Home කාලීන පුවත් සිසිල බෙදන්න මුල පුරන දිය­ව­න්නාවේ සඳුන් උයන

සිසිල බෙදන්න මුල පුරන දිය­ව­න්නාවේ සඳුන් උයන

by Hela news

සුන්දර දියවන්නාවට මැදිවූ පාර්ලිමේන්තු සංකීර්ණය ඈතින් දිස්වේ. ‘අපේ ගම‘ පසුකොට දියවන්නා ඔය අද්දරින් තලවතුගොඩ දෙසට දිවෙන අලුත් පාර අද්දර එක යායට සරුවට වැඩෙන සඳුන් උයනකි. මීට මාස ගණනකට පෙර නම් අපට එවැනි සොඳුරු දසුන් දැක ගන්නට ඉඩක් නොලැබුණි. රාජ්‍ය අනුග්‍රහය යටතේ ඉඳිවන ප්‍රථම ජාතික සඳුන් උයන හා සඳුන් ගස් සෙවණේ ඉඳිවූ ප්‍රථම විවේක මධ්‍යස්ථානය සමස්ත ජනතාවටම ගෙන එන්නේ නැවුම් අත්දැකීමකි.

කොවිඩ් 19 වසංගතය නිසා රට තුළ පැනවූ බරපතළ සීමා මායිම් හමුවේ වුවද, 2020 වසරේ ජූලි 20 දින ජනාධිපති ගෝඨාභය රාජපක්ෂයන්ගේ සංකල්පයක් යටතේ ජාතික වැදගත්කමක් උසුලන මෙම ජාතික සඳුන් උයනෙහි ඉදිකිරීම් ඇරඹුණි. එය 2021 ජූලි 21 වැනිදා අගමැති මහින්ද රාජපක්සයන් අතින් ජනතා අයිතියට පත්කෙරිණි.

රට තුළ සංවර්ධනය කළ යුතු ප්‍රදේශ හඳුනාගනිමින් යටිතල පහසුකම් සහිතව හරිත කලාප ඇති කිරීමේ වැඩපිළිවෙළේ එක් සන්ධිස්ථානයක් වශයෙන් මෙම ජාතික සඳුන් උයන සනිටුහන් කර තිබේ. නාගරික සංවර්ධන අධිකාරියට අයත් අක්කර 09ක් වූ ඉතා ඉහළ ආර්ථික වටිනාකමකින් යුත් ඉඩමක් ලාභයකින් තොරව ජනතාව වෙනුවෙන් යෙදවීම හරිත සංකල්පයේ සාර්ථකත්වයට උදාහරණ සපයයි. අදියර දෙකක් යටතේ ක්‍රියාත්මක වූ ජාතික සඳුන් උයන ඉදිවූ අතර නාගරික සංවර්ධන අධිකාරියේ උපදෙස් මත ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාව මෙහි ඉදිකිරීම් කටයුතු සිදුකර ඇත.

ජාතික සඳුන් උයනේ ශ්‍රී ලංකාවේ වැවෙන අතිදුර්ලභ වටිනා රත් හඳුන් ශාක 300ක් හා සුදු හඳුන් ශාක 900ක් සමන්විත වේ. උයනේ රෝපිත ශාක වඩාත් ආරක්ෂාවීම සඳහා පොළොව මට්ටමේ සිට අඩි 2ක් පමණ උස පස් පීඨිකාවක පැළ සිටුවා තිබීම මෙහි විශේෂත්වයකි. එසේම පසේ තෙතමනය රඳා තබා ගැනීම සහ පැළවලට අවශ්‍ය ජලය ලබා ගැනීම සඳහා මුගුණුවැන්න පැළ වගාකර ඇත.

