Home කාලීන පුවත් හරිදේ කරනවා නම් ජනතාව ප්‍රතික්ෂේප කරන්නේ නෑ

හරිදේ කරනවා නම් ජනතාව ප්‍රතික්ෂේප කරන්නේ නෑ

by Hela news

ගොවි බිම් සටන් බිම් බවට පරිවර්තනය වී තිබේ. රටේ නන්දෙසින් ඇසෙන්නේ මැසිවිලිය. මේ මොකද වුණේ. සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා සමග මේ කතාබහ ඒ සම්බන්ධවය.   


ප්‍රශ්නය:- ඉතාම කෙටි කලකින් බොහෝ අප්‍රසාදයට පත් වෙචච ආණ්ඩුව මේ ආණ්‍ඩුවයි. ඒක ඇත්තක් නේද?   
පිළිතුර:- ඔබ මගෙන් අහන්නේ අැත්තක් නේද කියලයි. ඔව්. ගරු ජනාධිපතිතුමා ගිය සතියෙදි හොඳ කතාවක් කිව්වා. අපේ කැබිනට් ඇමැතිවරු දෙතුන් දෙනෙක්ම ජනාධිපතිතුමාට කිව්වා “යහ පාලන ආණ්‍ඩුව කාලේ අලුතෙන් උසාවි හදලා අරලියගහ මන්දිරයට කට්ටිය එක්කරගෙන ඇවිත් නඩු දාන හිරේ දාන අය තේරුවා. යහ පාලන ආණ්‍ඩුවේ කම්බ හොරුන් ඉන්නවා. හැබැයි ඒ අය නිදැල්ලේ. ඇයි මොකවත් කරන්නේ නැත්තේ” කියලා.

   
ප්‍රශ්නය:-ඔය කතාව වෙන්නේ කැබිනට් එකේදි.   


පිළිතුර:- ඔව්. කැබිනට් එකේදි. ජනාධිපතිතුමා ඊට පස්සෙ ඇහුවා ඒ අය ඒ ඔක්කොම කරලා අවසානයට අත්පත් කරගත් ප්‍රතිඵල මොකක්ද කියලා. ඇමැතිවරු කිව්වා. ඒ අය ජනතාව ප්‍රතික්ෂේප කළා. කියලා. ජනාධිපතිතුමා කිව්වා හරි දේ කරනවා නම් ජනතාව ප්‍රතික්ෂේප කරන්නේ නෑ. තාවකාලිකව යම් අප්‍රසාදයක් ඇති වුණත් අවසන් ප්‍රතිඵලය ජයග්‍රහණයක්. අපි හරිදේ කරන්න ඕනෑ. නීති අංශ ඒ කටයුතු කරාවි කියලා.   


ප්‍රශ්නය:-රටේ හරි දෙයක් කෙරෙන බවක් පේන්නෙ නැති එකයි ප්‍රශ්නය. 

 
පිළිතුර:- ඇයි පේන්නේ නැත්තේ. යම් යම් ප්‍රශ්න තියෙනවා. අමතක කරන්නට එපා. මුළු ලෝකයම අවුරුදු දෙකක් වහලා. අපේ රටත් වහලා. අපිට ඉතා කුඩා ආර්ථිකයක් තියෙන්නේ. ඒ ආර්ථිකයත් එක්ක ගැට ගැහිච්ච ප්‍රශ්න ගණනාවක් තිබ්බා. 2019 ජනවාරි අපි ආණ්‍ඩුව බාර​ දෙනකොට අපේ ණය බර තිබ්බේ දළ දේශීය නිෂ්‍පාදනයෙන් සියයට 71.6 යි. අපේ ඊළඟ අවුරුදු පහේ ඉලක්ක තිබ්බේ දළ දේශීය නිෂ්‍පාදනයෙන් සියයට 60 ට ගේන්න. අපිට එහෙම සැලැස්මක් තිබුණා. කොවිඩ් වසංගතයෙදි අපි හොඳටම ගුටි කෑවා විපක්ෂයෙන්. ඒ අය කොවිඩ් එකත් එක්ක දේශපාලනය කළා. අපිට වැක්සින් එක ගේන්න බෑ. අපිට සල්ලි නෑ. ඔය විදියට නොයෙකුත් කතාන්දර අපිට කිව්වා. හැබැයි අද වෙනකොට අපි උත්තර දීලා තියෙන්නේ ක්‍රියාවෙන්. අපි ඒ විවේචනවල ගත යුතු දෙයක් තිබුණා නම් අරගෙන අවසන් ප්‍රතිඵළය සැලසුම් කළා. අපි කළේ ක්‍රියාවෙන් ක්‍රියාව ජයග්‍රහණය කිරීම. අද ලෝකයෙන්ම හතරවැනි තැන අපි ඉන්නවා එන්නත්කරණයෙන්. ඒ ගැන හීන් ආඩම්බරයක් තියෙනවා අපිට. අපි විවේචන ඉදිරියෙ පසුබාන්නේ නැතිව හරි දේ කළා.   


