Home කාලීන පුවත් සුරාබදු කොමසාරිස්ගෙන් නිවේදනයක්

සුරාබදු කොමසාරිස්ගෙන් නිවේදනයක්

by Hela news

සංචාරක මණ්ඩල අනුමැතිය සහිත සුරාබදු බලපත්‍ර සහිත හෝටලවල නවාතැන් ගනු ලබන විදේශීය සංචාරකයින් සඳහා එම සුරාබදු බලපත්‍ර ක්‍රියාත්මක කිරීමට අවසර ලබා දී තිබේ.

නිවේදනයක් නිකුත් කරමින් සුරාබදු කොමසාරිස් (නීති ක්‍රියාත්මක කිරීම්), කපිල කුමාරසිංහ මහතා සඳහන් කර ඇත්තේ, සුරාබදු ර.බි. 07, සුරාබදු ර.බි. 08, සහ බුටික් විලා යන වර්ගවලට අයත් ස්ථානයන් ට ඒ අනුව සුරාබදු බලපත්‍ර ක්‍රියාත්මක කිරීමට අවසර හිමිවන බවය.

මේ දිනවල බලපවත්නා නිරෝධායන ඇඳිරිනීතිය හේතුවෙන් දිවයින පුරා පිහිටි සියලූම සිල්ලරට මත්පැන් විකිණීම සඳහා වන සුරාබදු බලපත්‍ර ලත් ස්ථාන වසා තැබීමට සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා විසින් නියෝග කර තිබේ.

එසේ ද වුවත්, ජෛව සංචාරක බුබුළු සංකල්පය (Bio Tourist Bubble Concept) යටතේ විදේශීය සංචාරකයින් හට ශ්‍රී ලංකාවට පැමිණීමටත්, සංචාරක මණ්ඩල අනුමැතිය සහිත හෝටල් වල නවාතැන් ගැනීමටත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ අවසරය ලබා දී ඇත.

එබැන් එසේ පැමිණෙන විදේශීය සංචාරකයන්ගේ පහසුව සඳහා එම සංචාරක හෝටල්වලට නිකුත් කර ඇති සුරාබදු බලපත්‍ර ක්‍රියාත්මක කිරීමට සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා විසින් අවසර ලබා දී ඇති බව ද එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.

සංචාරක මණ්ඩල අනුමැතිය රහිත හෝටල සඳහා එම අවසරය හිමි නොවේ.

මේ අතර, දැනට පනවා ඇති නිරෝධායන ඇඳිරි නීතිය අවසන් වූ පසු විවෘත කෙරෙන මත්පැන් අලෙවිසැල් සම්බන්ධයෙන් දැඩි නීති රීති මාලාවක් ක්‍රියාත්මක කිරීමට නියමිතය.

ඒ පිළිබඳ අදහස් දැක්වු සුරාබදු කොමසාරිස්වරයා, 

“මත්පැන් හල් ඉදිරිපිට ජනතාව රැස් කිරීම සහ අනවශ්‍ය ලෙස රැඳී සිටීම වැළැක්වීම හා ජනතාව අතර දුරස්ථභාවය රැක ගනිමින් ඉතාමත් ඉක්මනින් අවශ්‍යතා ඉටුකර අදාළ පුද්ගලයින් පිටත්කර යැවීමටත් අවශ්‍ය පියවර ගැනීම මේ යටතේ බලපත්‍රලාභියාගේ වගකීමක් ලෙස පත්කර තිබෙනවා. එසේ කටයුතු කිරීමට අපොහොසත් වන බලපත්‍රලාභීන් පිළිබඳ තදින් පියවර ගැනීමට සුරාබදු කොමසාරිස්වරයා උපදෙස් ලබාදී තිබෙනවා.”

0 comment
0

Related Posts

Leave a Comment