දියවන්නාවේ සීතල දිය රැලි සෙමින් සෙමින් ඔබමොබ දිවෙයි. දියවන්නාවට මුහුණලා ඉදිවුණු සඳුන් උයනේ සඳුන් පැළ තාමත් අඩි කිහිපයකට වඩා උස නැත. වෙනස්ම ආකාරයේ පරිසර හිත මිතුරු ව්‍යාපෘතියක් ලෙස ක්‍රියාත්මක වන ජාතික සඳුන් උයනට ඇතුළුවිය යුත්තේ විශාල ජල පොකුණු දෙකක් මැදිනි. මෙම පොකුණු දෙක ජල ලීටර් ලක්ෂ දෙකකින් සමන්විතය. පොකුණු දෙක මැදින් තැනූ උස් වේදිකාවක ප්‍රවේශ මාර්ගය පිහිටා තිබේ. එම මඟ දෙපස මඳක් ඉහළ බිත්ති 08ක් බැඳ තිබේ. එම බිත්ති මතින් නිරන්තරයෙන් ඇද හැලෙන ජලධාරා දිය ඇල්ලක සිරිය මවයි. මෙම සඳුන් උයනේ රුව ගුණ හැඩතල වඩාත් විචිත්‍රවත් වන්නේ රාත්‍රී කාලයටය. නෙක අලංකාර විදුලි බුබුළින් ඒකාලෝක වන සඳුන් උයන සැබෑම සුන්දරත්වයක් මවමින් සුවහසක් ජන මන දොළ පිනවයි. වරෙක මෙය අපූරු එළිමහන් රංග පීඨයකි. එකම වෙනස මුදලක් අය නොකරමින් උසස්ම රසාස්වාදයක් ලබාදීමයි.

ඉන් අනතුරුව දෙපස වර්ණවත් වන්නේ නෙක විසිතුරු මල් ගොමු දෙකකිනි. එය පරිසරය සමඟ බද්ධ වන සිසිල් ආලෝකයකින් යුක්ත වේ. විවිධ රටා මවන ස්වයංක්‍රීය වතුර මල් රැසක් ද මෙහි පිහිටුවා තිබේ. කුඩා පොකුණු 12න් යුත් ප්‍රදේශයක් දක්නට ලැබේ. මෙහි ඇති එළිමහන් රංග පීඨය අතීත රංග පීඨවල සිරිය මවයි. ජාතික සඳුන් උයන නිදහස, විවේකය, හුදෙකලාව, විනෝදය හා විවිධත්වය මෙන්මතම සිත කැමති පරිසරය, යහපත් ක්‍රියාවන් අවස්ථාවන් සඳහා ඊට ගැළපෙන අයුරින් නිර්මාණය කර තිබීම විශේෂත්වයකි.

ව්‍යායාම කිරීම, යෝග වැඩසටහන් පැවැත්වීම මෙන්ම විවිධ භාවනා වැඩසටහන් කිරීමට ඉතා සුදුසු පරිසරයක් ද මෙහි නිර්මාණය කර තිබේ. හුදෙකලාව අගයන්නන්ට මෙන්ම නිදහසේ කතාබහ කිරීම්වලට ද පවුලේ සාමාජිකයන්ට, විවේකීව නිදහසේ ගත කිරීමට ද මෙම සඳුන් උයන ඉතා විචිත්‍ර තෝතැන්නක් වේ. එමෙන්ම වෙනස් වූ විවිධත්වය අගයන්නන්ට සේම, සරල සහ ගැඹුරු පර්යේෂණ කරන්නන්ට තමන් සොයන නිදහස් මතයන්ට සහ පර්යේෂණවලට පිවිසීමට ජාතික සඳුන් උයනෙන් අවස්ථාව හිමිවේ. සඳුන් උයනට පැමිණෙන්නන් හට අවශ්‍ය පහසුකම් අතර වාහන 60ක් නැවැත්වීමට හැකි විවෘත රථගාලක්, සෞඛ්‍යාරක්ෂිත පානීය ජල පහසුකම්, සනීපාරක්ෂක පහසුකම්, පිරිසිදු ආහාර පාන ලබාගැනීම සඳහා වන අවන්හල් මෙහිදී හිමිවන පහසුකම්වලින් කීපයකි.

සඳුන් තෙල් ලොව මිල අධිකම තෙල් වර්ගය ලෙස පිළිගැනීමට ලක්වී තිබේ. ඒ අතරන් ඉන්දියානු සඳුන් තෙල් සැන්ටලෝල් නම් වටිනා ගුණාංගවලින් යුක්තවීම මත ඉහළ මිලකට එම තෙල් අලෙවි වෙයි. සඳුන් තෙල් මෘදුය. උණුසුම්ය. සිසිල්ය. කිරි ගතියෙන් යුක්තය. හින්දු ආගමේ ශිව දෙවි වන්දනාවට සහ ජෛන ආගමේ පූජනීය වස්තුවක් ලෙස සලකන සඳුන් ගසෙහි ලක්ෂ්මී දේවිය වැඩ වසන බව බැතිමතුන්ගේ විශ්වාසයයි.