ප්‍රශ්නය:-ගුරු සටන යම්තම් නිහඬ වුණා.   


පිළිතුර:- මේක අවුරුදු 23 ක් තිස්සේ තියෙන ප්‍රශ්නයක්. මේ මාරක වසංගතය අස්සෙම ඒ ප්‍රශ්නය ඇද්දා. යහ පාලන ආණ්‍ඩුව ගේන්න කටයුතු කරපු ඒ අවුරුදු පහේදිම යහපාලන ආණ්ඩුව රැක්ක ජනතා විමුක්ති පෙරමුණත් ස්ටාලින්ලා ඒ අමන වැඩේ කළා. මම එදා කිව්වා මේ කාලකන්නි යූනියන් කාරයො කියලා. එදා මාව විවේචනය කළත් මේ යුනියන් නායකයන් මම කියපු දේ හරි කියලා ඔප්පු කරලා තියෙනවා. මේ නායකයන් හතර පස් දෙනා කාලකන්නි ත්‍රස්තවාදීන් කියන තැනට සමාජයේ පත් වෙලා. ගුරු කොවිඩ් පොකුරෙන් විසි නව දෙනෙක් විතර මිය ගිහින් හාර පන්සියයක් ආසාදිත වුණා. මුළු රටම විනාශ කරන තැනට මේ අය කටයුතු කළා. විවේචනයන්ට අප්‍රසාදයන්ට අපට මුහුණ දෙන්න වෙන්නේ ලෝක වසංගතයක් වගේම ලෝක ආර්ථික අවපාතයක් තියෙන කළමනාකරණය ඉතාම අමාරු තත්ත්වයක තියෙන පසුබිමකයි. අපි ජයග්‍රහණය කළ යුත්තේ ක්‍රියාවලියයි. ක්‍රියාවලිය ආරම්භයේදී බොහෝ විවේචන තියෙනවා. මොකද ඒ ඒ තැන්වලට අරක් ගත් කණ්ඩායම් ඉන්නවා. සෞඛ්‍ය ක්ෂේත්‍රයේත් එහෙම මාෆියා තියෙනවා. මාෆියා කල්ලි හැම තැනම රාජධානි ඉදිකරගෙන ඉන්නවා. ඒවා බිඳින්න දෙන්නෙම නෑ. අපි මේවා හඳුනාගෙන තියෙනවා. අපි ඕනෑම වැඩක් පටන් ගන්නකොටම ඔය මාෆියා කල්ලි මහා සද්දෙ දානවා. අපි ඒ අයට විවේචනය කර කර ඉන්න කියලා අපි හරි දේ කරනවා.   


ප්‍රශ්නය:-ගොවි ප්‍රශ්නය ගත්තොත් නැති ප්‍රශ්නයක්නේ ආණ්‍ඩුව හදාගත්තේ.   


පිළිතුර:- ඇයි නැති ප්‍රශ්නයක් කියලා කියන්නේ.   


ප්‍රශ්නය:- කිසිම සැලැස්මක් නැතිව එක පාරටම මේවා මෙහෙම කරන්න පුළුවන්ද?   


පිළිතුර:- මෙතැන ප්‍රශ්නයක් තියෙනවා. ජනාධිපතිතුමා මීට අවුරුදු දෙකකට පෙරයි මේක කරන්න කියලා කිව්වේ. සෞභාග්‍ය ඉදිරි දැක්මෙත් තියෙනවා කාබනික පොහොරට යනවා කියලා. හැබැයි ඒ අවුරුදු දෙක ඇතුළත කිසිම දෙයක් වුණේ‍ නෑ.   


ප්‍රශ්නය:-ඒ වගකීම ගන්න ඕනෑ ආණ්‍ඩුවනේ.   


පිළිතුර:- ඒක තමයි. ඒ වගකීම ආණ්‍ඩුව හැටියට අපි බාර ගන්නවා. ඒ අවුරුදු දෙකේ කිසිම දෙයක් වුණේ නැති නිසා ජනාධිපතිතුමාට සිද්ධ වුණා මෙවැනි දැඩි තීන්දු ගන්න.   


