Home කාලීන පුවත් සූකර වකුගඩු බද්ධය

සූකර වකුගඩු බද්ධය

by Hela news

අවයව බද්ධ කිරීමේ ඉතිහාසය තවත් සුවිශේෂ ඉසව්වකට රැගෙන යෑමට සමත් බද්ධ කිරීමක් පසුගිය දා සිදු කෙරිණ. ඒ සූකර වකුගඩුවක් මිනිසකුට බද්ධ කිරීමයි. බද්ධ කිරීම සිදු කෙරුණේ ඇමෙරිකා එක්සත් ජනපදයේදීය. සූකර වකුගඩුව බද්ධ කෙරී ඇත්තේ මොළය අකර්මණ්‍ය තත්ත්වයට (මිය ගිය) පත් පුද්ගලයකුට බව සඳහන් වේ. මොළය ක්‍රියාකාරීත්වයෙන් තොර බැවින් ඔහුගේ ජීවය රඳවා ගැනීමට කෘත්‍රිම ජීවිතාධාරකයක් සවිකර තිබිණ. එසේ වුවත් රෝගියා යථා තත්ත්වයට නැවත පත් නොවන බව වෛද්‍යවරුන් සනාථ කර තිබිණි. රෝගියාගේ භාරකරුවන්ට, රෝගියාගේ අවයව බද්ධ කිරීම සඳහා දානය කිරීමේ අවශ්‍යතාවක් ද තිබිණි. මෙම පසුබිමෙහි දී රෝගියාට බද්ධ කෙරුණේ ජානමය වශයෙන් වැඩි දියුණු කරන ලද සූකර වකුගඩුවක් බව ද සඳහන් වේ. ජාන ඉංජිනේරු ශිල්පය භාවිතයට ගනිමින් එම වැඩි දියුණු කිරීම සිදු කර තිබුණේ රෝගියාගේ ශරීරයෙන්, සූකර වකුගඩුව ‘ආගන්තුක දේහයක්’ ලෙස සලකා ප්‍රතික්ෂේප කිරීම වළක්වා ගැනීමේ අරමුණ ඇතිවය.

නව වකුගඩුව

බද්ධ කිරීම සිදු කර තිබෙන්නේ ඇමෙරිකා එක්සත් ජනපදයේ නිව් යෝර්ක් විශ්වවිද්‍යාලයේ ලැන්ගෝන් වෛද්‍ය මධ්‍යස්ථානයේ ශල්‍ය වෛද්‍යවරු පිරිසකි. වකුගඩුව සමඟ තයිමස් ග්‍රන්ථියත් බද්ධ කළ බව ශල්‍ය වෛද්‍යවරු පවසති. ශල්‍යකර්මය සඳහා පැය දෙකකට ආසන්න කාලයක් ගත වූ බව ද දැක්වේ. මෙම ශල්‍යකර්මය සිදු කිරීමෙන් වෛද්‍යවරුන් බලාපොරොත්තු වූයේ සූකර පටක මිනිස් සිරුරෙන් ප්‍රතික්ෂේප වීම වළක්වා ගැනීමයි. බද්ධ කිරීමෙන් අනතුරුව වෛද්‍යවරු පිරිස රෝගියාගේ සිරුර ක්‍රියා කරන ආකාරය දින දෙකහමාරක පමණ කාලයක් පුරා ඉතා සමීපව නිරීක්ෂණය කළහ. නව වකුගඩුව සමඟ රෝගියාගේ දේහය ක්‍රියාත්මක වන ආකාරය සොයා බැලීම සඳහා වෛද්‍ය පරීක්ෂණ ගණනාවක්ම කිරීමට ඔවුන්ට සිදු විණ. සූකර වකුගඩුව, මානව වකුගඩුවක් ආකාරයටම මූලික වශයෙන් ක්‍රියා කළ බව ප්‍රධාන පර්යේෂක වෛද්‍ය රොබර්ට් මොන්ට්ගෝමෙරි සඳහන් කරයි.

