Home විදෙස් පුවත් සියවසකට පසු කැනඩාවට ගංවතුරක්.

සියවසකට පසු කැනඩාවට ගංවතුරක්.

by Hela news

බටහිර කැනඩාවේ බ්‍රිටිෂ් කොලොම්බියා ප්‍රාන්තය උඩුයටිකුරු කරමින් පසුගියදා හමා ගිය මාරක කුණාටුවවෙන් පසු ඇද හැලුණු ධාරානිපාත වර්ෂාවෙන් එම ප්‍රාන්තයේ විශාලතම නගරය වන වැන්කුවර් ජලයෙන් යට වී ඇතැයි වාර්තා වේ. එරට කාලගුණ විද්‍යාඥයන්ට අනුව කැනඩාවේ මෙවැනි දරුණු කාලගුණ විපර්යාසයක් වාර්තා වන්නේ සියවසකට වතාවකි.

වැන්කෝවර් නගරයේ අධිවේගි මාර්ගයක් දෙකඩ වී ඇති අතර, නාය යෑමකින් කාන්තාවක් මිය ගොස් ඇතැයි ද තවත් පුද්ගලයන් කිහිපදෙනකු අතුරුදන් වී ඇතැයි ද විදෙස් මාධ්‍ය වාර්තා කළේය. දරුණු ගංවතුර තත්ත්වය හේතුවෙන් වැන්කෝවර් නගරයට සම්බන්ධ වන අධිවේගි මාර්ග දෙකක්ම වසා දැමීමට බලධාරීන්ට සිදු වී ඇත. දහස් සංඛ්‍යාත නුවරවාසීන්ට සිය නිවෙස් හැර යෑමට ආපදා කළමනාකරණ නිලධාරින් උපදෙස් දී තිබේ.

නගරයේ දුම්රිය ධාවනය අත්හිටුවා ඇති අතර, කැනඩාවේ කාර්යබහුලම වරාය ලෙස සැලකෙන වැන්කෝවර් වරාය වසා දැමීමට ද පියවර ගෙන ඇත.

මේ වන විට බ්‍රිටිෂ් කොලොම්බියා ප්‍රාන්තයට හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කර ඇති අතර, ගංවතුරත්, නාය යෑමත් නිසා මරණ සංඛ්‍යාව ඉහළ යනු ඇතැයි ප්‍රාන්ත බලධාරිහු පවසති. එම ප්‍රාන්තයේ අවතැන් වූ ජනතාව සහ ගංවතුරට මැදි වූ පිරිස් මුදා ගැනීමට ගුවන් හමුදාව යෙදවීමට කැනඩාවේ අගමැති ජස්ටින් ටෘඩියෝ පියවර ගත්තේය.

එරට ප්‍රවාහන සහ පළාත් අමාත්‍ය රොබ් ෆ්ලෙමින් මාධ්‍ය හමුවකට එක් වෙමින් ප්‍රකාශ කර ඇත්තේ මෙය වසර සියයකින් පසු කැනඩාවේ සිදු වූ දරුණුතම කාලගුණ විපර්යාසය බවය.

0 comment
0

Related Posts

Leave a Comment