Home කාලීන පුවත් සුරත් ද මැල්

සුරත් ද මැල්

by Hela news

සුරත් ද මැල් විසින් රචිත දෙවන නවකතාව ‘සී +’ සරසවි ප‍්‍රකාශනයක් ලෙස පාඨකයන් අත පත්කොට ඇත. සිය ප‍්‍රථම නවකතාව තී හා තා රචනා කරමින් නවකතාව පිණිස අත්පොත් තබන සුරත් ඒ හරහා විවාදාත්මක සාහිත්‍ය කථිකාවක් නිර්මාණය කිරීමට ද සමත් විය. තී හා තා රචනා කොට වසර දෙක හමාරක් ඉක්ම ගිය තැන සී + හරහා පාඨකයන් හමුවට එන සුරත් ද මැල් සමඟ ඔහුගේ දෙවන නවකතාව සම්බන්ධයෙන් සිදුකළ කතාබහක් පහත පළවේ.

ඔබේ ප‍්‍රථම නවකතාව වන ”තී හා තා”ට ඉහළ පාඨක විචාරක ප‍්‍රතිචාර හිමිවෙනව. එය ඔබ අපේක්ෂා කළ මට්ටම අභිබවායාමක් ලෙස හඳුන්වන්න පුළුවන්. සී+ පාඨකයන් අතට පත්වෙන්නේ ඒ උත්තේජනයේ ප‍්‍රතිඵලයක් ලෙසද?

 තී හා තා මම අපේක්ෂා කළ මට්ටම අභිබවා ගියා කියලා විශ්වාසද? කොහොම වුණත් තී හා තා මුද්‍රණය වෙන්න පෙර තමයි මම සී+ ලිව්වේ. ඒ හින්දා ඔය ප‍්‍රශ්නෙ සී+ට අදාළ වෙන්නෙ නෑ.

 නවකතාවට ඔබ තවමත් ආධුනිකයෙක්. ඒ චෝදනාව ඔබ විසින් ප‍්‍රතික්ෂේප කරනවද?

 ඒක චෝදනාවක්ද? ඒක දත්තයක්නේ. කොහොමත් හැම දෙයක්ම ලියන්න හදනකොට මට හිතෙන්නෙත් මම ජීවිතේ පළවෙනි වතාවට ලියන්න යනවා වගේ තමයි. ඒ හැඟීමට මම කැමතියි.

 තී හා තා නවකතාව පිළිබඳ කතාබහ සාහිත්‍යය සමාජයෙන් මැකී යන්නටත් මත්තෙන් තවත් නවකතාවක් අරන් ඔබ එනව. මොකක්ද මේ කලබලය? ප‍්‍රවීණයෙක් වෙන්න දරන උත්සාහයක්ද?

 තී හා තා පිටවී අවුරුදු දෙකහමාරකට පස්සෙයි සී+ එන්නේ. තී හා තා පිළිබඳ කතා බහ සමහර විට තව කාලයක් තියෙයි. හැමදාම ඒකේ එල්ලිලා ඉන්න උවමනාවක් මට නෑ. සාහිත්‍ය ගැන කතා බහ

 ගෙනියන එක පාඨකයන්ගේ හා විචාරකයින්ගේ වැඩක්. මගේ වැඬේ ලියන එක. කාටද ඕන ප‍්‍රවීණ වෙන්න? උත්සාහ කරන්න ඕනෙ විශිෂ්ටයෙක් වෙන්නයි. ලංකාවෙ පුදුම පිස්සුවක් තියෙන්නේ ප‍්‍රවීණ වෙන්න. සිංදු දෙකක් ලිව්වට පස්සේ තුන්වෙනි එකේ ඉඳන් දාගන්නව ප‍්‍රවීණ කියලා. ප‍්‍රවීණ කියන්නේ ‘එයා දැන් ලොකු ළමයෙක්’ වගේ ටැග් එකක් කියලා සමහරු හිතන්නේ.