“… මානව වකුගඩුවකින් සිදු වන කාර්යයන් හැම එකක්ම පාහේ බද්ධ කරන ලද සූකර වකුගඩුවෙනුත් ඉටු වුණා. සූකර වකුගඩුව මිනිස් සිරුර අභ්‍යන්තරයේදී සාමාන්‍ය තත්ත්වයෙන් ක්‍රියා කළ බව කියන්න පුළුවන්. බද්ධ කෙරුණු වකුගඩුව මානව ශරීරයෙන් ප්‍රතික්ෂේප වීමක් කෙහෙත්ම සිදු වුණේ නැහැ. ….” ඔහු මාධ්‍යයට පවසා තිබිණ.

සූකර වකුගඩු මිනිසුන්ට බද්ධ කිරීමේ ක්‍රියාවලිය සාර්ථක කර ගත හැකි වුව හොත් එය සෞඛ්‍ය ක්ෂේත්‍රය ලබන විශාල ජයග්‍රහණයක් වනු ඇති බව වෛද්‍යවරු සඳහන් කරති. බද්ධ කිරීම සඳහා අවශ්‍ය වකුගඩු ලබා ගැනීම දැනට සිදු වන්නේ අනතුරු ආදියට මුහුණ පෑම හේතුවෙන් මොළය අකර්මන්‍ය (මිය ගිය) තත්ත්වයට පත් පුද්ගලයන්ගෙනි. මේ තත්ත්වය නිසා වකුගඩු බද්ධයකදී එක රෝගියකුගේ ජීවිතය බේරා ගැනෙන විට තවත් කෙනෙකුට ජීවිතය අහිමි වන්නේය යන මතය ඇති වී තිබේ. වකුගඩු බද්ධයක් සිදු කර ගැනීමට රෝගීන්ට පොරොත්තු ලේඛනවල දීර්ඝ කාලයක් බලා සිටින්නට ද සිදුව ඇත. පොරොත්තු ලේඛනවල එසේ රැඳී සිටින රෝගීන්ගෙන් 40%කට ආසන්න පිරිසක් වකුගඩුවක් ලබා ගැනීමට පළමුව ජීවිතක්ෂයට පත් වන බව සංඛ්‍යා ලේඛනවලින් අනාවරණය වේ.

පොරොත්තු ලේඛන

බද්ධ කිරීම සඳහා අවයව අපේක්ෂාවෙන් පොරොත්තු ලේඛන ගත වන රෝගීන් සංඛ්‍යාව ඇමෙරිකාව වැනි රටවල ඉතා ඉහළ බව හෙළි වී ඇත. අවයව බද්ධ කිරීමේ පොරොත්තු ලේඛනවලට සෑම මිනිත්තු නවයකටම වරක් රෝගියකු එකතු වන බව ඇමෙරිකාවේ සෞඛ්‍ය සම්පත් සහ සේවා පරිපාලනයේ බලධාරීහු සඳහන් කරති. අවයව බද්ධ කිරීමේ අවශ්‍යතාව සහිතව එපරිද්දෙන් පොරොත්තු ලේඛනවල සිටින පිරිසෙන් සෑම මිනිත්තු 17කටම වරක් රෝගියකු මිය යන බව ද එම බලධාරීහු තහවුරු කරති. අවයව බද්ධය වත්මන් ලෝකයට කෙතෙරම් බැරෑරුම් අවශ්‍යතාවක් වී ඇත්ද යන්න මෙමඟින් සනාථ වේ.

සතුන්ගේ අවයව යොදාගෙන මිනිසුන්ගේ සෞඛ්‍ය ගැටලුවලට විසඳුම් සෙවීම පිළිබඳ අධ්‍යයනයන්ට තිබෙන්නේ දීර්ඝ ඉතිහාසයකි. වාර්තාවල දැක්වෙන අන්දමට රුධිර පාරවිලයනය පිළිබඳව කෙරුණු පර්යේෂණ සඳහා පළමුවෙන්ම යොදාගෙන තිබෙන්නේ ද සත්ත්ව රුධිරයයි. ඒ අනුව විවිධ සතුන්ගේ රුධිරය මිනිසුන්ට පාරවිලයනය කිරීමේ අත්හදා බැලීම් දහහත් වැනි සියවසේ සිටම සිදු කෙරුණු බව සඳහන් වේ. ගෙම්බෙකුගේ චර්මයක් මිනිසකුට බද්ධ කිරීම දහ නව වැනි සියවසේදී සිදු ඇත. චිම්පන්සින් සහ බැබුන් වර්ගවල වානරයන් යොදාගෙන එක්දහස් නවසිය හැට ගණන්වලදී වෛද්‍යවරු නොයෙක් ආකාරයේ බද්ධයන් අත්හදා බැලූහ. ඒ අතර වකුගඩු බද්ධයන් ද තිබිණ. එම බද්ධ එතරම් සාර්ථක නොවූයේය.

