Home කාලීන පුවත් හරිත රටකට හරිම මඟ

හරිත රටකට හරිම මඟ

by Hela news

සොබාදහම ඉක්මවා යෑමට උත්සාහ කළ බොහෝ නූතන විද්‍යාවන්ට අද වන විට ආ මඟ පිළිබඳ ඉතා සුපරීක්ෂාකාරිව හැරී බැලීමට සිදුව තිබේ. එක් අතකින් එය දෛවයේ සරදමකි.

දසක කීපයකට පෙර අප සොබාදහමට කළ විනයක් දැන් අප කරාම එළඹ තිබේ. එය වහා නිවැ‍රැදි කළ යුතුව ඇත. නිවැ‍රැදි කිරීමට පමා වන කාලයට සමාන කාලයක් ජීවිතවලින් අපට වන්දි ගෙවීමට සිදු වේ. මුලිනුපුටා දැමිය යුතු ප්‍රශ්නයක් කප්පාදු කිරීමෙන් අපේක්ෂිත ප්‍රතිඵල අත් කර ගත නොහැකිය. කළ යුත්තේ ප්‍රශ්න ඇති කරන හේතුව හඳුනා ගෙන එය මුලින්ම උදුරා දැමීමයි.

2019 නොවැම්බර් මස පවත්වන ලද ජනාධිපතිවරණයෙන් සහ 2020දී පැවැත්වූ පාර්ලිමේන්තු මහා මැතිවරණයෙන් ‘රට හදන සෞභාග්‍යයේ දැක්මට’ ඉතිහාසගත ජයග්‍රහණයක් අත් කර දුන්නේ මහජනතාවය. ඒ ජනවරමට අනුව ජනතාවට, තිරසර පරිසර ප්‍රතිපත්තියක් සඳහා වන ප්‍රතිඥාවක් ද තිබේ.

විප්ලවීය ප්‍රතිපත්තිමය තීරණ

මේ ප්‍රතිඥාව මහජනතාවගේ සුභසිද්ධිය වෙනුවෙනි; මහ පොළොවේ සුවපත්භාවය වෙනුවෙනි. පස සෞඛ්‍ය සම්පන්න වන තරමට ජනතාවගේ ද සෞඛ්‍යය ආරක්ෂා වේ. නීරෝගි ජනතාවක් වාසය කරන රටකට පමණක් මානව දර්ශක අගය පිළිබඳ ඉහළින් කතා කළ හැකිය. අපට එබඳු තත්ත්වයකට පැමිණිය හැකි වනුයේ විප්ලවීය ප්‍රතිපත්තිමය තීරණ ගත හොත් පමණි.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා රසායනික පොහොර ආනයනය සම්පූර්ණයෙන් නතර කිරීමටත්, ඒ වෙනුවට කාබනික පොහොර නිෂ්පාදනය ඉහළ නැංවීමටත් පසුගිය අප්‍රේල් මස තීරණය කළේ ඒ අනුවය. එය කිසිවකුත් යථාර්ථයක් වෙතැයි අපේක්ෂා නොකළ තීන්දුවකි. මන්ද යත්: පසුගිය දශක කිහිපය පුරා මෙබඳු දේශපාලන තීන්දු ගනු ලැබුව ද ඒවා දීර්ඝ කාලයක් පවතින තීන්දු තීරණ නොවූ හෙයිනි. ‍බොහෝ විට කෘෂිකර්මය, යුද්ධය වැනි විෂයයන්වලදී දේශපාලනික තීන්දු ගන්නේ එළඹෙන මැතිවරණය ඉලක්ක කර ගනිමිනි.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උක්ත තීන්දුව මහජනතාවගේත්, භූමියේත් යහපත් ‍සෞඛ්‍යය ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් වූවකි. මෙය එක්තරා ආකාරයකින් ජනතාවගේ ජයග්‍රහණයකි. එහි ප්‍රතිලාභ සමස්ත සමාජයටය. ගොවියා ද ඊට ඇතුළති. ජනාධිපතිවරයා මේ තීන්දුව ගෙන දින කීපයක් යන්න මත්තෙන් ඊට විරෝධි මතවාද රැසක් එල්ල කළහ. මේ සාම්ප්‍රදායික විරෝධයෙහි දේශපාලනය සහ ව්‍යාපාරික අරමුණු බහුලය. සමස්ත සමාජයම සහ ජාතික ආර්ථිකය වෙනත් දිශානතියකට යොමු කිරීමේදී මෙවැනි විරෝධතා එල්ල වීම අපේ රටේ සාමාන්‍ය ස්වභාවයයි.

