Home කාලීන පුවත් සිනා සලන වැව් කොමළී

සිනා සලන වැව් කොමළී

by Hela news

මහා වර්ෂාව හමාර වීමත් සමඟම වන්නියේ මහා වැව් ජලයෙන් පිරී ඉතිරී පිටාර ගලමින් පවතී. වැව් හා මේ මහා ජලාශවලින් පහළට ගලා හැලෙන මහා ජල කද දිය ඇලිවලට වඩා වැඩි සුන්දරත්වයකින් යුතු වූවත් සංචාරකයන් තවමත් මේ කෙරෙහි අවධානය යොමු කොට නැත.

කිළිනොච්චියේ ඉරණමඩු ජලාශය කී සැණින් මේ රටේ බොහෝ දෙනා බොහෝ දේ සිතින් මවා ගන්නට උත්සාහ කළ ද අප මෙවර කිළිනොච්චියේ ඉරණමඩු ජලාශයෙන් දුටු දේවල් අපමණ ය.

වැව්වලට අරක්ගන්නා දෙවිවරුන් එමට ය. හින්දු පුරාණය පුරාම දෙවිවරු තිස්තුන් කෝටියක් සිටින බව කියැවෙද්දී කිළිනොච්චියේ ඉරණමඩු ජලාශයට අරක් ගෙන සිටින්නේ කනකම්බිකා (කනහම්බිහායී) දේව මෑණියෝ ය.

ඈත අතීතයේ සිට ම මිනිසා දෙවියන් අදහන ලද්දේ ඔවුන් තුළ වූ බිය නිසා ය. කිළිනොච්චිය ඉරණමඩු ජලාශය මහා සාගරයක් පරිද්දෙන් පිරී ඉතිරී යන විට මිනිසුන් කනකම්බිකා දේව මෑණියන් පුදන්නේ කාරණා දෙකක් හේතු කොට ගෙන ය. ඉන් පළමු වැන්න වන්නේ කෘෂිකාර්මික ජීවන රටාවක් මත ජීවත් වන මේ පළාතේ වැසියන් දෙවියන් යැදිමෙන් බලාපොරොත්තු වන්නේ ඔවුන්ගේ අටු කොටු සරු වන තරමට බව භෝග සම්පත ලබා දෙන ලෙස ඉල්ලා සිටීමට ය.

ඊළඟට ඔවුනට මේ මහා ජලාශයත් සමඟම විශාල බියක් දැනෙන්නේ මහා ජල රකුසා විසින් මිනිසුන් බිල්ලට ගනු ඇතැයි යන සිතිවිල්ලය. බුදු දහමේ ඉගැන්වෙන ”මනුස්සා භය තජිජිතා” යන කියමනට අනුව ඔවුන්ගේ සිත් තුළ ඇති බිය නිසාම දෙවියන් වැඳ පිහිට අපේක්ෂා කරති.

මේ වසරේ ජනවාරී මාසයේ දාසය වෙනිදා ඉරණමඩු ජලාශය අසල පිහිටි කනකම්බි (කනහම්බිහායී) අම්මාන් කෝවිල ඉදිරිපිට මහා පූජාවක් පැවැත්වුණේ එදා සිට පැවත එන පුරාණ චාරිත්‍ර ඉටු කිරීම උදෙසාය. මහා වැව් ජලයෙන් පිරී පිටාර ගලන විට (වාන් දමන විට) පැරැණියෝ විවිධ චාරිත්‍ර වාරිත්‍ර ඉටු කරති.

පූජා වෙඩි තැබීම අතීතයේ සිටම පැවති මංගල්‍යයකි. එනම් වැවක් ජලයෙන් පිරී ඉතිරී යෑම ආරම්භ වනවාත් සමඟම වැව් විදානේ හා ගමේ කපු මහතා එකතු වී තුවක්කුවක ආධාරයෙන් අහසට වෙඩි තුනක් තැබීම මේ චාරිත්‍රයයි.

