Home ගොසිප් පුවත් සුපිරි නළුවකු රෙදි විකුණන්න ඇමෙරිකාවට යයි.

සුපිරි නළුවකු රෙදි විකුණන්න ඇමෙරිකාවට යයි.

by Hela news

ඇමරිකාවට ගිය කමල් කොවිඩ් අරන් එයි

මුළු ලෝකය පුරාම මෙම රෙදි ප්‍රචලිත කිරීම ඔහුගේ අරමුණයි

මහත්මා ගාන්ධි හඳුන්වා දුන් නූල් වර්ගයකින් කමල් හසන් රෙදි විවීම ආරම්භ කර ඇත

දකුණු ඉන්දියානු සිනමාවේ දැවැන්තයකු වන කමල් හසන් පසුගිය සතියේ මාධ්‍ය තුළ ලොකු අවධානයක් දිනාගත්තේය. ඒ ප්‍රධාන වශයෙන්ම කාරණා දෙකක් නිසාය. එකක් නම් මෙතෙක් කලක් සිනමා නළුවකු, අධ්‍යක්‍ෂවරයකු සහ දේශපාලනඥයකු ලෙස ප්‍රසිද්ධියක් දිනා සිටි ඔහු තවත් අලුත් ක්‍ෂේත්‍රයකටද පියවර තැබීමයි. එනම් ඇඳුම් ව්‍යාපාර ක්‍ෂේත්‍රයටයි. මෙය සතුටුදායක ආරංචියක් වුවද දෙවැනි කාරණය එතරම් සතුටුදායක එකක් නොවීය. එනම් ඔහුද කොරෝනා ආසාදිතයකු බවට පත් වී රෝහල්ගත කර තිබීමයි.

කමල් පවසන ආකාරයට ඔහු වයිරසයට ගොදුරු වී තිබුණේ ඇමරිකාවේ සංචාරයකින් පසුවය. මේ සම්බන්ධයෙන් පසුගියදා ඔහු සිය සමාජ මාධ්‍ය පිටුවක සටහනක් තබා තිබිණි. ‘ඇමරිකාවේ සිට පෙරළා පැමිණි පසු මට සුළු කැස්සක් ඇති වුණා. පරීක්‍ෂණයකින් පසු හෙළි වූයේ මට කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බවයි. මා මේ වනවිට රෝහල්ගතව සිටිනවා. සියලු දෙනාගෙන් මා ඉල්ලා සිටින්නේ පරෙස්සම් වන ලෙසයි. වයිරසයේ පැතිරීම තවමත් නතර වී නැති බව අප අවබෝධ කරගත යුතුයි’ යනුවෙන් ඔහු එහි සඳහන් කර තිබිණි. කමල් ඇතුළත් කර තිබුණේ චෙන්නායි නුවර රෝහලකටයි.

කමල් කොවිඩ් රෝගයට ගොදුරු වීමට පෙර ඇමරිකාවට ගොස් තිබුණේ ඔහුගේ ඇඳුම් ව්‍යාපාරයේ අලෙවිසලක් එහි චිකාගෝ නුවර විවෘත කිරීම වෙනුවෙනි. ඔහු සිය ව්‍යාපාරය නම් කර ඇත්තේ KH House of Khaddar යන නමිනි. මෙහි KH යන්නෙන් පැවසෙන්නේ Kamal Haasan යන්නයි. තමාගේ මෙම ව්‍යාපාරයේ එක් අරමුණක් වන්නේ කාදි නමැති රෙදි විශේෂය ප්‍රචලිත කිරීම බවද ඔහු පවසා තිබිණි. මෙම රෙදි වර්ගය අත්යන්ත්‍ර ආශ්‍රයෙන් වියනු ලබන රෙදි වර්ගයක් වන අතර එය මුලින්ම හඳුන්වා දෙනු ලැබ තිබුණේ මහත්මා ගාන්ධි විසිනි. සාමාන්‍යයෙන් කපු නූලෙන් වියන මෙම රෙදි වර්ගය ගාන්ධිතුමා මුල් වරට නිපදවා තිබුණේ 1917-18 කාලයේ ඔහුගේ සබර්මති ආශ්‍රමයේ බව සඳහන් වේ.

