Home කාලීන පුවත් හරිත කෘෂිකර්ම බළකායෙන් පොහොර ගැටලුවට විසඳුමක්

හරිත කෘෂිකර්ම බළකායෙන් පොහොර ගැටලුවට විසඳුමක්

by Hela news

හරිත කෘෂිකර්ම බළකායෙන් කෘෂි-මූල්‍ය හා පරිසර ප්‍රතිලාභ
– මේ බළකායට ගොවි සංවිධාන නියෝජනයක් නැතිවීම වරදක්

දැනට මෙරට දිස්ත්‍රික්ක 12 ක් පුරා පැතිරී ඇති වකුගඩු හා පිළිකා රෝග නිසා අපේ රටේ 75000 කට අධික පිරිසක් මිය ගොස් ඇත. එමෙන්ම දැනට අපේ රටේ ලක්ෂ 2 අධික වකුගඩු හා පිළිකා රෝගීහු ජීවත් වෙති. මේ රෝගවලට හේතුවක් වන්නේ මෙරටට ගෙන්වන රසායනික පොහොර වල්නාශක කෘමිනාශක බවට විද්‍යාත්මකව ඔප්පු කර ඇතත් අපේ රටේ සමහර ගොවි ජනතාවත් මේවා ඉක්මනින් තමන්ට ලබා දෙන්නට යැයි කියමින් උද්ඝෝෂණ කිරීම ඉතා කනගාටුදායකය. ඒ අනුව මේ ගොවීන් උද්ඝෝෂණය කරන්නේ වස විස රටට ගෙන්වන ලෙස ඉල්ලමිනි.

එසේ වුවත් ජනාධිපතිතුමා කාබනික ගොවිතැන හා හරිත කෘෂිකර්මය ජනප්‍රිය කිරීමේ උතුම් කාර්යය අතහැර දමා නැත.

ඒ අනුව ජනාධිපතිතුමා මෙරට තුළ කාබනික ගොවිතැන, හරිත ගොවිතැන ‍දියුණු කිරීමට ජනප්‍රිය කිරීමට තවත් ඉදිරි පියවරක් ගනිමින් මෙරට තුළ හරිත කෘෂිකර්මාන්තය සඳහා වූ ජනාධිපති කාර්ය සාධක බළකායක් ස්ථාපිත කළේ ය.

පසට හා ජලයට එකතු වන රසායන අපද්‍රව්‍ය අවම කරමින්, පරිසර හිතකාමී සෞඛ්‍යාරක්ෂිත හරිත කෘෂිකර්මයක් බිහි කිරීම රජයේ ප්‍රමුඛ පරමාර්ථයක් වේ. නවීන තාක්ෂණික උපකරණ භාවිතා කරමින්, පරිසර හිතකාමී හා කාබනික වගාවන් සිදු කරමින් තිරසර හරිත කෘෂිකර්මයක් කරා ගමන් කිරීම මඟින් දේශීය හා අන්තර්ජාතික වශයෙන් ප්‍රතිලාභ අත්කර ගැනීමට ඇති හැකියාව රජය අවධානයට ලක්කර ඇත.

ඒ අනුව පර්යේෂණ හා නව නිපැයුම් මඟින් අහිතකර කෘෂි රසායන ද්‍රව්‍ය අවම කිරීමට හා පරිසර හිතකාමී, දේශීය පරිසර තත්ත්වයන්ට ගැළපෙන කාබනික පොහොර නිෂ්පාදනයට අවශ්‍ය දිරි ගැන්වීම් ලබාදීමේ අවශ්‍යතාව සැලකිල්ලට ගනිමින් ජනාධිපතිතුමා විසින් අතිවිශේෂ ගැසට් පත්‍රයක් මඟින් මෙම හරිත කෘෂිකර්මය සඳහා වූ ජනාධිපති කාර්ය සාධක බළකාය ස්ථාපිත කර තිබේ. පරිසර හිතකාමී ව්‍යාපාරිකයකු වන විජිත් වැලිකලගේ සභාපතිත්වයෙන් යුත් මෙම කාර්ය සාධක බළකායේ සාමාජිකයන් ගණන 14 කි. ජනාධිපති අතිරේක ලේකම් වර්නන් පෙරේරා මෙම බළකායේ ලේකම්වරයා ලෙස පත්කර ඇත.