ප්‍රශ්නය:- තීන්දුව දැඩි වුණාට ප්‍රශ්නනේ හදාගත්තේ.   


පිළිතුර:- ඒකේ අවසාන ප්‍රතිඵලය මොකක්ද? කවදාවත් නැති විදියට මේ රටේ කාබනික පොහොර නිෂ්පාදනය වෙනවා. ඒකට මිලක් ලැබිලා තියෙනවා. අපි මේ ටිකට ඒ ගමනේ සියයට 35 කට වඩා වැඩියෙන් ගිහින් තියෙනවා. ඒක හොඳ නැද්ද? දැන් අපට අවශ්‍ය වෙනවා නම් රසායනික පොහොර ස්වල්පයක්. ඒක දුන්නම ප්‍රශ්නය ඉවරයි. අපි මේ බැනුම් අහගෙන මේ වැඩේ පටන් අරගෙන සියයට 50 ක් සාර්ථක වුණොත් රට තියෙන්නේ ​කොතැනද?   


ප්‍රශ්නය:-කොහොම වුණත් සාගතයකට මුහුණ දෙන්න වෙයි කියලයි කියන්නේ. 

 
පිළිතුර:- ඔය අර ආරම්භයේදීම එන විවේචනයනේ. අපි හිතමු අක්කරයක් තියෙන කෙනෙකුගේ අස්වැන්න සියයට 30 කින් අඩුවුණත් ඒ අලාභය අපි ගොවියාට දුන්නත් පාඩු නෑ. දේශීය නිෂ්‍පාදනය වැඩි කරන ඔවුන්ට ලොකු ශක්තියක් අපි ලබා දෙනවා. මේක මහා දැවැන්ත සටනක්. ලෝකයෙ ඉන්න පොහොර නිෂ්පාදකයො කැමැති නෑ මේ වැඩේ කරනවට. ලෝකයෙ තියෙන මේ මාෆියාව කඩන්න නම් ඉස්සෙල්ලා ඒක නිවැරදිව හඳුනා ගන්න ඕනෑ. උඩුගම්බලා යන ගමනක් අපි යන්නේ. අමාරුවෙන් හරි අපි හරි දේ කරමු කියන අධිෂ්ඨානය ගන්න පුළුවන් බොහොම ටික දෙනාටයි. ඒ එක්කෙනෙක් තමයි ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා. ඒ තීන්දුව එතුමා ගත්තා. ඒ පිළිබඳව වාද විවාද ඇතිවුණා. හුඟක් දෙනෙක් බැහැයි කිව්වා. නමුත් දැන් වෙනකොට සියයට 50 ක් පමණ සාර්ථකයි. මම දැක්කා කෘෂිකර්ම ඇමැතිතුමා කිව්වා අස්වැන්න අඩු වුණොත් අපි වී කිලෝවකට රුපියල් 60 ක් 65 ක් දෙමු කියලා. මතක තියාගන්න 2019 දී වී කිලෝවකට දුන්නේ රුපියල් 30 යි. අද ඒක රුපියල් 50 ට ගිහිල්ලා තියෙන්නේ. අද ගොවියගෙ අතට ලැබෙන මුදල බලන්න.   


ප්‍රශ්නය:- යුගදනවි සමාගම ඇමරිකානු සමාගමකට දීම ගැන සාකච්ඡා කරන්න ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ සාකච්ඡාවක් ඉල්ලුවාම ජනාධිපතිවරයා ඒක ප්‍රතික්ෂේප කළා.   