සංස්කෘත භාෂාවෙන් ‘ශ්‍රී ඛන්ඩ චන්දන‘ නාමයෙන් හැඳින්වෙන සුදු හඳුන් වෘක්ෂය ඍෂි යුගයටත් පෙර සිටම පැවත එන දිව්‍ය ඖෂධයකි. සුදු හඳුන් පිළිබඳව මානව දැනුම අනාදිමත් කාලයක සිටම පැවත එන බව සඳහන් කළ හැක.

එකල මහෞෂධ නාමයෙන් බෝසතාණන් වහන්සේගේ නාමය ලෝකයා අතර පතළ වන්නට ඉවහල් වූයේ ද සුදු හඳුන් ඖෂධය බවත් පැරණි ග්‍රන්ථවල සඳහන් වී ඇත.

“අමිත ගුණ නුවණ යුතු උතුමෝ පබඳ

අනත වෙහෙස ලදුවත් නොම වෙති දුඟද

දියත පතළ සුවඳැති සොඳ සඳුන් කඳ

සිඳිත මඩිත එක ලෙස පැතිරෙයි සුවඳ“

(අපමණ වූ ගුණයෙන් යුත් පරසිඳු උතුමන් හට කොතරම් ගැහැට පැමිණියත් සිත නපුරු කර නොගනිත්. දිගන්තයේ පැතිරුණු සුවඳැති සඳුන් කඳක් සිඳිත්දීත් මඩිත්දීත් එකලෙස සුවඳ පැතිරෙන්නා සේය.)

(සුභාෂිතය)

සුභාෂිත කතුවරයා සත් පුරුෂයන් සඳුන් ගසකට සමාන කරන්නට ඇත්තේ එයින් විහිදුවන සුවඳ නිසාම පමණක් නොව එහි ඇති අනෙකුත් ඖෂධීය ගුණ ද සලකා විය යුතුයි. ඈත අතීතයේ සිටම කාන්තාවන්ගේ රූපලාවණ්‍ය කටයුතු උදෙසා සඳුන් ශාකය යොදාගෙන ඇත්තේ එහි ඇති සිසිල් ගුණයත්, ඖෂධීය ගුණයත්, සුවඳත් හේතුවෙනි

පිපාසය නසන ගුණ ද ආමාෂ අන්ත්‍ර අක්මා බලකාරකග්‍රාහි සහ කෘමිස්න ගුණ ඇති බැවින් පිපාස ආහාර දිරවීමේ අපහසුතා දුබලතා සඳහා ද මානසික විසකුලතා දුබලතා නාඩි ව්‍යුහගත රෝග සඳහා ද හෘද දුබලතා රක්ත රෝග රක්ත පිත්ත, රක්ත ප්‍රදර, ශ්වේත ප්‍රදර ශුක මේහ, දද, කුෂ්ඨ ආදී චර්ම රෝග ජ්වර සමනයට ද යොදන යෝගවලටද සුදු හඳුන් උචිතය. සුදු හඳුන් (sandawood) ශාකය ඉන්දියාවේ සිට අග්නිදිග ආසියාවේ මධ්‍යම නිවර්තන පරිසර තත්ත්වයන් යටතේ ස්වාභාවිකව වැඩෙන ශාකයකි. මේ ශාකයෙන් නිස්සාරණය කරනු ලබන සඳුන් තෙල් ඉහළ ආර්ථික වටිනාකමකින් යුක්ත වන අතර ශාකයේ දලු ආහාර කැඳ සඳහා යොදා ගනී. අඩි 20 පමණ ඉහළට වැඩෙන මේ ශාකය මධ්‍යම ප්‍රමාණයෙන් යුක්තය. මුල පරපෝෂිත ලක්ෂණ පෙන්වන අතර ගෙඩි තද කොළ පාටින් යුක්තය.