මින් දේව කාර්යයක් ඉටු කෙරෙනවා සේම ගමේ වැසියන්ට වැව පිරී ඇති බව සන් කිරීමට යොදා ගත් උපක්‍රමයකි. වැව් කණ්ඩියේ සිට පූජා වෙඩි තබන විට ම ගම්මානයේ වැසියෝ ඇඳුම් පැලඳුම් ටික එක් රැස් කොට ඕනෑම වෙලාවක නිවෙසින් එළියට බැසීමට සූදානම් වන්නේ පිටාර ජලයෙන් ගම්මාන යට විය හැකි නිසාය.

තවත් පළාත්වල වැවේ ජලය පිටාර ගලන විට ම මුට්ටි තුනක් කරු තුනක ආධාරයෙන් වැව් කණ්ඩියේ රඳවනු ලබයි. එය ද දෙවියන් උදෙසා වන බාරයකි. අතුරු අන්තරාවක් සිදු නොවී ගොවිතැන් බත් සරු වීමෙන් පසුව පසු කාලයේ දී මුට්ටි නැමීමේ මංගල්‍යය වශයෙන් කෙරන චාරිත්‍රය එයයි.

මෙම ඉරණමඩු ජලාශය ඉදිකොට ඇත්තේ ධාතුසේන රජතුමා විසිනි. වර්ග කිලෝමීටර් පනහක පමණ භූමි ප්‍රදේශයක් අයත් මෙම වැව එදා හඳුන්වා ඇත්තේ රණමඩු වැව යනුවෙන් මිස ඉරණමඩු වැව යනුවෙන් නොවේ. කනගරායන් ආරු නදියෙන් පෝෂණය ලබන්නා වූ ඉරණමඩු ජලාශයේ තැනීම ද ඒ නදියම හරස් කොට සිදු කරන ලද්දකි.

පස්වන ශත වර්ෂයේ දී මේ ඉරණමඩු ජලාශය ධාතුසේන රජතුමා විසින් නිමවන ලද්දේ ඒ කාල වකවානුව වන විට කිළිනොච්චිය ප්‍රදේශය පරිපාලනමය වශයෙන් උතුරු මැද පළාතට අයත් වූ නිසා විය හැකිය. පසු කාලයේ දී පරිපාලනය බෙදී යෑමත් සමඟම මේ රණමඩු ජලාශය හෙවත් ඉරණමඩු ජලාශය යාපනයේ සිට මේ පළාත් පාලනය කළ ප්‍රාදේශීය රජකු යටතට පත් ව තිබේ.

පෙර රජවරුන් වැව් බැඳි රටක්‌ නිර්මාණය කරමින් ගිය ගමනේ දී මේ වැව් කර්මාන්තය නිමා වී ඇත්තේ වන්නියෙනි. එදා “වැව් නිමාව” ලෙස සැලකූ මේ භූමිය අද වවුනියාව බවට පත් වී ඇති බවට ඉදිරිපත් කළ හැකි පුරාවිද්‍යා සාධක ද එමට ය. 1902 වර්ෂයේ දී බ්‍රිතාන්‍ය ජාතිකයන් මේ ඉරණමඩු ජලාශය ප්‍රතිසංස්‌කරණය කළ අවස්‌ථාවේ ද වැවේ ධාරිතාවය අක්‌කර අඩි 119 කින් වැඩි කිරීමට කටයුතු කළා මිස එදා ධාතුසේන රජතුමාගේ මූලික බලාපොරොත්තුවට හෝ උත්සාහයට අබ මල් රේණුවක තරම් හෝ විනාශයක්‌ සිදු කිරීමට ක්‍රියා කොට නැති වීම අගය කළ යුත්තකි.

යල මහ දෙකන්නයට ඉතා හොඳින් කුඹුරු වගා කිරීමට හැකි මේ ඉරණමඩු ජලාශය වටා ඇති ජල පෝෂක වනාන්තරයේ වන්නියටම ආවේණික වූ ඉතා දුර්ලභ ගණයේ ශාක හා කඩොලානවලින් පරිපෝෂිත වූ ප්‍රදේශයකි. මාස්‌ කන්නයේ මහවැසි සමඟ ඉරණමඩු කොමළිය වාන් දමන විට මුළු මහත් වන්නියටම දැඩි චමත්කාර සුන්දර දසුනක්‌ ගෙන එයි.