ජානමය වෙනස්කම්

වකුගඩු බද්ධ කිරීම සම්බන්ධයෙන් කෙරුණු පළමුව කී පර්යේෂණය සඳහා සූකරයන්ම යොදා ගැනීමට විශේෂ හේතුවක් තිබිණ. සූකරයන් ජනයා අතර සාමාන්‍යයෙන් ප්‍රකට ඇත්තේ ආහාර මූලාශ්‍රයක් ලෙසය. එසේ වුවත් කපාට ලබා ගැනීම ආදී වෛද්‍යමය කාර්යයන් සඳහා ද සූකරයන් යොදා ගැනෙයි. එබැවින් වකුගඩු බද්ධය සඳහා සූකරයන් යොදා ගැනීම ආගන්තුක දෙයක් නොවන බව වෛද්‍යවරු පෙන්වා දෙති. සූකරයන්ගේ දේහ තුළ දී ජානමය වශයෙන් වැඩි දියුණු කරන ලද වකුගඩු බද්ධ කිරීම සම්බන්ධයෙන් තව දුරටත් අධ්‍යනය කිරීමට නව පර්යේෂණය මනා පිටිවහලක් ලබා දෙයි. සූකරයන්ගේ දේහ අභ්‍යන්තරයේ දී ජානමය වැඩි දියුණු කිරීම්වලට ලක් කළ අවයව යොදාගෙන පර්යේෂණ කිරිමට අවශ්‍ය නියාමනයන් ද ඇමෙරිකාවෙහි මේ වන විට සැකසී තිබෙන නිසා තව දුරටත් අධ්‍යයනය කිරීම පහසු වී ඇත.

සූකරයන්ගේ අවයව ජානමය වශයෙන් වෙනසකට ලක් කෙරෙන්නේ සූකරන්ගේ දේහවල CD 46 නමැති ප්‍රෝටීනය නිෂ්පාදනය කිරීමට අවශ්‍ය පසුබිම සකසමිනි. එම ප්‍රෝටීනය මඟින් ප්‍රතිශක්තිකරණ පද්ධතියේ ක්‍රියාකාරිත්වය සඳහා බලපෑම් එල්ල කෙරේ. එම නවීකරණයට අමතරව ඇල්ෆා-ගාල් යනුවෙන් හැඳින්වෙන සීනි වර්ගයක් නිෂ්පාදනය කිරීමට අවශ්‍ය පසුබිම ද ජාන වෙනස් කිරීමෙන් සිදු කෙරෙයි. එම වෙනස සූකර වකුගඩුව මානව දේහයෙන් ප්‍රතික්ෂේප වීමට එරෙහිව ක්‍රියා කරයි. මේ අන්දමට ජානමය වශයෙන් වෙනස් කිරීම්වලට ලක් කරන ලද වකුගඩු බද්ධයන් සායනික වශයෙන් සිදු කිරීමට අවශ්‍ය පසුබිම ඉතා ඉක්මනින් සැකසෙනු ඇතැයි වෛද්‍යවරු පවසති. සූකරයන්ගේ සෙසු ශරීරය අවයව වන හෘදය, පෙණහලු, අක්මාව ආදිය මිනිසුන්ට බද්ධ කිරීම පිළිබඳව අත්හදා බලන්නට, සූකර වකුගඩු බද්ධයෙන් ලත් අත්දැකීම් පාදක වන බව වෛද්‍ය රොබර්ට් මොන්ටිගෝමෙරි පවසයි. ඉදිරි දස වස ඇතුළත දී එවැනි බද්ධ සඳහා අවශ්‍ය පසුබිම නිර්මාණය වනු ඇති බවයි ඔහුගේ අදහසය.

0 comment
0

Related Posts

Leave a Comment