කෘෂිකාර්මික කේෂ්ත්‍රයට රසායනික පොහොර හඳුන්වා දීම සහ භාවිතය පිළිබඳ ඉතිහාසය එතරම් දීර්ඝ නොවේ. ‘හරිත විප්ලවයේ පියා’ ලෙස විරුදාවලි ලත් නෝමන් බොලොක් විසින් 1943 වර්ෂයේ දී වැඩි අස්වැන්නක් ලබා ගැනීමේ අරමුණින් බඩ ඉරිඟු විශේෂයක් හඳුන්වා දීමත් සමඟ එය ඇරඹිණි. මෙක්සිකෝ රාජ්‍යයෙන් ආරම්භ කළ මේ නවමු ව්‍යාපෘතිය සඳහා පූර්ණ අනුග්‍රාහක ආයතන වශයෙන් ඉදිරිපත් වූයේ ඇමරිකාවට අයත් ෆෝඩ් සහ රොකෆෙලා නම් බහුජාතික සමාගම් දෙකකි.

සාම්ප්‍රදායික ගොවිතැන

සාම්ප්‍රදායික කෘෂිකර්මාන්තය වෙනුවට‍ ‘හරිත විප්ලවය’ මඟින් හඳුන්වා දෙන ලද කෙටි කාලීන වැඩි අස්වනු නෙළා ගැනීමේ වාණිජ්‍ය පරමාර්ථය ඉතා ශීඝ්‍රයෙන් ලොව පුරා ව්‍යාප්ත වීමට ගත වූයේ කෙටි කාලයකි. වැඩි අස්වැන්න සඳහාම දෙමුහුන් බීජ, කෘමිනාශක, පලිබෝධ නාශක, කෘත්‍රිම පොහොර, වල්නාශක ගොවීන්ට ඉතා කෙටි කාලයකදී හඳුන්වා දීමත් සමඟ එතෙක් ගුණාත්මකභාවය වෙනුවෙන් පෙනී සිටි ගොවියෝ වාණිජ අරමුණුවලට මුල් තැනක් දුන්හ. එය මෙක්සිකෝවේ සිට වෙනත් රාජ්‍යයන් කරා ඉතා කෙටි කාලයකදී ව්‍යාප්ත විය.

ආසියාතික රටවල් තුළට පැමිණි ‘හරිත විප්ලව’ සංකල්පය 1960 දශකය වන විට ඉන්දියාව, බංග්ලාදේශය, පාකිස්තානය සහ ශ්‍රී ලංකාව ඇතුළු රටවල් රැසක ක්‍රියාත්මක විය. එතෙක් සාම්ප්‍රදායික ක්‍රම අනුව සිදු කළ කෘෂිකාර්මික කේෂ්ත්‍රය පුරා ශීඝ්‍රයෙන් අස්වනු වැඩි බීජ වර්ග, භෝග අනුව පොහොර වර්ග ව්‍යාප්ත වීමට එතරම් කාලයක් ගත වූයේ නැත. ආසියාවේ ව්‍යාප්තිය සඳහා ඉන්දීය ජාතික මහාචාර්ය ස්වාමිනාදන් දායක වූ අතර ශ්‍රී ලංකාවට මේ සංකල්පය හඳුන්වා දෙනු ලැබූයේ ඩඩ්ලි සේනානායක මහතා අග්‍රාමාත්‍ය ධුරය හොබවන සමයේදීය.

