මියගිය විට, අවමංගල්‍ය දිනයේදී නිවසින් මෘතදේහය රැගෙන යාමට පෙර කෙසෙල් ගසක් ගෙන එහි ‘තැල්ල බඳිනවා’ යන චාරිත්‍රය ඉටුකරයි. පූසාරි විසින් ඉටුකරන මෙම චාරිත්‍රයේදී කෙසෙල් ගස දෙකට කපනු ලබයි. තනිකඩව සිට මියගිය අය තනි නොකරන්නට මෙම තැල්ල බැඳීම සිදුකරයි. මේ සඳහා වැඩි වශයෙන් යොදා ගත්තේ රත් කෙහෙල් ය. තැල්ල බැඳීමේ අවස්ථාවට ගනු ලබන කෙසෙල් ගසේ කෙසෙල් කැණ හෝ මුව තිබීම අවශ්‍ය නොවේ.  


කෙසෙල් ගසට අමතරව හින්දුන් පොදු සිරිතක් ලෙස නිවසේ හෝ කෝවිලේ චාරිත්‍ර වාරිත්‍ර ඉටුකරන අවස්ථාවල අඹ කොළ මාලයකින් දොරටු අලංකාර කිරීමද සිදුකරයි. ඊට හේතුව අඹ කොළ පූජනීය ඒවා ලෙස හින්දුන් සැලකීමයි. ඕනෑම උත්සව අවස්ථාවකදීම අඹ කොළ පහකින් කළයක් සරසා එහි ‘සින්දුර්’ ආලේප කිරීම සිරිතකි. අඹ කොළ මාලයක් එල්ලීමේ වැදගත්ම අරමුණ වන්නේ අඹවලට ඉතා ඇළුම් කළ පාර්වතී දේවතාවියගේ හා ශිව ගණපති හා මුරුගන් දෙවියන් සංකේතවත් කිරීමයි.  


අඹ කොළ එල්වා තැබීමෙන් නිවසට හෝ කෝවිලට ඇතුල්වන නපුරු ක්‍රියාවන්ගේ දුර්වල දේ පලවා හරින බවටත්, විශේෂයෙන්ම නපුරු ආත්මයන් පළවා හරින්නට අඹ කොළවලට ශක්තිය ඇති බවත් විශ්වාසයයි. අඹ කොළය මෙන්ම කෙසෙල් කොළයත් හින්දුන්ගේ පූජනීයත්වයට පත්වූයේ ඒ ආකාරයෙනි.  
හින්දුන් බොහෝවිට ආහාර ලබාගන්නේ බිම හිඳගෙනය. ඉන් වැඩි අවස්ථාවකදීම ආහාර ගනු ලබන ‘පිඟාන’ බවට පත්වන්නේ කෙසෙල් කොළයයි. එහෙත් පාරිශුද්ධත්වයට හා වන්දනාමානයට පත්වූ කෙසෙල් කොළයට ඔවුන් බෙදාගනු ලබන්නේ එළවළු ආශ්‍රිත ආහාර පමණි. මස්, මාළු වර්ග ඔවුන් කෙසෙල් කොළයට බෙදා නොගනිති. ඒවා කෙසෙල් කොළයට බාහිරින් තබාගෙන අනුභව කරති. හින්දුන් බිම වාඩි වී කෑම අනුභව යද කෙසෙල් කොළයට දක්වන ගෞරවයක් සේ සැලකේ.  


තමන්ගේ කුමන වූ හෝ උත්සව අවස්ථාවන්හිදී ප්‍රයෝජනයට ගන්නට කෙසෙල් පැළ රෝපණය කළේ ආදි කාලයේදී කාල හෝරාවකට අනුවය. තමන්ගේ පුතාගේ හෝ දියණියගේ විවාහ මංගල්‍යය ඉලක්ක කොටගෙන කෙසෙල් පැළ සිටවූ පසුව මංගල්‍යය අවස්ථාවේදී පූර්ණ කෙසෙල් ගස් බිහිවිය. එහෙත් දැන් එම කාලහෝරා බිඳ වැටී තිබේ. සියල්ල මෙන් ඒවා ද වාණිජකරණය වී තිබේ. අද වන විට කෙසෙල් කැණ හා කෙසෙල් මුව සහිත පූර්ණ කෙසෙල් ගස් සොයා ගැනීම අති දුෂ්කර කාර්යයකි. බොහෝ උත්සවවල සිටුවා ඇති කෙහෙල් ගසට කෙසෙල් කැණක් වෙනම සවි කර තිබෙනු දක්නට ලැබේ.  


එසේ කෙසෙල් ගස් සොයා ගැනීමද අද ඉහළ මිලක් ගෙවිය යුතු කාරණාවක් බවට පත්ව තිබේ. උත්සවයකට අවශ්‍ය කෙසෙල් ගස් දෙකක් සොයා ගැනීමට රුපියල් පන් දහසක් පමණ වැයවේ. හින්දුන් විසින් කෙසෙල් ගසෙන් මෙතරම් ප්‍රයෝජනයක් ගනිද්දී රටේ බහුතර ජනතාව කෙසෙල් ගස් ‘කැණ’ කපා ගැනීමෙන් පසුව ඉතිරි සියල්ල ප්‍රයෝජනයක් නොගෙනම ඉවතට දමයි. හින්දු ආගමිකයින් පෙන්වන මෙම පූජනීය ශාකයේ වටිනාකම බොහෝ දෙනකු විසින් හඳුනාගත යුතුව ඇතැයි පෙන්වා දිය යුතුය.   

0 comment
0

Related Posts

Leave a Comment