හරිත කෘෂිකර්මය තිරසරව පවත්වාගෙන යාම සඳහා ක්‍රමවත් වැඩපිළිවෙළක් සකස්කිරීම, විවිධ භෝගයන්ට අවශ්‍ය කාබනික පොහොර හඳුනාගැනීම හා එම පොහොර නිෂ්පාදනය දියුණු කිරීම, කෘමිනාශක හා වල්නාශක කාබනික ආකාරයෙන් දේශීයව නිෂ්පාදනය කිරීම එම කාර්ය සාධක බළකායේ ප්‍රමුඛ අරමුණු අතර ‍වේ.

‍මෙම ක්‍රියාවලිය සඳහා රාජ්‍ය සේවයේ සක්‍රීය දායකත්වය ලබාගැනීම හා ක්ෂේත්‍ර මට්ටමින් කාබනික කෘෂිකර්ම ව්‍යාප්ත සේවා පුළුල් කිරීමේ වගකීම මෙම ජනාධිපති කාර්ය සාධක බළකායේ සාමාජිකයන් වෙත පැවරෙන බව කෘෂිකර්ම ඇමැති මහින්දානන්ද අලුත්ගමගේ පවසයි.

ආර්ථික පුනර්ජීවනය හා දරිද්‍රතාව තුරන් කිරීම සඳහා වන කාර්ය සාධක බළකාය සහ දේශගුණික විපර්යාසයන්ට තිරසර විසඳුම් සහිත හරිත ශ්‍රී ලංකාවක් ඇති කිරීමේ ජනාධිපති කාර්ය සාධක බළකාය සමඟ මෙම නව හරිත කෘෂිකර්මයක් පිළිබඳ ජනාධිපති කාර්ය සාධක බළකාය සම්බන්ධීකරණයෙන් කටයුතු කළ යුතු බවට ජනාධිපතිතුමා උපදෙස් දී ඇති බව කෘෂිකර්ම ඇමැතිවරයා පවසයි.

මෙම බළකාය පිළිබඳව සිළුමිණට අදහස් දැක්වූ මහඉලුප්පල්ලම කෘෂිකර්ම පර්යේෂණ ආයතනයේ හිටපු නියෝජ්‍ය අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ කෘෂිවිද්‍යාඥ ආචාර්ය පී.බී. ධර්මසේන පවසන්නේ මෙම බළකාය පත්කිරීම අගය කළ යුතු කාලානුරූප පරිසර හිතකාමී පියවරක් බවයි.

“කෙසේ වුවත් මේ බළකායට කෘෂි ක්ෂේත්‍රය පිළිබඳ විවිධ විද්වතුන්ගෙන් උපදෙස් ලබාගැනීම අත්‍යවශ්‍ය දෙයක්. කාබනික කෘෂිකර්මයෙන් හෙවත් පාරිසරික ගොවිතැනින් එක දිනකින් දෙකකින් ඉහළ ප්‍රතිලාභ ලබන්න බැහැ. යූරියා දමලා ගහට එකවරම පෝෂක දෙනවා වගේ කෘෂිකර්මයක් නෙමෙයි මේක. හරිත කෘෂිකර්මයේදී යෙදවුම් සඳහා පසේ සිටින ක්ෂුද්‍රජීවීන් අනුගතවීමට කාලයක් යනවා. ඒක එක පාරටම වෙන දෙයක් නෙමෙයි. කෙසේ වුවත් මේ පාරිසරික ගොවිතැනට නැත්නම් හරිත ගොවිතැනට යොමුවූ විට මුල් කන්න දෙකේදී යම් තරමක අස්වැන්නක් අඩු වෙනවා. හැබැයි ඊට පස්සේ වසර ගණනාවක් යනතුරු මුලින් දාපු යෙදවුම්වලින් ම හොඳ අස්වැන්නක් ගන්න පුළුවන්. එවිට ලැබෙන ලාභයත් වැඩි වෙනවා.