අස්වැන්න පසුපස හඹා ගිය ශ්‍රී ලාංකික ගොවියා, පැවති සාම්ප්‍රදායික ගොවිතැන සිතා මතා අමතක කිරීමේ ප්‍රතිඵලයක් ලෙස අවශ්‍ය ප්‍රමාණයටත් වඩා කෘත්‍රිම පොහොර, කෘමිනාශක, වල්නාශක ආදි විෂ ද්‍රව්‍ය මහ පොළොවට එකතු කළේය. පිදුරු සහ ගෙරිකටු භාවිතයෙන් පසට අවශ්‍ය පෝෂ්‍ය පදාර්ථ සපයා ගත් ගොවි ජනතාව පොටෑසියම්, නයිට්‍රජන් විදෙස් රටවලින් පැමිණෙන තුරු බලා සිටියහ. එමඟින් වූයේ එතෙක් අප සතුව පැවති නීරෝගි භූමිය සහ ශ්‍රී ලාංකික සෞඛ්‍ය සම්පන්න මිනිසා ක්‍රමයෙන් පිරිහීම පමණි.

ජීවන රටාව මෙන්ම පරිභෝජන රටාව ද නවමු සංකල්පය හේතුවෙන් ශීඝ්‍රයෙන් වෙනස් විය. ජෛව විවිධත්වය පිරිහීමට ලක් විණි. ආහාර රටා වෙනස් විය. මානව ප්‍රතිශක්තිකරණය අඩු වීමට හරිත විප්ලවය සාධනීය බලපෑමක් එල්ල කළ බව දැන් විද්‍යාඥයෝ පෙන්වා දෙති. මහ පොළොව අවභාවිත කිරීමෙන් ගත් අස්වැන්න ද මිනිසාට අද වන විට ළඟා කර ඇත්තේ පිරිහුණු සෞඛ්‍ය පද්ධතියකි. අස්වැන්නෙන් ලැබෙන ආදායමට වඩා වැඩි වියදමක් ගොවියාට පමණක් නොව, සෙසු ජනතාවට වැලඳී ඇති වකුගඩු සහ පිළිකා ඇතුළු බෝ නොවන රෝගවලට ප්‍රතිකාර කිරීම සඳහා රජයට වැය කිරීමට සිදුව තිබේ.

කෙටි කාලීන ලාභ අපේක්ෂාවෙන් දසක කීපයක් මුළුල්ලේ ශ්‍රී ලාංකේය ගොවියා වැය කළ ශ්‍රමයට හෝ කාලය සැලකිල්ලට ගැනීමේදී රටටත් ජනතාවටත් ලැබී තිබෙන්නේ ඵලදායි හෝ ප්‍රමාණවත් ප්‍රතිලාභ නොවේ. ගෝඨාභය රාජපක්ෂ මහතා ‘ඉහළ අස්වැන්නට වඩා තමාට ජනතාව වටිනවා’ යැයි පැවසුවේ එබැවිනි. ඒ ඍජු ප්‍රතිපත්තිමය තීරණය වටා බහුතරයක් ගොවි ජනතාව ඇතුළු විද්වතුන්, කාබනික පොහොර නිෂ්පාදකයන් ඇතුළු පාර්ශ්ව රැසක් දැනටමත් ඒකරාශී වී සිටී. ප්‍රතිපත්තිමය වෙනසක් අපේක්ෂා කළ ප්‍රගතිශීලි ජනතාවගේ අපේක්ෂා ඉටු කිරීමේදී ඊට සහාය දැක්වීමෙන් මෙතෙක් කල් රසායනික පොහොර ආනයනයට වැය කළ ඩොලර් මිලියන 400ක මුදල ජන ජීවිතය නඟා සිටුවීම සඳහා යොදා ගත හැකි බව අප අමතක නොකළ යුතුය.

මෙයට පෙර පැවති රජයන් ද කාබනික පොහොර භාවිතය ‍සහ ව්‍යාප්තිය කෙරෙහි අවධානය යොමු කළ අවස්ථා නොතිබුණා නොවේ. ක්‍රියාත්මක කිරීමේදී එම ප්‍රතිපත්ති එතරම් ශක්තිමත් නොවීම කෙරෙහි එම ප්‍රතිපත්තිවල පැවති පූර්ව සූදානම එතරම් ප්‍රබල නොවන්න ඇත. නොඑසේ නම් රසායනික පොහොර භාවිතය වැළැක්වීමට පනවන ලද සීමා සහ කොන්දේසිවල ප්‍රායෝගික නිශ්චිත විසඳුමක් ගැබ් නොවූවා විය හැකිය.