පිළිතුර:- ඒක ගැන මට උත්තරයක් දෙන්න බෑ. මොකද මම දන්නේ නෑ. විමල්ගෙන් ගම්මන්පිලගෙන් මම අහන්න ඕනෑ මොකක්ද වුණෙ කියලා. එතැන තර්ක කිහිපයක් තිබුණා. මේ රටේ විදුලිබල මාෆියාවකුත් තියෙනවා. පුනර්ජීවන වැඩපිළිවෙළට අකුල් හෙළන කණ්ඩායම් ඉන්නවා. බලන්න අද ලෝකයෙ තියෙන තත්ත්වය. අද ලෝකයෙ ගල් අඟුරු 80 ඉඳන් 200 ට ගිහින්. එංගලන්තයෙ මම දැක්කා වාර්තාවක් තියෙනවා ගල් අඟුරු භාවිතය සීයට 2 ට අඩු කරන්න ඕනෑ. මේක මේ ගණන් යන්නේ ලෝක වෙළෙඳපොළේ අනෙකුත් භාණ්‍ඩ ඉහළ යාමත් සමග. අපි මේවට වහල් වෙලා හිටියනම් මොකද වෙන්නේ. සෝලා පවර් ලංකාවේ කරන්න පුළුවන්. නමුත් මේක මාෆියාකාරයො දෙන්නෙම නෑ. මේවා කඩනකොට පළමු වටයෙදි අණ්ඩුව අප්‍රසාදයට පත් වෙනවා. මොකද ඔය මාෆියා කාරයන් මාධ්‍යයත් ඒ අයට අවශ්‍ය විදියට හසුරුවනවා. මම දැක්කා තියනවා ‘ලයිට් කපන්න වෙනවා’ කියලා කවුද කියනවා. මම කියන්නේ ලයිට් කපන්න වුණොත් කපලා හරි මේක කරන්න ඕනෑ. මොකද අපි මේවට වහල් වෙලා හිටියොත් අපිට හැමදාම අනුන් මත යැපෙන්න වෙනවා. ගල් අඟුරු ගේන එකට යැපෙන්න වෙනවා. මුහුදෙන් එපිට තියෙන දේවල් මත යැපිලා මුහුදෙන් නැව් එනකන් බලා ඉන්න කාලකන්නි යුගයක් අපි මේ පහුකරන්නේ. මේකට තිතක් තියනකොට මේ මාෆියා කල්ලි කෝටි ප්‍රකෝටි ගණනින් සල්ලි පොම්ප කරනවා. එහෙම සල්ලි පොම්ප කරලා අපට දැවැන්ත ප්‍රහාරයක් එල්ල කරනවා. එතකොට සාමාන්‍ය ජනතාව හිතනවා අපි අසාර්ථකයි කියලා. මම කියනවා අපි ජනප්‍රියතාවෙන් අඩු වුණත් හරි දේ කළ යුතුයි. කාබනික පොහොර ඔව්. ප්‍රශ්නයක් තියෙනවා. තේවලට ප්‍රශ්නයක් තියෙනවා. හැබැයි අපි මේ වැඩේ ආරම්භ නොකළොත් අපි කොහේද ඉන්නේ. ජනප්‍රියත්වය අඩු වෙනවා කියලා අපිට රටට දීර්ඝ කාලීන ජයග්‍රහණ ලැබෙන දේවල් නවත්වන්න පුළුවන්ද?   


ප්‍රශ්නය:- මොනදේ කරන්නත් ජනතාව කාලාබීලා ඉන්න ඕනෑ. දැන් නැත්තෙත් ඒකමයි.   


පිළිතුර:- ඕක තමයි පෙන්නන්න හදන චිත්‍රය. සිරිමාවෝ බණ්‍ඩාරනායක අගමැතිනිය බඩ ගැන හිතලා නොවෙයි රට ගැන හිතලයි වැඩ කළේ. නමුත් 77 න් පස්සේ ඒ ගමන නතර වුණා. ඒ ගමන දිගටම ගියා නම් අද අපේ රට කොතැනද තියෙන්නේ. ආසියාවේ තිබුණු විශාලතම වානේ කර්මාන්ත ශාලාව වෙච්ච ඔරුවල වානේ සංස්ථාව අපිට තිබුණා. කන්තලේ සෙවණගල සීනි කර්මාන්ත ශාලා තිබුණා. කන්කසන්තුරය පුත්තලම හා ගාල්ලේ සිමෙන්ති කර්මාන්ත ශාලා තිබුණා. කැලණි ටයර් ඉන්දියාවට හා නයිජීරියාවට අපනයනය කළා. තුල්ටෙක්ස්, වේටෙක්ස්, පූගොඩ ටෙක්ස් සමාගම් තිබුණා. සුද්දන් අතේ තිබුණ වතු නැවත රටට ලබා දුන්නා. වාලච්චේන කඩදාසි කම්හල තිබුණා. මට මේ විදියට ඔබට දිගු ලැයිස්තුවක් ඉදිරිපත් කරන්න පුළුවන්. 77 දි ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිවරයා මේ ගමන මුළුමනින්ම වෙනස් කරලා අනුන් මත යැපෙන රටක් නිර්මාණය කළා. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා මේ පටන් අරන් තියෙන්නේ මැතිනිය නතර කළ තැනින් අලුත් ගමනක්. ආරම්භය අමාරු වුණත් මෙහි අවසානය රට මෙතෙක් අත්පත් කර නොගත් ජයග්‍රහණ පොකුරු ගෙන එන බව ඒකාන්ත විශ්වාසයෙන් මම කියනවා. 

0 comment
0

Related Posts

Leave a Comment