පාරිසරික ගොවිතැන, හරිත කෘෂිකර්මය කළොත් අපේ රටේ භෝගවලිනුත් ආර්ථික ලාභ ලබාගන්න පුළුවන්. හැබැයි මේ ගැන අපි සියලු දෙනා ඉවසීමෙන් කටයුතු කළ යුතුයි. විශේෂයෙන් රජයත් ගොවීනුත් ගොවි සංවිධානත් සමාජ ක්‍රියාකාරීනුත් ඉවසීමක් ඇතිව කන්න දෙකක් විතර මේ කටයුත්තේ නිරත විය යුතුයි. ඉන් පසු පස නිසි පරිදි කාබනික ගොවිතැනට පරිවර්තනය වූ විට ඒ වගාවෙන් වසර ගණනාවක් වෙනදාට වඩා ආර්ථික හා පාරිසරික ප්‍රතිලාභ ලැබෙනවා.

හරිත කෘෂිකර්මයක් සඳහා රට ගෙන යාමට නම් අපේ රටේ කෘෂිකර්ම ප්‍රතිපත්තියත් ජාතික හරිත කෘෂිකර්ම ප්‍රතිපත්තියක් බවට වෙනස් කළ යුතුයි. අපේ රටේ කාබනික කෘෂිකර්මය, පාරිසරික කෘෂිකර්මය වේගයෙන් ක්‍රියාවට නැංවීමට ප්‍රධාන බාධාව වී ඇත්තේ ව්‍යාප්ති යාන්ත්‍රණය දුර්වලවීමයි. නැත්නම් මේ ගැන විද්‍යානුකූල කෘෂි උපදෙස් ගමේ ගොවීන්ට නොලැබීමයි.

ගම්වල සිටි 14022 ක් පමණ වූ කෘෂිකර්ම පර්යේෂණ නිෂ්පාදන සහකාරවරුන්ට හරිත කෘෂිකර්මය පිළිබඳව මනා විද්‍යාත්මක පුහුණුවක් දිය යුතුයි. එමෙන්ම දැනටමත් වසර ගණනාවක සිට මේ පාරිසරික ගොවිතැනේ නියැළෙන ගොවි මහත්වරුන් ලබන ප්‍රතිලාභ පිළිබඳව හොඳ ප්‍රචාරණයක් සියලු මාධ්‍ය මඟින් ලබාදිය යුතුයි. ආචාර්ය පී.බී. ධර්මසේන පවසයි.

මේ පිළිබඳව කරුණු දක්වන කවුඩුල්ලේ ගොවි නායක එම්.කේ. ජයතිස්ස පවසන්නේ මේ අවස්ථාවේ හරිත කෘෂිකර්මය පිළිබඳ මෙවැනි කාර්ය සාධක බළකායක් පත්කිරීම අගය කරන බවයි. “කෙසේ වුවත් ඒ බළකායට දැනට අප වැනි වසර 15 – 20 තිස්සේ කාබනික පාරිසරික ගොවිතැනේ නියැළෙන අයගෙන් කෙනෙක් සම්බන්ධ කරගත්තා නම් හොඳයි. අපේ රටේ පාරිසරික ගොවිතැන බිම් මට්ටමේ ඉඳන් සිදු කරමින් එය රට පුරා ව්‍යාප්ත කරන්න සම්බන්ධ වෙන පාරම්පරික ගොවීන් විශාල පිරිසක් ඉන්නවා. ඒ අයගේ අදහසුත් මෙවැනි කටයුත්තකට වැදගත් වේවි.

අද සමහර ගොවි සංවිධාන එක්කාසු වෙලා වස විස තිබෙන රසායනික පොහොර ඉල්ලලා උද්ඝෝෂණය කරනවා. ඒක අපි සම්පූර්ණයෙන් හෙළා දකින වැඩක්. කුඹුරට වස විස දැමීම අපේ සෞඛ්‍යයටත් ඉතා අහිතකරයි. ඉතා සරල ක්‍රමයකට අඩුම වියදමින් කාබනික පොහොරක් හදාගන්නා හැටි ඉන්දියාවේ ‘ප්‍රභාෂ් පලේකාර්’ යන විද්වතා පෙන්වාදී තිබෙනවා. පැය 48 කින් හදාගන්න පුළුවන් මේ කාබනික පොහොරේ නයිට්‍රජන්, පොස්පරස්, පොටෑසියම් යන ප්‍රධාන මූලද්‍රව්‍ය මෙන් ම අංශු මාත්‍ර මූලද්‍රව්‍ය සියල්ලමත් තිබෙනවා.

