Home දේශීය පුවත් සෞභාග්‍යවත් දේශයක් අපේක්ෂාවෙන් අභියෝගාත්මක තීරණවලට එළැඹ සිටිනවා

සෞභාග්‍යවත් දේශයක් අපේක්ෂාවෙන් අභියෝගාත්මක තීරණවලට එළැඹ සිටිනවා

by Hela news

ජනපති

සෞභාග්‍යවත් දේශයක් අපේක්ෂාවෙන් අභියෝගාත්මක තීරණවලට එළැඹ සිටින මේ මොහොතේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දේශපාලන භාවිතාව තීරණාත්මක සාධකයක් බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා එම පෙරමුණේ පස්වැනි ජාතික සමුළුව වීඩියෝ තාක්ෂණය ඔස්සේ අමතමින් ඊයේ (02) ප්‍රකාශ කළේය. කොළඹ නෙළුම් පොකුණ මහින්ද රාජපක්ෂ රඟහලේ දී පැවැති එම සංවත්සර උළෙලේ දී ජනාධිපතිවරයා පැවසුවේ සහෝදර පක්ෂ ඒකාරාශී කරගනිමින් රට ලැබූ ජය විජයග්‍රහණයක් කරා ගෙන යාමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂය පෙරමුණ ගත් බවයි.

යුගයේ අපේක්ෂාවන් ජයග්‍රහණය කිරීමේ අභිලාෂයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ බිහි වූ බවත් ඒ සතුට සියලු දෙනා තුළ පවතින බවත් ජනාධිපතිවරයා මෙහිදී කීවේය. යහපාලනය වෙනුවෙන් පෙනී සිටින බව ජනතාවට කී ආණ්ඩුව රටක පැවැත්මේ මූලිකම අවශ්‍යතාවය වූ ජාතික ආරක්ෂාව සැලසුම් සහගතව බිද දැමූ බවත් බුද්ධි අංශ අකර්මණ්‍ය කර, රට නිදහස් කළ රණවිරුවා ජාත්‍යන්තරය ඉදිරියේ පවා දුන් බවද හෙතෙම කීවේය. බොහෝ රණවිරුවන් සිරගත කළ අතර සමහරුන්ට මරණ දඩුවම දුන් මේ ව්‍යසනකාරී පාලනයට එරෙහිව හඩ නැගූ භික්ෂූන් වහන්සේ ඇතුළු ජාතිකමාමකයන්ට සිරගෙය උරුම කළ බවද අන්තවාදී ආගමික කල්ලි පෝෂණයට පරිසරය සකස් කර ආගමික සංහාරයට රට විවෘත කළ බවද ජනාධිපතිවරයා කීවේය. මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා මේ රටට දායද කළ හම්බන්තොට වරාය ඇතුළු ජාතික සම්පත් විජාතික බලවතුන්ට පවරා දෙමින් රටේ ප්‍රධාන මූල්‍ය ආයතනය වන මහබැංකුව කොල්ල කෑමෙන් ජාතික ආර්ථීකයට එල්ල වූ මරුපහරේ දුර්විපාක අදටත් මේ රට විඳිමින් සිටින බවද කීවේය.

අසාධාරණ ලෙස සමාජය පීඩාවට පත්කරන විට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නැවුම් දේශපාලන පක්ෂයක් ලෙස මහජන මතය ඉතා නිවැරදිව ග්‍රහණය කර ගත් බවත් ඒ නිසාම පෙරමුණ වටා විශාල ජනමතයක් ගොඩ නැඟුණු බවත් ජනාධිපතිවරයා කීවේය.

රාජ්‍ය සේවය ගුණාත්මක කළා වගේම උපාධීධාරීන් 60,000ක් රාජ්‍ය සේවයට බඳවා ගෙන රටේ බුද්ධිමය කුසලතාවයට රට නැංවීමට ඉඩ මේ රජය කටයුතු කළ බව පැවසු ජනාධිපතිවරයා, දර්ද්‍රතාවයෙන් පෙලුණු නිපුණතාවයෙන් අඩු තරුණ තරුණියන් ලක්ෂයකට රැකියා ලබාදීම අද ආරම්භ කර තිබෙන බවද කීවේය. එමෙන්ම හරිත කෘෂිකර්මාන්තයක් ඉලක්ක කරගෙන කාබනික ගොවිතැනට මාරුවීමේ අසීරු තීන්දුව සමස්ත අනාගත පරපුර වෙනුවෙන් ගෙන තිබෙන බවද අවධාරණය කළේය.

0 comment
0

Related Posts

Leave a Comment