Home දේශීය පුවත් හැටන්වල ATM යන්ත්‍රයට දාන්න ගිය මුදල් රැගෙන පලා ගිය වෑන් රියැදුරා අල්ලයි

හැටන්වල ATM යන්ත්‍රයට දාන්න ගිය මුදල් රැගෙන පලා ගිය වෑන් රියැදුරා අල්ලයි

by Hela news

හැටන් නගරයේ පිහිටි පෞද්ගලික බැංකු ශාඛාවක ඒ.ටී.එම් යන්ත්‍රයකට බැර කිරීමට වෑන් රථයකින් රැගෙන පැමිණි රුපියල් හය කෝටි හැත්තෑහතර ලක්ෂ දහ නව දහසක (67419000.00) මුදලක් රැගෙන එම වෑන් රථයේ රියදුරු පලා යමින් සිටියදී නුවර හැටන් මාර්ගයේ රේන්දපොල ප්‍රදේශයේදී පෙරේදා පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන තිබේ. සිද්ධිය වී පැය දෙකක් ගත වීමට මත්තෙන් මෙසේ රියැදුරු අල්ලා ගැනීමට හැකියාව ලැබී තිබේ.

හැටන් නගරයේ පිහිටි පෞද්ගලික බැංකුවේ ඒ.ටී.එම්.යන්ත්‍රයට මුදල් බැර කරනු ලබන්නේ මහනුවර නගරයේ පිහිටි පෞද්ගලික ආයතනයකින් වන අතර පෙරේදා පස්වරු 1.50 ට පමණ සැකකාර රියදුරා සමඟ එම පෞද්ගලික ආයතනයේ නිලධාරීන් දෙදෙනෙක් සහ ගිනි අවියක් සහිත ආරක්ෂිත නිලධාරියකු බැංකු ශාඛාව වෙත වෑන් රථයෙන් පැමිණ තිබේ.

ආරක්ෂක නිලධාරියා සහ අදාළ නිලධාරින් දෙදෙනා වැන් රථයෙන් බැස බැංකු ශාඛාව වෙත ගිය අවස්ථාවේ රියදුරා වෑන් රථය රැගෙන පළා ගොස් ඇත.

මේ සම්බන්ධයෙන් එම ආයතනයේ නිලධාරීන් සහ ආරක්ෂක නිලධාරියා හැටන් පොලිසියට පැමිණිලි කිරීමත් සමඟ පොලීසිය වෑන් රථයේ සවි කර තිබු ජී.පී.එස් තාක්ෂණ මෙවලමේ ආධාරයෙන් එය ගමන් ගන්නා දිසාව නිරීක්ෂණය කර තිබේ.

ඒ අනුව සැකකරු ගමන් ගන්නා මාර්ගය පිළිබඳ හැටන් පොලිසියේ නිලධාරින් සියලුම පොලිස් ස්ථාන වෙත දැනුම් දී ඇත.

සැකකරු නුවරඑළිය බදුල්ල ප්‍රධාන මාර්ගයේ කැප්පැටිපොළ ප්‍රදේශයේදී පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරින් විසින් පෙරේදා පස්වරු 3.30ට පමණ අත්අඩංගුවට ගෙන කැප්පෙටිපොළ පොලිසියට භාර දී ඇත.

සැකකරු සහ පොලිස් භාරයට ගත් මුදල් තොගය වැඩිදුර පරීක්ෂණ සඳහා හැටන් පොලිසීයට රාත්‍රියේ භාරදී තිබේ. මුදල් පැහැර ගත් සැකකරු 43 වැනි වියේ පසුවන දියතලාව ප්‍රදේශයේ පදිංචිකරුවකු බව පොලීසිය පවසයි.

නුවරඑලිය ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි විජිත අල්විස් මහතාගේ උපදෙස් මත හැටන් පොලිසියේ නිලධාරින් සිද්ධිය සම්බන්ධයෙන් පරික්ෂණ පවත්වයි.

0 comment
0

Related Posts

Leave a Comment