සේරුවිල සිවිල් ආරක්ෂක මූලස්ථානයෙන් විශේෂ වගා වැඩසටහනක්

0
39

ඉකුත් තිස් අවුරුදු යුද සමයේ ඓතිහාසික සේරුවිල පුරවරය කොටි ත්‍රස්තවාදීන්ගෙන් මුදා ගැනීමට හා මුහුණට මුහුණ ලා ඔවුන් සමඟ සටන් කිරීමට පෙරමුණ ගත් සිවිල් ආරක්ෂක බළකායට හිමි වන්නේ ප්‍රමුඛ ස්ථානයකි. එදා එලෙස රට ජාතිය වෙනුවෙන් සටන් කළ සිවිල් ආරක්ෂක බළකා නිලධාරීහු යුද්ධයට දුන් දායකත්වයට නොදෙවෙනි සටනක් රටේ ආහාර හා කෘෂි නිශ්පාදන උදෙසා ලබා දෙන්නේද මේ ලක් මෑණියන් වෙනුවෙනි. සේරුවිල සිවිල් ආරක්ෂක පළාත් මූලස්ථානය මේ වනවිට තම බල ප්‍රදේශ තුළ අක්කර සිය ගණනක් කෘෂි භෝග ව්‍යාපෘති රාශියක් පවත්වාගෙන යමින් හා අක්කර 5කට අධික වපසරියක පොල් වගා කිරීමේ විශේෂ ව්‍යාපෘතියක් ද ආරම්භ කර ඇත්තේ ඒ බව මොනවට ඔප්පු කරමින් ය. මාවිල්ආරු සොරොව්ව ආසන්න ප්‍රදේශයේ මෙම පොල් වගාව ආරම්භ කර ඇති අතර, සාමාන්‍ය පොල් වගාවන්ද අභිබවමින් යම් වර්ධනයක් දක්නට ඇති බව සේරුනුවර කෘෂි පර්යේෂණ නිලධාරි එස්.ගනේෂ නන්දන් මහතා පැවසීය. මෙම වගාව තුළ දී පොහොර, ජලය, නඩත්තුව නිරන්තරයෙන් ලැබෙන බැවින් හා විශේෂයෙන් කාබනික පොහොර භාවිතය හා ක්ෂේත්‍රයේ පැළ සිටුවීමට පෙර බිම් සැකසීම වැඩි වපසරියකින් යුතුව වළවල් කැපීම ද මෙම වර්ධනයට හේතුවන්නට ඇතැයි සේරුවිල සිවිල් ආරක්ෂක පළාත් භාර අණදෙන නිලධාරි ලුතිනන් කර්නල් සරත් ගුණසේකර මහතා පැවසී ය.

මේ වනවිට මෙම පළාත් කාර්යාලය හරහා ඊට අනුබද්ධ අනු කලාපයන් හි අන්නාසි, රටකජු,පැණි කොමඩු, වී, මුංඇට, එළවළු,අඹ, වගාවන්ද විශාල වශයෙන් වගා කිරීම ආරම්භ කොට ඇති අතර දෙවන වටයේදී තවත් පොල් අක්කර 15ක ව්‍යාපෘතියන් ඇරඹීමට දැනටමත් සැලසුම් සකස් කොට අවසන් බවද අණදෙන නිලධාරිවරයා පැවසීය. මේ අනුව වාන්ඇළ, පන්සල්ගොඩැල්ල, ආයිල්අඩි,සේරුවිල, සේරුනුවර, නීලපොල, දෙහිවත්ත යන ප්‍රදේශයන්හි මෙම වගාවන් ආරම්භ කොට ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here