Home ක්‍රීඩා පුවත් සිම්බාබ්වේ සිර වී සිටි ශ්‍රී ලාංකික ක්‍රිකට් ක්‍රීඩිකාවෝ අද යළි එති,

සිම්බාබ්වේ සිර වී සිටි ශ්‍රී ලාංකික ක්‍රිකට් ක්‍රීඩිකාවෝ අද යළි එති,

by Hela news

දකුණු අප්‍රිකාව ඇතුළු එම කලාපයේ රටවල් කිහිපයක කොවිඩ් වයිරසයේ ඔමික්‍රොන් නව ප්‍රභේදය ව්‍යාප්ත වීම නිසා පැනවූ ගුවන් තහනම හේතුවෙන් දැනට සතියක් පුරා සිම්බාබ්වේහි කොටු වී සිටින ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම අද (3) යළි මව්බිමට පැමිණීමට නියමිතය. චමරි අතපත්තුගේ නායකත්වයෙන් ක්‍රීඩිකාවන් 17 දෙනකුගෙන් සමන්විත ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් පිල සිම්බාබ්වේ හි 2022 කාන්තා ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරගාවලියට සහභාගි වෙමින් සිටි අතර, ඔමික්‍රොන් ප්‍රභේදය ව්‍යාප්ත වීම නිසා එම තරගාවලිය අවලංගු කිරීමට අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය පියවර ගත්තේය. ඒ වන විට ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩිකාවන් 6 දෙනකුට සහ කාර්ය මණ්ඩලයේ පුද්ගලයකුට කොවිඩ් ආසාදනය වී තිබිණි.

කුලියට ගත් විශේෂ ගුවන් යානයක් මගින් කාන්තා ක්‍රිකට් කණ්ඩායම කඩිනමින් නැවත ගෙන්වා ගැනීම ශ්‍රී ලංකන් සහ තවත් අන්තර්ජාතික ගුවන් සමාගම් කිහිපයක් සමඟ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පසුගිය දින කිහිපයේදී සාකච්ඡා පැවත්වූ බවත්, ඊට අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ සහයෝගය ද ලැබුණු බවත් ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලි ද සිල්වා මහතා ඊයේ ‘දිනමිණ‘ට ප්‍රකාශ කළේය. එහෙත් ශ්‍රී ලංකන් ගුවන් සේවයට එවැනි පහසුකමක් ලබා දීමට තවත් සතියක් පමණ ගත වන බව දන්වා තිබීමෙන් පසු ඉතියෝපියා ගුවන් සේවයට අයත් ගුවන් යානයක් කුලියට ගැනීමට කටයුතු කළ බව ඔහු වැඩි දුරටත් කීවේය.

“අපි ඉතියෝපියා ගුවන් සේවය සමඟ සාකච්ඡා කළා. බොහෝ දුරට හෙට (3) ක්‍රීඩිකාවන් ගෙන්වා ගැනීමට හැකිවේවි. ප්‍රශ්නය තියෙන්නේ කොවිඩ් ආසාදනයට ලක් වුණු අය ගෙන්වා ගැනීමයි. ඔවුන්ට අනික් ක්‍රීඩිකාවන් සමඟ මේ ගුවන්යානයෙන් පැමිණිමට හැකි වේවි කියලා කියන්න බෑ. මොකද එයාලා පූර්ණ වශයෙන් කොවිඩ් තත්ත්වයෙන් මිදී සිටිනවාද කියලා තවම අපට වාර්තා වෙලා නෑ.” ඈෂ්ලි ද සිල්වා මහතා කීවේය.

උද්ගත වූ තත්ත්වය හමුවේ එම තරගාවලියට සහභාගි වෙමින් සිටි සියලු කණ්ඩායම් යළි සිය රටවලට යෑමට නොහැකිව කොටු වී සිටි අතර, පසුව කුලියට ගත් ගුවන්යානා මගින් එම කණ්ඩායම් යළි ගෙන්වා ගැනීමට අදාළ රටවල් පියවර ගෙන තිබිණි.

තරගාවලිය ආරම්භයේදීම ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩිකාවන් තිදෙනකුට කොවිඩ් ආසාදනය වී ඇති බව තහවුරු වූ අතර, ඊට දින තුනකට පසු තවත් ක්‍රීඩිකාවන් තිදෙනකු සහ කාර්ය මණ්ඩලයේ පුද්ගලයකු කොවිඩ් ආසාදිතයන් බව තහවුරු වී තිබිණි. කෙසේ වුවත් අද වන විට එම ක්‍රීඩිකාවන්ට කොවිඩ් ආසාදනය වී දින 10කට වඩා ගත වී ඇති බැවින් බොහෝ විට සමස්ත කණ්ඩායමටම අද මව්බිමට පැමිණීමට හැකිවනු ඇත.

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් පිල පසුගිය නොවැම්බර් මස 16 වැනිදා සිම්බාබ්වේ බලා ගිය අතර, ප්‍රධාන පුහුණුකරු ලෙස හෂාන් තිලකරත්න, කළමනාකරු ලෙස හේමන්ත දේවප්‍රිය, වේගපන්දු පුහුණුකරු ලෙස රවීන්ද්‍ර පුෂ්පකුමාර, දඟපන්දු පුහුණුකරු ලෙස දිනුක් හෙට්ටිආරච්චි, පිතිහරඹ පුහුණුකරු ලෙස ලංකා ද සිල්වා සහ ක්‍රීඩිකාවන් භාර නිලධාරිනිය ලෙස ඉන්ද්‍රානී ආරියරත්න මහත්ම මහත්මින් ඇතුළු 11 දෙනකුගෙන් සමන්විත කාර්ය මණ්ඩලයක් ද සංචාරයට එක් වී සිටියහ.

0 comment
0

Related Posts

Leave a Comment