 දැන් දැන් සිංහල භාෂාවෙ වැරදියටම භාවිත කරන වචනයක් ඕක. ඒ නිසා දැන් ප‍්‍රවීණ කියන්නේ අවලං වචනයක් වෙලා. කිසිම දැනෙන වැඩක් නොකරපු අය ‘මම මෙච්චර කාලයක් මේ කලා කෙතේ රස්තියාදු ගහලා තියෙනවා’ කියලා කියන්න පාවිච්චි කරන දුප්පත් වචනයක් ඒක. ඒ ප‍්‍රවීණයෝ කියලා හිතාගෙන ඉන්න අය කලා කෙත අස්වද්දලා නෑ. ඒක මඩ කලා විතරයි.

 ප‍්‍රවීණයන් කෙරෙහි ගරු කිරීමක්, අද්‍යතන නවකතාව පිළිබඳ හැදෑරීමක් සහිතව යන ගමනක් පිළිබඳව ඔබේ විශ්වාසයක් නැද්ද?

 ප‍්‍රවීණයින්ට ගරු කිරීම ගැන උපදෙස් තියෙන්නේ කොහේද? බණ පොතේද? මම සාහිත්‍යයේදී නම් එහෙම එකක් දන්නේ නෑ. අපි ගරු කරන්නේ සාහිත්‍යයට මිසක් චරිතවලට නෙමෙයි. නිර්මාණ තියෙන්නේ කලාකාරයා විසින් නිර්මිත සංකල්පීය තලයක. ඒ නිසා නිර්මාණ හැමවිටම කලාකාරයාට වඩා ඉහළයි. නැත්නම් කලාකාරයෝ කියන්නෙත් එදිනෙදා ජීවිතවල අපිට මුණගැහෙන තවත් පිරිසක් විතරයි. පුද්ගලිකව එයාලට ගෞරව කරන්න විශේෂ හේතුවක් නෑ.

 අනෙක නිර්මාණ විශිෂ්ට නම් වයස, තරාතිරම, පොත් කීයක් ලියලා තියෙනවද, සම්මාන කීයක් අරන් තියෙනවද ඔය මුකුත් අදාළ නෑ.

 නවකතාව පිළිබඳව හැදෑරීමක් සමග තමයි මම නම් යන්නේ. හැබැයි ඒකත් අත්‍යවශ්‍ය කාරණයක් නොවන වග සාහිත්‍ය තුළ සමහරු ඔප්පු කරලා තියෙනවා. වැදගත් වෙන්නේ කියන්න ඵලදායී යමක් තියෙනවද කියන එක.

 ඔබේ ප‍්‍රථම නවකතාව සම්බන්ධයෙන් ඇතැමුන් නගන චෝදනාවක් තමයි ලිංගික කුණුකන්දල් අලංකාර දවටනයක අසුරල ඔබ විසින් පාඨකයන් අතට පත් කළා කියන කාරණය. සී+ හරහා ඒ චෝදනාවෙන් නිවැරදි වෙන්න කටයුතු කළාද?

 ලිංගිකත්වය කියන්නේ අපේ සමාජයේ කවුරුත් නොදන්න නොකරන දෙයක්නේ. මේ රටේ මිලියන් විසි දෙකක් ජනතාව ඉපදිලා තියෙන්නෙත් මහබඹා මහපටැඟිල්ලෙන් කාන්තාවන්ගේ නාභිය පිරිමැදලනෙ. මහබඹාට විතරයි සැප. පව් ලංකාවෙ මිනිස්සු.

 කොහොම වුණත් ඉස්සෙල්ලා නවකතාවෙන් ඇතිවූ කතා බහ සමනය කරන්න ඊළඟ නවකතාව ලියන්නේ නෑ කවුරුත්. ඒක හරියට මැච් එකක අම්පයර් වැරදි අවුට් එකක් දීපු හින්දා ඒකට හරියන්න අනෙක් ටීම් එකටත් වැරදි අවුට් එකක් දෙනවා වගේ මෝඩ වැඩක්. හැම නවකතාවකින්ම අලූත් කතාබහක් ඇති කරන්නයි කාටත් උවමනා.

 ඔබ විසින් රචිත නවකතා දෙක ගත් කල ඒ තුළ නඩත්තු වෙන්නේ මධ්‍යම පාන්තික සෙල්ලක්කාර තරුණ ජීවිත. එය ඔබේ නිර්මාණ ”මාදිලිය”ද?