කමල් හසන්ගේ ව්‍යාපාරය සඳහා ඇඳුම් නිර්මාණය කරන්නේ අමිර්තා රාම් නමැති මෝස්තර නිර්මාණ ශිල්පිනියක බවද මාධ්‍ය සඳහන් කර තිබිණි. තම ව්‍යාපාරය නිසා මෙම රෙදි වියන නිෂ්පාදකයන්ට හොඳ අවස්ථාවක් විවර වනු ඇති බවද KH House of Khaddar දියත් කරමින් කමල් සඳහන් කර ඇත. බටහිර පාරිභෝගිකයන්ට ඔහු පවසන්නේ මෙම ඇඳුම් හරහා ඔවුන්ට ඉන්දියාවේ ඉතිහාසය වෙත ළඟා විය හැකි බවයි. චිකාගෝ නුවරදී KH House of Khaddar දියත් කළ අවස්ථාවට සම්භාවනීය අමුත්තන් සහ මාධ්‍යවේදීන් රැසක් සහභාගි වී සිටි බවද වාර්තා වේ. මෙයින් මුලින්ම ලැබුණු ආදායම කමල් එක්තරා සමාජ සේවා කටයුත්තක් වෙනුවෙන් ප්‍රදානය කර ඇති බවද මාධ්‍ය සඳහන් කර තිබිණි.

කෙසේ හෝ වේවා, කමල් කොරෝනා ආසාදිතයකු බවට පත් ව තිබුණේ ඇමරිකාවේ කළ ඉහත සංචාරයෙන් පසුවය. පසුගිය දිනවල ඔහු අලුත් චිත්‍රපටයක රූපගත කිරීම්වලටද සම්බන්ධ වී සිටියේය.

ඒ ‘වික්‍රම්’ නමැති චිත්‍රපටයේයි. එය ලෝකේෂ් කනගරාජ් විසින් අධ්‍යක්‍ෂණය කරනු ලබන්නකි. කමල් කොරෝනා ආසාදිතයකු බවට පත් වීම නිසා එහි රූපගත කිරීම්වල අවසන් අදියර කල් දැමීමට සිදුවනු ඇතැයි විශ්වාස කෙරේ. විජේ සේතුපතිද මෙම චිත්‍රපටයේ ප්‍රධාන චරිතයක් නිරූපණය කරයි. ‘වික්‍රම්’ වේගවත් ක්‍රියාදාම චිත්‍රපටයක් බවද සඳහන් වේ.

කමල් රඟපෑ චිත්‍රපට අතරින් අවසන් වරට තිරගත වූයේ ‘විශ්වරූප්-2’ චිත්‍රපටයයි. එය තිරගත කෙරුණේ 2018 වසරේය. මෙම සිනමාපටය අධ්‍යක්‍ෂණය කළේද කමල්මය. කෙසේ වෙතත්, පසුගිය කාලයේ කමල් වැඩි අවධානයක් යොමු කළේ දේශපාලන කටයුතු කෙරෙහිය. ඒ වෙනුවෙන් ඔහු මක්කල් නීති මයියාම් නම් පකෂයක්ද පිහිටුවා ගත්තේය. මැතිවරණවලටද ඉදිරිපත් විය. තමිල්නාඩු දේශපාලනය තුළ එම්.ජී. රාමචන්ද්‍රන් (එම්ජීආර්), ජයලලිතා වැනි සිනමා ශිල්පීන් ඉතා ප්‍රබල චරිත බවට පත්ව සිටි බැව් රහසක් නොවේ. එම පසුබිම තුළ කමල්ටද ඉතා සාර්ථක ගමනක් යාමට හැකි වනු ඇතැයි යන්න බොහෝ දෙනාගේ විශ්වාසය විය. නමුත් බලාපොරොත්තු වූ තරම් ශක්තිමත් පදනමක් ඇති කර ගැනීමට ඔහුට තවමත් හැකි වී ඇති බවක් පෙනෙන්නේ නැත.

0 comment
0

Related Posts

Leave a Comment