කාබනික පොහොර භාවිතය සම්බන්ධයෙන් මෙබඳු තීන්දුවක් ගන්නේ දසක හයකට පසුවය. මෙය ක්‍රියාත්මක කිරීම සඳහා ජනාධිපතිවරයා ‘දේශගුණික විපර්යාසයන්ට තිරසර විසඳුම් සහිත හරිත ශ්‍රී ලංකාවක් ඇති කිරීමේ ජනාධිපති කාර්යසාධක බළකාය’ පිහිටුවා තිබේ. කාබනික පොහොර භාවිතයේදී යම් ආකාරයකින් අස්වැන්නෙහි අවම වීමක් සිදු වුව හොත් සහතික මිල අබිබවා ගොවියාගේ වී අස්වනු මිල දී ගැනීමේ අභියෝගයට මුහුණ දීමට රජය දැනටමත් සූදානමින් සිටී.

රසායනික පොහොර සමාගම්

දසක ගණනාවක් මෙරට ගොවියාට රසායනික පොහොර ආනයනය කළ සමාගම්වලට දැන් ගත හැකි ක්‍රියා මාර්ග දෙකක් ඇත. භූමිය අත්හැර වෙනත් භූමියක් තෝරා ගැනීම පළමුවැනි ක්‍රියා මාර්ගය වන අතර, ජනාධිපතිවරයා ජනතාවගේත් මහ පොළොවේත් සෞඛ්‍ය සම්පන්නභාවය ගැන සිතා ගත් ‍ඍජු ප්‍රතිපත්තියට සහාය දෙමින් කාබනික පොහොර නිෂ්පාදනයට ප්‍රවේශ වීම දෙවැනි ක්‍රියා මාර්ගයයි. රසායනික පොහොර සමාගම්, කාබනික පොහොර සමාගම් බවට පරිවර්තනය වන්නේ නම් ඒ සඳහා අවශ්‍ය පහසුකම් සැලසීමට ද රජය සූදානම්ය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් සහ වෙනත් අණ පනත් මඟින් සලසා ඇති මානව සුරක්ෂිතතාව හුදු ප්‍රකාශනවලට පමණක් සීමා වීම වෙනුවට සැබවින්ම මහජනතාව සුරක්ෂිත කිරීමට ජනාධිපතිවරයා ප්‍රායෝගිකවම පියවර ගෙන ඇත. සාමාජිකයන් 46 දෙනකුගෙන් සමන්විත ‘දේශගුණික විපර්යාසයන්ට තිරසර විසඳුම් සහිත හරිත ශ්‍රී ලංකාවක් ඇති කිරීමේ ජනාධිපති කාර්යසාධක බළකාය’ පිහිටුවීමට පියවර ගන්නා ලද්දේ තිරසර පරිසර සුරක්ෂිතතා ඇතුළු අරමුණු රාශියක් මූලික කර ගනිමිනි.

රසායනික පොහොර භාවිතය නවතා, ඒ වෙනුවට කාබනික පොහොර භාවිතයට ගොවියා සහ ජනතාව දිරි ගන්වා, එමඟින් නීරෝගි සහ ඵලදායි පුරවැසියකු බිහි කිරීම වෙනුවෙන් වස විසෙන් තොර ආහාර ලැබීමට ජනතාවට ඇති අයිතියට ගරු කළ යුතුය. ඒ සඳහා දැනට කෘෂිකර්මාන්තයේ දසක පහකට අධික කාලයක් පවතින යන්ත්‍රණය සම්පූර්ණයෙන් වෙනස් කළ යුතුය. රසායනික පොහොර භාවිතය පමණක් නොව ජනතාව තුළ කාබනික පොහොර පිළිබඳ බහුජාතික සමාගම් විසින් ඇති කරන ලද ඍණාත්මක මනෝභාවය සම්පූර්ණයෙන් වෙනස් කළ යුතුව ඇත.

