Home දේශීය පුවත් සුදුලූනු වංචාව ගැන බන්දුලගේ නියමයෙන් අභ්‍යන්තර පරීක්ෂණයක් අරඹයි – වෙළෙඳ ඇමැති

සුදුලූනු වංචාව ගැන බන්දුලගේ නියමයෙන් අභ්‍යන්තර පරීක්ෂණයක් අරඹයි – වෙළෙඳ ඇමැති

by Hela news

ලංකා සතොස ආයතනයේ සුදුලූනු වංචාව සම්බන්ධයෙන් අභ්‍යන්තර පරීක්ෂණයක් පැවැත්වීම සඳහා නිලධාරීන් තිදෙනකු පත් කර ඇති බව වෙළෙඳ ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.

වෙළෙඳ අමාත්‍යාංශයේ ලේකම්වරිය විසින් අතිරේක ලේකම්වරුන් සහ සෙසු පාර්ශ්ව දෙකක සංයුතියෙන් රහස් පොලිස් පරීක්ෂණවලට අතිරේකව මේ අභ්‍යන්තර පරීක්ෂණය කෙරෙන බවද ඇමැතිවරයා කීය. ඇමැතිවරයා මේ බව පැවසුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ඊයේ (12) පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියකු මේ සම්බන්ධයෙන් මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

මේ වංචාව පිළිබඳ ඉදිරි විමර්ශන කිරීම මේ වනවිට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාර දී ඇති බවද වෙළෙඳ ඇමැතිවරයා එහිදී පැවසීය.

මේ සිද්ධිය සම්බන්ධයෙන් පැමිණිල්ල ඉදිරිපත් කළ අවස්ථාවේ පෑලියගොඩ පොලිසිය අදාළ තැනැත්තන් අත්අඩංගුවට ගෙන වත්තල අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ඇප ලබා දී නඩු කටයුතු ඉදිරියට සිදු වෙමින් තිබෙන බවත්, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පරීක්ෂණ භාර දීමෙන් පසු උසස් නිලධාරින් සිව් දෙනකු අධිකරණයට ඉදිරිපත් කර තිබෙන බවත් ඒ මහතා කීය.

මේ චෝදනාව ඉදිරිපත් කරන පුද්ගලයා මාධ්‍යවල පළ කෙරෙන චෝදනා සම්බන්ධව සොයා බලා සම්පූර්ණ පරීක්ෂණයක් කර අවශ්‍ය යුක්තිය පසිඳලීමේ ක්‍රියාවලිය නිසි ලෙස කිරීමට ජනාධිපති ගෝඨාභය රජපක්ෂ මහතා මහජන ආරක්ෂක ඇමැති ආචාර්ය සරත් වීරසේකර මහතාට දැනුම් දුන් බවද ඇමැතිවරයා පැවසීය.

මෙහිදී අදහස් දැක්වූ ජනමාධ්‍ය ඇමැති හා සම කැබිනට් ප්‍රකාශක ඩලස් අලහප්පෙරුම මහතා පැවසුවේ සුදුලූනු චෝදනාව ඉදිරිපත් කරන නිලධාරියාගේ නිවෙස මේ වන විට කැමරාවලින් ආවේක්ෂණ කටයුතු කරන බවත්, ජංගම පොලිස් ආරක්ෂාවක් දී ඇති බවත්, එම පුද්ගලයාගේ ආරක්ෂාවට ගැටලුවක් ඇති වන බවට පළ වන වාර්තාවල කිසිදු සත්‍යතාවක් නැති බවත් මේ පරීක්ෂණවල සත්‍ය අසත්‍යතාව පිළිබඳ සොයා බැලීමට පොලිස් දෙපාර්තමේන්තුව කැප වීමෙන් ක්‍රියා කරන බවත් විෂය භාර ඇමැතිවරයා ලෙස ආචාර්ය සරත් වීරසේකර මහතා තමා වෙත දැනුම් දුන් බවයි.

0 comment
0

Related Posts

Leave a Comment