Home ගොසිප් පුවත් හැමෝම අතරමං වෙන්න පුළුවන්

හැමෝම අතරමං වෙන්න පුළුවන්

by Hela news

ලාංකීය සාහිත්‍ය තුළ මනෝ විශ්ලේෂණීය නවකතා බිහිවන්නේ තරමක් සීමිතව ය. සමන් වික‍්‍රමාරච්චිගේ ‘අප්පච්චි ඇවිත්’ කෘතිය ඇතුළුව එවැනි කෘති බිහිව ඇත්තේ අල්ප වශයෙනි. සාම්ප‍්‍රදාය බිඳදමින් රැුඩිකල් චරිතයක් වීමට උත්සාහ කරන මනෝ ව්‍යාධියක් ඇති තරුණියක් සහ විශ්වවිද්‍යාල කථිකාචාර්යවරයකු අතර ඇතිවන සම්බන්ධයක් හරහා ගලායන ‘මං අතරමං’ නවකතාව සහසලා හුණුකුඹුරගේ කුළුඳුල් නවකතාවයි. කතාවේ තේමාත්මකය එසේ වුවද එය ලාංකීය සමාජය තුළ කාන්තාව පෙළන සංස්කෘතික සීමා, දරුවන්ගෙන් තම බලාපොරොත්තු ඉටුකරගන්නට උත්සාහ කරන දෙමාපියන් ගේ ඛේදවාචකය වැනි අතුරු තේමාවලට විහිදෙයි. එහි කතුවරිය අප සමඟ සම්මුඛ වුණේ මේ අයුරිනි.

මං අතරමං කියන නම සංකේතීයව අද අපි හැමෝම මුහුණ දීලා තියෙන තත්ත්වයක් වගේ කියලා මට දකිද්දිම හැඟුණා. මං අතරමං කෘතියට ඔබ එළඹුනේ කොහොමද? මේ තේමාව සහ සමාජය අතර සම්බන්ධය ගැන ඔබේ අදහස මොකක්ද?

‘මං අතරමං’ නවකතාව මම ලියන්න පටන් ගත්තෙ 2009 වසරෙදි. මේකට මූලික ප‍්‍රස්තූතය මගෙ ඔළුවට එන්නෙ මා වටා සිටින චරිතයක් නිසාම තමයි. ඇත්තටම කිව්වොත් මේ කතාව තුළ මම කතා කරන්න උත්සාහ කරන ආකාරයේ චරිත බොහොමයක් අපේ සමාජය තුළ

ගැවසෙන සාමාන්‍ය චරිත. විශ්වවිද්‍යාලයක් ඇතුලෙ මතු පිටින් නොපෙනෙන, සාමාජීය, සංස්කෘතික අන්ධභාවය නිසාම කෙනෙකුට අවබෝධ නොවන, විශේෂයෙන් ගමක ඉපදුණු කෙනෙක් විශ්වවිද්‍යාලය ගැන මවාගෙන ඉන්න යුතෝපියාවට බාධා කරන සංසිද්ධීන් බහුලයි. උදාහරණයක් විදිහට ගත්තම විශ්වවිද්‍යාල කථිකාචාර්ය පදවිය කියන ගරු නම්බුව උත්කර්ෂයට නංවාගෙන ඒක ආත්මාර්ථය සඳහා පාවිච්චි කරන කථිකාචාර්යවරුන් වගේම ඒ ආත්මාර්ථයෙන් ප‍්‍රයෝජන ගන්න ශිෂ්‍යාවනුත් නැතිව නෙවෙයි. අතීතයෙත් හිටියා, අපේ කාලෙත් අපි අත්දැක්කා, ඊයෙත් හිටියා, අදත් ඉන්නවා, හෙටත් ඉඳියි.

මේ කතාව තුළ සිද්ධීන් බහුතරයක් මට හෝ වෙන කෙනෙකුට විශ්වවිද්‍යාලය තුළ සිද්ධ වෙච්ච සිද්ධීන්. ලංකාවෙ උසස් අධ්‍යාපන ආයතන විශ්වවිද්‍යාල කියලා නම් කරලා තිබ්බට ඒ ලැබෙන අධ්‍යාපනය තුළ සමාජ, ආර්ථික, ගෝලීය අවබෝධයකින් යුතු විද්‍යාර්ථියෙක් බිහි වෙනවද කියන එක ප‍්‍රශ්නයක්,

සරසවිය, පේරාදෙණිය වගේ වචන පේ‍්‍රමය එක්ක බැඳීමක් තියෙන වචන. මේවා ඔබට බලපෑවේ කොහොමද?

ලංකාවේ වර්තමාන තාරුණ්‍යය සහ පේ‍්‍රමය ගැන ඔබට තියෙන්නේ කොහොම අදහසක්ද?

