Home දේශීය පුවත් සෞඛ්‍ය නිර්දේශ අනුව පාසල් ඇරැඹීමට සූදානම්

සෞඛ්‍ය නිර්දේශ අනුව පාසල් ඇරැඹීමට සූදානම්

by Hela news

අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා

සෞඛ්‍ය අමාත්‍යාංශය දී ඇති නිර්දේශය පරිදි නුදුරේදීම පාසල් ආරම්භ කිරීම සඳහා අධ්‍යාපන අමාත්‍යාංශය කටයුතු සූදානම් කරමින් පවතින බව අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා ‘දිනමිණ‘ට පැවසීය.

කෙසේ වෙතත් පාසල් ආරම්භ කිරීමේ දින වකවානු සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශය මෙතෙක් අවසන් තීන්දුවක් ගෙන නැති බවද ඒ මහතා කීය.

කොවිඩ් 19 වසංගතය පැතිර යාම ක්‍රමානුකූලව අඩුවීමත් සමඟ යළි පාසල් ආරම්භ කිරීම සම්බන්ධයෙන් ‘දිනමිණ‘ කළ විමසුමකට පිළිතුරු දෙමින් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරයා මේ බව සඳහන් කළේය.

පාසල් ආරම්භ කළ වහාම දරුවන්ට අධ්‍යාපනය ලබා දීම ආරම්භ කළ නොහැකි බව කී ලේකම්වරයා, දීර්ඝ කාලයක් නිවෙස්වලට වී මාර්ගගත ක්‍රමය යටතේ පමණක් අධ්‍යාපනය ලැබූ සිසු දරු දැරියන්ගේ සුවිශේෂ ගැටලු හඳුනාගැනීම හා ඔවුන්ගේ මානසික සෞඛ්‍ය ඉහළ නැංවීම පළමු කාර්යය වියයුතු බවද පෙන්වා දුන්නේ ය.

එසේම, පළමුව ආරම්භ කිරීම සුදුසු බවට සෞඛ්‍ය අංශවල නිර්දේශය ලැබී තිබෙන පාසල් සතියකට පමණ පෙර සිට ඒ සඳහා සූදානම් කිරීම කළ යුතු බවද කීය.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා නිකුත් කළ මාර්ගෝපදේශ අනුව, අදියර 3ක් යටතේ පාසල් නැවත ආරම්භ කිරීමට නියමිත අතර, පළමු අදියර යටතේ සිසුන් 200ට අඩු පාසල්වල 1 සිට 5 දක්වා ශ්‍රේණි පළමුව ආරම්භ කිරීමට නියමිත ය. දෙවැනි අදියර යටතේ සිසුන් 200ට වැඩි පාසල්වල 1 සිට 5 දක්වා ශ්‍රේණි ආරම්භ කිරීමටත්, සිසුන් 100ට අඩු පාසල්වල සියලු ශ්‍රේණි ආරම්භ කිරීමටත් නියමිත ය. එසේම, තුන්වෙනි අදියර යටතේ සිසුන් 200ට අඩු පාසල්වල 10,11,12 ශ්‍රේණි ආරම්භ කිරීමට හා රෝග ව්‍යාප්තිය සලකා බලා සියලුම ශ්‍රේණි ආරම්භ කිරීමටත් නියමිත ය.

මේ අතර පාසල් නැවත ආරම්භ කිරීම හා පළාත් පාසල්හි පරිපාලන ගැටලු සම්බන්ධයෙන් මෙන්ම, පාසල් නැවත ආරම්භ කිරීම හා ගුරු තුලනය සම්බන්ධයෙන් පළාත් ආණ්ඩුකාරවරුන් සමඟ අධ්‍යාපන ඇමැති දිනේෂ් ගුණවර්ධන මහතා ඉකුත් දා සාකච්ඡාවක ද නිරත විය. සෞඛ්‍ය අමාත්‍යාංශය එවා ඇති පාසල් නැවත ආරම්භ කිරීමේ මාර්ගෝපදේශ අනුව කටයුතු කිරීම හා පළාත්, කලාප හා කොට්ඨාස පාසල් සෞඛ්‍ය ප්‍රවර්ධන කමිටු කැඳවා පාසල් පෙර සූදානම් කටයුතු පිළිබඳ ද එහිදී සාකච්ඡා විය.

0 comment
0

Related Posts

Leave a Comment