මෙවන් අපූර්වත්වයක් එළිපෙහෙළි කළ සොබා දහම් මාතාවගේ අනගි දායාදයක් වූ සඳුන් ගස දේශීය ආයුර්වේද ප්‍රතිකාර සඳහා යෝගකරණයෙන් ද, ප්‍රලේපකරණයෙන් ද ඖෂධීය වශයෙන් හෙළ ඉසිවරු විසින් රෝග සමනය සඳහා යොදාගෙන ඇත. සුදු හඳුන් වෘක්ෂයේ මල් පිපෙන සමය ලෙස මාර්තු, මැයි මාසයන් හඳුනාගත හැක. මෙහි පුෂ්ප කුඩා වන අතර ඇට්ටේරියා මල්වලට සමානකමක් දක්වයි. මල් පිපෙන විට ළා කහ පාටය. පසුව දුඹුරු මිශ්‍ර දම් පැහැයක් ගනී. සඳුන් ගසේ පත්‍ර කුඩාය. අඟල් තුනකට වඩා දිග නැත. මෙහි පත්‍ර එකිනෙකට විරුද්ධ පැත්තෙන් පිහිටයි. සඳුන් ශාකයේ පත්‍රවල උඩු පැත්තෙහි වර්ණතාවය වැඩිය. යටිපැත්ත පැහැයෙන් අඩුය.

සඳුන් කොළ මැල්ලුම රසවත් පලාවකි. ඊට අමරතව කොළ කැඳ ගුණවත් පානයකි. ළපටි සඳුන් කොළ සම්බෝලයට ගත හැකියි. හින්දු ආගමේ දෙවියන් නැහැවීම සඳහා පාරිශුද්ධ වූ සුදු හඳුන් මිශ්‍ර පැන් යොදා ගන්නා අතර මෙම ඖෂධය පිරිසිදු කාරක බල ඇති සුභාර්ථයක් ගෙන දෙන දිව්‍ය ඖෂධයක් වශයෙන් ප්‍රකටය.

සඳුන්වල උද්භිද විද්‍යා නාමය Santalum album Linns Myrti Folium Roxb S. Veruml ය. කුල නාමය santalaceas වේ. සුදු හඳුන් නමින් සිංහලෙන් නම් කරන මෙහි දෙමළ නාමය සන්දනක්කට්ටාය. ඉංග්‍රීසි නාමය sandal wood වේ. හින්දි නාමය සඓද්චන්දනය. බෙංගාල නාමය සදාචන්දන වේ. තෙලිඟු නාමය භාෂාතෙ චන්දන වේ. සංස්කෘත නාමයන් ශ්වේතචන්දන ශ්‍රී ඛන්ද චන්දන භද්‍ර ශ්‍රී ගන්ධසාර ගන්ධරාජ මලයානීල චන්ද්‍ර දසුනී භෝගීවල්ලභ නමින් හැඳින්වේ.

සඳුන් ගසේ මූලික ප්‍රභේද රැසකි. චන්දන (සුදු හඳුන්) රක්ත චන්දන (රත් හඳුන්) කුචන්දන (පතගි) ලෙස නම් කළ හැකිය. තවත් ප්‍රභේද ද ඇත. කාලියක (කහපාටට හුරු) හරිචන්දන පලා පාට, බර්බර් චන්දන බර්බර් පර්වත ප්‍රදේශයේ වැවෙන චන්දන, මයුසුර් චන්දන. (මයුසුර් හෙවත් කර්නාටක ප්‍රදේශයේ තිබෙන චන්දන) භද්‍ර ශ්‍රී චන්දන මලය පර්වත ප්‍රදේශයේ වැවෙන චන්දන ආදිය වශයෙන් දැක්විය හැකිය.

සුදු හඳුන් ඖෂධයේ ඇති රසායනික සංයෝග චන්දන අරටුවේ සහ මුල්වල 3% සිට 6% දක්වා විෂ්පශීලී තෙලක් ඇත. එසේම කළු පැහැති දුම්මල සහ මැනින් ඇසිඩ් අන්තර්ගත වේ. සුදු හඳුන් ඖෂධයේ ගුණ කර්ම ලෙස රසයෙන් තිත්ත හා මධුරද, ගුණයෙන් ලඝු හා රුක්ෂද, විර්යෙන් ශීතද, විපාකයෙන් කටුකද ආදී ලෙස දැක්විය හැකිය. ජාතික සඳුන් උයනේ ව්‍යාපෘති සැලසුම් වාස්තු විද්‍යානුකූලව නිර්මාණ කටයුතු ව්‍යාපෘති කළමනාකරණය හා මූල්‍ය දායකත්වය නාගරික සංවර්ධන අධිකාරියේ පරිසර හා භූ දර්ශන අංශය විසින් සිදුකර තිබේ.