බීජ නිෂ්පාදනය

දැනට අප වගා කටයුතු සඳහා බීජ ආනයනය කරනු වෙනුවට නව සංකල්පය ක්‍රියාත්මක කිරීමෙන් ගොවියා ලවාම බීජ නිෂ්පාදනය කළ හැකිය; නොඑසේ නම් අමුද්‍රව්‍ය සැපයිය හැකිය. කෘෂි කේෂ්ත්‍රයේ පවතින විභවයන් ඉතා පුළුල්ය. ඒ අවස්ථා හඳුනා ගෙන, ඒවා ආර්ථික උපාය මාර්ග බවට පත් කර ගැනීමෙන් සතුටින් ජීවත් වන පවුල් රට පුරා ගොඩනැඟෙනු ඇත.හිරු එළිය, වාතය හැරුණු විට සොබා දහම අපට තවත් අමිල දායාද දෙකක් ප්‍රදානය කර තිබේ. ඒ පස සහ ජලයයි. එය විෂ වීමෙන් පරිහානියට පත් වන අතර, එමඟින් ශ්‍රී ලාංකේය ශිෂ්ටාචාරයම වඳ වී යෑමට ඇති ඉඩකඩ බොහෝය.

හරිත විප්ලවය ආරම්භ කළ රටවල් රාශියක් වරද නිවැ‍රැදි කර ගැනීම සඳහා ආපසු හැරී තිබේ. ඔවුන් යළි සාම්ප්‍රදායික ගොවිතැන මෙන්ම වැඩිදියුණු කරන ලද කාබනික පොහොර නිෂ්පාදන පිළිවෙත් අනුගමනය කරමින් සිටී. රසායනික පොහොර තව දුරටත් යොදන්නේ නම් අපට ඉතිරි වනුයේ රෝගී ජනතාවක් වෙසෙන ගරා වැටුණු රටක් පමණි.

ඉන්දියන් සාගරයේ මුතු ඇටය, නිල්ල පිරුණු භූමිය සහ එහි ඇති ජෛව විවිධත්වය අප ආරක්ෂා කර ගත යුතුය. වසර පනහකට අධික කාලයක් කෘත්‍රිම පොහොර සහ වස විස මුසු වූ ශ්‍රී ලංකා භූමිය දැන් නිසරු වී තිබේ. ජලය දූෂ්‍ය වී ඇත. ඇළ දොළ ගංඟා සහ සෙසු ජල මූලාශ්‍රවල සෞඛ්‍ය පිරිහී තිබේ. එය පරිභෝජනය කරන රට වැසියා රෝග ගණනාවකින් පීඩා විඳිමින් සිටී. දිනෙන් දින පිළිකා රෝහල මෙන්ම වකුගඩු ප්‍රතිකාර ඒකක පුළුල් වෙමින් ව්‍යාප්ත වේ. දරුවන් අකාලයේ මිය යෑම මව්පියන්ට දරා ගත නොහැකි දුක් කන්දරාවක් ළඟා කර ඇත. වත්මන් වැඩිහිටි පරපුර අත්විඳි අපූර්ව ළමා කාලය ඔවුන්ගේ දරුවන්ට අහිමි වී ඇත. කුඹුරක හෝ දොළ දිය දහරක වෙන දා මෙන් විසිතුරු මසුන් නැති තරම්ය. මේ අභාග්‍ය සම්පන්න තත්ත්වය වෙනස් වනු දැකීමට නම් සියලු දෙනා අපේ මුතුන් මිත්තන් අත්විඳි නීරෝගී සුවය සහිත දීර්ඝ ආයුෂ විඳීමට මේ ජාතික වැඩපිළිවෙළට අත්වැල් බැඳ ගත යුතුය. එසේ නොවී තව දුරටත් රසායනික පොහොර සහ තෙල් මහ පොළොවට එක් කිරීමෙන් මිනිසුන් රහිත මැරුණු මහ පොළොවක් පමණක් ඉන්දීය සාගරයේ ඉතිරි වනු ඇත.

0 comment
0

Related Posts

Leave a Comment