මම කළිනුත් කිව්වා වගේ මම පේ‍්‍රම කතාවක්, මේ නවකතාවට පාදක කරගන්න හේතුවම මේක ජනප‍්‍රිය සහ ප‍්‍රශස්ත අතර මැද ඉඳල ලියන්න ඕන නිසාමයි. එහෙම නැතුව සරසවි පේ‍්‍රමයෙන් ආතුරවීම හෝ සරසවි පේ‍්‍රමය උත්කර්ෂයට නැංවීම නෙවෙයි. අනිත් එක ඕනම සරසවියක් තුළ ඔය වගේ ආදර කතා ඇති. මට ඕන වුණේ ප‍්‍රථම සාමාර්ථයක් වෙනුවෙන් ඒ වගේ කැපකිරීමක් කරන්න සූදානම් ගමකින් ආව රැුඩිකල් චරිතයක් ගැන කතා කරන්න. පේරාදෙණිය සරසවියෙ පේ‍්‍රමණීය පරිසරය ඕනම කෙනෙක්ව වල්මත් කරන්න පුළුවන්. ඒත් දහමවී කියන චරිතය සකිතරත් එක්ක පේ‍්‍රමයෙන් බැඳෙන්නෙ බාහිර සාධක නිසාම නෙවෙයි. එයා ආදර සම්බන්ධතාවයකින් බලාපොරොත්තු වෙන මානසික සුරක්ෂිතතාවය හෝ නැත්නම් පරිණත ඇසුර වෙන්නත් පුළුවන්. ඒකයි කථකයා හරහා රැඩිකල් ගැහැනු කෙනෙකුගේ අභ්‍යන්තරය ගැන මම කතා කරන්නෙ. ඒ වගේම සකිතර වුණත් පේ‍්‍රමයට ආගන්තුකයි. එයා ආදරය කියලා හඳුනාගෙන තියෙන්නෙම රාගය හෝ කායික පෙළඹවීම. ආදරය වුණත් එකිනෙකා හඳුනාගන්න මානයන් වෙනස් වෙනවා. කෙනෙක් ආදරය සහ අනුරාගය සමව විඳින්න කැමති වුණාට තව කෙනෙක් කායිකව ලබන තෘප්තියට වඩා මානසිකව ලැබෙන තෘප්තියට මුල් තැන දෙන්න පුළුවන්. මේ කතාවෙ එන නිරවද්‍යා වගේ චරිත ඕන තරම් අපි අහලා අත්දැකලා තියෙනවා. හැබැයි දහමවී වගේ චරිත හරි අඩුයි.

මම හිතන්නෙ පේ‍්‍රමය ගැන මගේ අදහසත් දහමවී පේ‍්‍රමය ගැන දරන අදහසමයි. පේ‍්‍රමය කොතැන, කොහොම, කා වෙනුවෙන් ඇති වෙනවද කියලා අපිට පාලනයක් නෑ වගේම පේ‍්‍රමයේදී සීමාවන් තියාගන්න ඕන කියලත් මම හිතන්නෙ නෑ.

හැබැයි පේ‍්‍රමය නිසා ලැබෙන අතුරුඵලයන්ට අපේ ජීවිතය ඉදිරිය පාලනය කරන්න දෙනවද කියන එකත් අපි තීරණය කරන්න ඕන දෙයක්.

මේ නවකතාව මනෝවිශ්ලේෂණීය ආදර කතාවක් ලෙස දකින්න මම කැමතියි. දහමවී ගේ මේ පඩිපෙල්වල පෙරලීම වගේ තත්ත්වයන්හි සිට පුරුෂයන් කෙරෙහි ඇගේ දෘෂ්ටිය සකස්වීමට ඇය සමාජ සේවා ආයතනයකදී අසන්නට ලැබෙන කාන්තාවන්ගේ කතා බලපෑම් කරන බවක් පෙනෙනවා. මේ මානසික ස්වභාවය ගැන කතා කළොත්?

ඔව් ඔබ කියන මනෝ විශ්ලේෂණීය ගතිය කතාවට එක් කරන්න මම උවමනාවෙන්ම උත්සාහ කරා. ඒකට එක හේතුවක් තමයි, ලංකාවෙ එහෙම කතා ලියවෙන්නෙම නැති තරම්. අද කාලේ පවතින සාමාන්‍ය ආදර කතාවක් හරහා බැ?රුම් මානසික තත්ත්වයක් විස්තර කරන්න උත්සාහ කිරීමේදී ඒක එහෙම නොවුණා නම් ඒ මනෝමූලික ව්‍යාධිය කෙනෙකුට හරි විදිහට අවබෝධ කරගන්න බැරිවෙයි කියලා මට හිතුනා. අනිත් එක මම මුලිනුත් කිව්වා වගේ මම කැමති ප‍්‍රශස්ත සහ ජනප‍්‍රිය අතර මැද්දෙ ඉඳගෙන ලියන්න. ජනප‍්‍රිය කතා කියවන්න කැමති අයත් මගෙ කතාව කියවන්න ඕන, මොකද ඒකෙන් තමයි මම බලාපොරොත්තු වෙන පරිකල්පනීය වෙනසක් ඒ අයට කරන්න මට පුළුවන් වෙන්නෙ. ඉතින් ඒ නිසා මනෝ විශ්ලේෂණීය ගතිය එන්නෙ කතාව සහ චරිත තුළින්ම ඒක ඉල්ලන නිසා. කොහොමත් ආදර කතාවක් හරහා මේ ප‍්‍රස්තුතය පාඨකයා අතරට ගෙනියන්න මට ඕන වුණේ මේක බහුතරයක් කියවන්න ඕන කියලා අදහසක හිටපු නිසයි.