සහකාර අධ්‍යක්ෂ කෝසලා තෙන්නකෝන්

සඳුන් උයනේ ශාක සිටුවීම ශ්‍රී ලංකා ගුවන් හමුදාව, ශ්‍රී ලංකා යුද හමුදාව, සිවිල් ආරක්ෂක බළකාය විසින් සිදු කර ඇති අතර භූ දර්ශන හා ගෘහ නිර්මාණ සැලසුම් සහකාර අධ්‍යක්ෂ කෝසලා තෙන්නකෝන් විසිනුත් පරිසර හා භූ දර්ශන අධ්‍යක්ෂ චාන්දනා කලුපහනගේ අධීක්ෂණය යටතේත් සිදුකර ඇත. සඳුන් උයන සම්බන්ධයෙන් නාගරික සංවර්ධන අධිකාරියේ සහකාර අධ්‍යක්ෂක (උපදේශන භූ දර්ශන) කෝසලා තෙන්නකෝන් සිළුමිණට මෙසේ පැවසුවාය.

“ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාගේ සංකල්පයක් අනුවයි මෙය සිදු කෙරුණේ. බත්තරමුල්ල ඇවිදින මංතීරු දියත උයන දියසරු උයන, බැද්දගාන, අපේ ගම වගේ ජනතාවට විනෝදාස්වාදය සපයන ජාලයට සඳුන් උයනත් එක් කිරීමේ සංකල්පයෙන් බිහිවුණේ. මේක වටිනා ඉඩමක්. මේ ප්‍රදේශය වතුරට යටවෙන නිසා ගොඩනැඟිල්ලකට වගේ හරිත කලාපයකට තමයි වඩා වටින්නේ. සඳුන් පැළයක් රු. 450.

පැළ 900ක් හිටෙව්වා. රත් හඳුන් කිලෝවක් රු. 45,000 විතර වෙනවා. අපට රත්හඳුන් ලැබුණේ වෛද්‍ය විදානගේ ගෙන් නොමිලේ. රත්හඳුන් ගස් 38 ලංකාවෙ තිනේනේ. සුදු හඳුන් පැළ 900 බෝගල අරලගංවිලින් මිලදී ගත්තා. මේ උයනේ ගස්වල ජීවය අවසන් වෙලා ගස් මියදෙන තුරුම කපන්නෙ නැහැ.“

සඳුන් උයන මධ්‍යයේ පිහිටි මණ්ඩපයේ නාට්‍ය දර්ශන, වෙනත් ප්‍රදර්ශන, උත්සව පැවැත්වීමට හොඳ වේදිකාවක් ලෙස සකසා ඇති බවත්, පිටුපස ජල පොකුණු 12 හා කඩාහැලෙන ජල ධාරා, ජල බිඳිති මගින් සඳුන් උයනේ සිසිලස තව තවත් තීව්‍ර කරන බවත් පැවසුවාය. සවස 5.00 සිට රාත්‍රී 10.00 දක්වා සඳුන් උයන විදුලි ආලෝකයෙන් ඒකාලෝක වන බවත් පැවසුවාය. එසේම ඉදිරියේදී ආහාර පාන වෙළඳාම් කිරීමට හා තවත් පහසුකම් රැසක් ජනතාව උදෙසා පිළියෙල කරන බවත් කීය. “අපි සඳුන් උයන වගේම ආකේඩ් එක, කොළඹ ලන්දේසි රෝහල, රේස් කෝස් පිටිය, බැද්දගාන තෙත් බිම් උද්‍යානය, නුගේගොඩ තෙත් බිම වගේම අනුරාධපුර, පොළොන්නරුව, දකුණු පළාත ආදියෙත් භූ දර්ශන, පරිසර සැකැසුම් සකසලා තියනවා.

සඳුන් උයනේ පැළ රෝපණය ජල හා පොහොර සැපයුම වෙනුවෙන් නවතම වඩාත් ඵලදායි ක්‍රමවේදයක් සකසලා තියෙන්නේ.

මඳ සුළඟේ හෙමිහිට එහාට මෙහාට නැළවෙන මේ සඳුන් යාය තව වසර ගණනාවකින් රූක්ෂ ගස් බවට පත්ව සැමට සෙවණ සලසන චිත්‍රයක් මගේ මනසේ ඇඳුණි.

0 comment
0

Related Posts

Leave a Comment