 පළමු කාරණය තාරුණ්‍ය කොහොමත් සෙල්ලක්කාරයි. ඒ පිළිබඳව මාතෘකා වන නවකතාවක් ලියද්දි තාරුණ්‍යයේ ගති සොබා මගහැර යන්න බෑ.

 දෙවැන්න, මධ්‍යම පාන්තිකයැයි ලාංකිකයන් නිර්වචනය කර ඇති ජීවිතය තමයි මගේ පසුබිම. මම ලියන්නේ මම දන්න මට දැනෙන දේවල්. මම නොදන්න මට නොදැනෙන දේ ගැන ලියන්න මට උනන්දුවක් නෑ. දැන් බලන්න ලංකාවේ සිනමාව නූතනත්වය

 ගැන කතා කරමින් සෑහෙන ඉදිරියට ගිහින් තියෙනවා. ඒත් බොහොමයක් නවකතා තාම ඉන්නේ වැවයි දාගැබයි ගමයි පන්සලයි මෝටෝ එකේ. මේ ජාතියේ සාහිත්‍ය සේවය සපයන්නේ කුමන සමාජ ප‍්‍රවාහයට ද කියන එක පැහැදිලියි. මම එතැන නෑ.

 නවකතාකරුවෙක් ලෙස ඔබේ භාෂා භාවිතය වඩාත් නෑකම් කියන්නේ කෙටිකතාවට. කෙටිකතාව වැඩ බිම බවට පත් කර ගනිමින් නිර්මාණකරණයට පිවිසීමට අදහසක් නැද්ද?

 කෙටිකතාව පිළිබඳ මට ප‍්‍රමාණාත්මක අධ්‍යයනයක් නෑ. දැනට නොදන්න දේවල් කරන්න මට හිතක් නෑ. බැරි දේවල් කරන්න ආසාව ආපු දවසක කෙටිකතා ලියනවා.

 සී+ නවකතාව ආකෘතිමය හරඹ සහිත කියවීමක්. ජනප‍්‍රිය ගීතවල මුල් කොටස් සහ ගීත රචකයන්ගේ නම් ඊට ඇතුළත් කිරීමේ නිර්මාණාත්මක වෑයම ඔබට අනුව මොනවගේද?

 ගීතවල කොටස් සෑම පරිච්ෙඡ්දයකම මුල ඇතුළත් කිරීම කතාවේ ආකෘතිය විසින්ම කළ ඉල්ලීමක්. මම ආකෘති හදලා ඒකට කතා ඔබ්බවන්නෙ නෑ. කතාව විසින්ම ගලායෑම තුළ ආකෘතියක් නිර්මාණය කර ගන්නවා.

 වෙනත් පැත්තකින් ගත්තොත් කෘතියේ අලෙවිය පිණිස එය වැදගත් සාධකයක් ද?

 කොහෙත්ම නෑ. පරණ සිංදු කෑලි කීපයක් කියවන්න රුපියල් හත්සීයක් දීලා පිටු හාරසීය පනහක නවකතාවක් ගන්න පාඨකයටපිස්සු නෑ.

 සී+ සඳහා පෙරවදන, පසු වදන ඇතුළත් නොකිරීමට ඔබ විසින් තීරණය කර තිබෙනව. ඒ අලෙවි උපක‍්‍රමයක්ද. එසේත් නැත්නම් ලේඛකයෙක් ලෙස ඔබ ”පොරක්” බව හඳුන්වාදීමට ගත් අහිංසක උත්සාහයක්ද?

 පොරක් වෙන්න මට පිටු ඉරන්න ඕනේ නෑ.

 ශාස්ත‍්‍රීය ග‍්‍රන්ථ සඳහා නම් බෙහෝවිට පෙරවදන් පසුවදන් අවශ්‍ය වෙන්න පුළුවන්. ඒ ඒ විෂය පිළිබඳ කෙටියෙන් තත්ත්වාබෝධයක් ලබා දෙන්න. ඒත් නවකතාවකට ඒවා අනවශ්‍යයි.

0 comment
0

Related Posts

Leave a Comment