නවකතාව ලියන්න පටන් ගනිද්දි ඉස්සෙල්ලම ඔබේ මනසට එන්නේ කතාවද, නැත්නම් චරිතද?

මම මුලින්ම කතාව ගොඩ නගාගන්නවා. ඊට ගැළපෙන චරිතත් නිර්මාණය කරනවා. ඒ නිසා කතාවත් එක්කම චරිතත් මනසට එනවා කියන එකයි ඔබේ ප‍්‍රශ්නයට පිළිතුර.

තව දෙයක්, මම මේ කතාව තුළ චරිත කීපයක් පමණක් නම් කරලා ඒ චරිත ප‍්‍රබලව ගොඩ නගනවා. සමහර අතුරු චරිත නම් කරන්නෙත් නෑ. අවශ්‍ය වෙලාවට කරළියට ගේනවා පොදු ව්‍යවහාර නමකින්. ඒකට හේතුව වුණේ කතාව ඇතුලෙ තියෙන පරිකල්පනමය සිද්ධීන් අවබෝධ කරගන්නත් පාඨක මනස යම් වෙහෙසක් දරන්න අවශ්‍ය වෙන අතරෙ නම් ගොඩාක් මතක තියාගන්න වුණොත් ඒක කතාව අවබෝධ කරගන්න බාධාවක් වෙයි කියලා සිතීම. ඒක හිතලම මම එහෙම කරන්නෙ මේ කතාව වැඩි පාඨක පිරිසක් අතරට ගෙනයන්න ඕන නිසා.

මේ නවකතාව ඔබේ කුළුඳුල් නවකතාව. හැබැයි ඔබ මීට පෙර කවියෙහි කාලයක් පුරා වැඩකරපු කෙනෙක්. සාහිත්‍යයට ඔබ ප‍්‍රවේශ වෙන්නේ කොහොමද?

අපි හැමෝම සෞන්දර්යාත්මක මිනිස්සු, සංස්කෘතික මිනිස්සු. මම හිතන්නෙ මම කලාවෙ බොහෝ අංගයන්ට උපතින්ම දක්ෂතාවය දක්වපු කෙනෙක්. මම පුංචි කාලෙ ඉඳන්ම මගෙ අත්දැකීම් සහ අදහස් ප‍්‍රකාශ කරන්න ලිඛිත මාධ්‍යය භාවිතා කරපු කෙනෙක්. ඒ වගේම මම විශ්වවිද්‍යාලයෙන් ඉවත් වෙන තුරුම කලාව ඇසුරේ නොයෙකුත් අත්හදා බැලීම් කරපු කෙනෙක්. බොහෝවිට මගෙ මාධ්‍යය වුණේ කවි. මගෙ කවි ගොඩක් ඒ අතර නවකතා කීපයක් ලියලා තියෙනවා. ඒ හැම කතාවක්ම යථාර්ථය ඇසුරින් ලියවෙච්ච කතා. පුංචි කාලෙ ඉඳන් විශ්වවිද්‍යාල අධ්‍යාපනය නිමා කරන තුරුම මම ලංකාවෙ ස්වතන්ත‍්‍ර, පරිවර්තන බොහොමයක් කියෙව්වා. ඒත් මමත් නොදන්න, මට ඒ කාලෙ තේරුම් ගන්න අපහසුවෙච්ච යම් හිඩැසක් තියෙන්න ඇති. යම් ඒකාකාරී බවක් දැනුනා මතකයක් තියෙනවා. ඒ දවස්වල ඉංග‍්‍රීසි පොත් කියවන්න පටන් අරන් තිබ්බෙ නෑ. ඒත් එක්තරා දෛවෝපගත දිනයකදි මම අහම්බෙන් සුනේත‍්‍රා රාජකරුණානායක මහත්මියගේ පේ‍්‍රම පුරාණය කියවනවා. ඒ පොත පුරාම දිවෙන චරිතය මම පොඩි කාලෙ ඉඳන් දකින, වැඩිහිටියන් අගය කරන සමාජීය සංස්කෘතික කොටුවට පිටින් හිතන, හිතන දේ කරන චරිතයක්. ඒ නිදහස් පැවැත්ම වෙන්නැති මම ප‍්‍රිය කරන සමාජය. සමහරවිට මම ජීවත් වෙන්න ප‍්‍රිය කරන විදිහ සහ මම ලියන්නත් ප‍්‍රිය කරන විදිහ. මම හිතන්නෙ මගෙ ජීවිතයේත්, ලේඛන කලාවෙත් හැරවුම් ලක්ෂ්‍යය එතන. මගෙ යම් බයක් තිබ්බා නම් සමාජයට, සංස්කෘතියට ඒ අඳුරු කඩතුරාව ඇරුණේ ඒ නවකතාවෙන්.

0 comment
0

Related Posts

Leave a Comment