ගොම කිලෝ එකක්, ගව මූත්‍ර ලීටර් 5 – 10 ප්‍රමාණයක්, උඳු හෝ කඩල පිටි කිලෝ 1 1/2ක්, සක්කර හෝ රතු සීනි කිලෝ 1 1/2 ක් වස විස නැති තැනකින් හියුමස් දෝත් දෙකක් එකට එකතු කර මෙය සාදාගත හැකියි. පැය 48 ක් යන තුරු දවසට තෙවරක් මිශ්‍ර කළ යුතුයි. පැය 48 කින් පසු මිශ්‍රණයේ එක කොටසක් ජලය කොටස් 4 කට මිශ්‍ර කර කුඹුරට ඉසිය හැකියි.

මෙන්න මෙවැනි දේවල් තමයි හරිත බළකාවලින් ව්‍යාප්ත කළ යුත්තේ. සීත කාමරවල ඉඳලා වැඩක් නැහැ. ක්ෂේත්‍රයට ගිහින් අත්දැකීම් ලබාගෙන තමයි කාබනික කෘෂිකර්මය ව්‍යාප්ත කළ හැකි වන්නේ යැයි ගොවි නායක එම්.කේ. ජයතිස්ස පවසයි.

මේ පිළිබඳව අදහස් දක්වන ඉඩම් හා කෘෂිකර්ම ප්‍රතිසංස්කරණ ව්‍යාපාරයේ මෙහෙයුම්කරු චින්තක රාජපක්ෂ පවසන්නේ මෙම බළකාය සඳහා ලක්ෂ 20 ක් වන ගොවි සංවිධානවල කිසිම ‍නියෝජනයක් නොමැතිවීම ඉතා කනගාටුදායක බවයි.

“ආණ්ඩුව මෙවැනි කෘෂි ක්ෂේත්‍රයට හා පාරිසරික ක්ෂේත්‍රයට අදාළ කාර්ය සාධක බළකා කිහිපයක් පසුගිය කාලයේදී පත් කළා. නමුත් ඒ අය සමඟ පමණක් අපේ රටේ තිබෙන කෘෂිකර්ම හා පාරිසරික ප්‍රශ්න විසඳන්න බැහැ. හරිත කෘෂිකර්මය හා කාබනික කෘෂිකර්මය දියුණු කිරීමට ගත් පියවර ඉතා හොඳයි. නමුත් ආණ්ඩුවට ඒ තීරණය යථාර්ථයක් කරගන්න හොඳ සැලැස්මක් තිබුණේ නැහැ. අලුත් හරිත කාර්ය සාධක බළකායේ සාමාජිකයන් වැඩි දෙනා කෘෂි ව්‍යාපාර කරන අය. ඒ අනුව අපට කියන්න තියෙන්නේ රසායනික පොහොර මෙරටට ගෙන්වලා කරපු දේට සමාන දෙයක් දැන් ජීව පෝර මෙරටට ගෙන්වලා කරන්න ආණ්ඩුව සූදානම් වන බවයි.

ගොවීන් බැහැර කරලා ගොවීන් නිෂ්පාදනය කරන දේ ගණන් ගන්නේ නැතිව පොහොර හා වල් නාශක පිටරටින් ගෙනල්ලා ගොවීන්ට දෙන්න ගිය නිසා තමයි වර්තමානයේ මේ ප්‍රශ්න ඇතිවෙලා තිබෙන්නේ. මේ කාබනික හා හරිත වැඩපිළිවෙළ රජය ගැසට් කරලා දැන් මාස 6 ක් විතර වෙනවා. නමුත් එහි සාර්ථකත්වයක් පෙනෙන්න නැහැ. මෙයට හේතුව ගමේ ගොවි සංවිධාන, ගොවි නායකයන් හා පාරිම්පරික ‍කෘෂි දැනුම තිබෙන අය මේ කාර්ය සාධක බළකාවලට සම්බන්ධ කර නොගැනීමයි. අපි කියන්නේ ගොවීන්ට ප්‍රමුඛත්වය දී විද්වත් උපදෙස් අනුව මේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කළ යුතු බව” යැයි චින්තක රාජපක්ෂ පවසයි.

0 comment
0

Related Posts

Leave a Comment