ඉංග්‍රීසීන්ගේ මේ ප්‍රතිසංස්කරණ කටයුතුවලින් පසුව මුල්ම වරට ඉරණමඩු ජලාශය ප්‍රතිසංස්කරණය කිරීමට පියවර ගෙන ඇත්තේ අභාවප්‍රාප්ත පළමු අග්‍රාමාත්‍ය ඩී.එස්. සේනානායක මහතාගේ අණ පරිදි ඉඩම් හා කෘෂිකර්ම අමාත්‍ය ඩඩ්ලි සේනානායක මහතා විසිනි.

1954 දී එය සම්පූර්ණ කරනු ලැබුවේ ඉඩම් සහ ඉඩම් සංවර්ධන ඇමැති පී.බී. බුලන්කුලම මහතා විසිනි. 1954 ජුනි 5 දින මෙම ඵලකය විවෘත කරන විට වාරිමාර්ග අධ්‍යක්ෂව සිටි ඩබ්ලිව්.ටී.අයි. අලගරත්නම් මහතාගේ නම ද එහි සඳහන් වේ.

ඒ බව සඳහන් සමරු ඵලකය ඉරණමඩු ජලාශය අවසන් වරට ප්‍රතිසංස්කරණය කළ අවස්ථාවේ දී ඉවත් කිරීමට පිරිසක් කටයුතු කළ ද කිළිනොච්චියෙන් හා යාපනයෙන් නැඟුණු විරෝධය නිසා එම සමරු ඵලකය යළි ස්ථාපිත කිරිමට මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාගේ කාලයේ දී සිදු විණි.

ඉරණමඩු වැවේ ඉතිහාසයට එක් වන තවත් සිදු වීමක් වන්නේ එල්.ටී.ටී.ඊ. සංවිධානය කිළිනොච්චියේ බලය අත්පත් කරගෙන සිටි කාල වකවානුවේ දී එම සංවිධානයේ න්‍යායාචාර්ය ඇන්ටන් බාලසිංහම් මාලදිවයිනෙන් කුලියට ගන්නා ලද සී-ප්ලේන් එකකින් ඉරණමඩු ජලාශයට පැමිණීම ය. එදා ඉරණමඩු ජලාශය ගුවන් තොටුපළක් බවට පත් වෙද්දී ප්‍රභාකරන් ද එම ස්ථානයට පැමිණ සිටියේ ය. ඉරණමඩුව වැව තැනූ ධාතුසේන රජු හෝ මේ වැව ගුවන් තොටුපළක් වේ යැයි කිසි දිනක සිතන්නට නැත්තේ එකල පැවති තාක්ෂණය සමඟ ගළපා බලන විට ය.

අනතුරුව යළි ශ්‍රී ලංකා රජය ද 1975 වසරේ දී මේ ඉරණමඩු ජලාශයේ ප්‍රතිසංස්කරණ කටයුතු සිදු කොට තිබේ. එහෙත් ඉරණමඩු ජලාශයේ ජල ධාරිතාව වැඩි වීමක් මේ ප්‍රතිසංස්කරණයේ දී සිදුව නැත.

එහෙත් 2015 වසරේ දී හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ මූලිකත්වයෙන් ඉරණමඩු ජලාශය යළි ප්‍රතිසංස්කරණය කිරීමේ දී බොහෝ වෙනස්කම් සිදුව තිබේ. ඒ අතරින් වෙනස්කම් දෙකක් ම ඉතාම වැදගත් වෙනස්කම් ය. ඉන් පළමු වැන්න වන්නේ ඉරණමඩු ජලාශයේ ජල ධාරිතාව සැලකිය යුතු මට්ටමකින් ඉහළ ගොස් තිබීම ය.

ඉරණමඩු ජලාශය 2015 වසරේ ප්‍රතිසංස්කරණය කිරීමට පෙර ජල ධාරිතාවය ජල ඝන මීටර් මිලියන එකසිය තිස් එකකි. එහෙත් එහි ප්‍රතිසංස්කරණය කොට අවසන් වූ පසුව ජල ධාරිතාව ජල ඝන මීටර් මිලියන එකසිය හතළිස් අටකි. ඉලක්කම් ලිවීමේ කලාව අනුව වැඩි වූ අගය දාහතක් වූව ද වාරි කර්මාන්තය අනුව යම් වැවක හෝ ජලාශයක ජලය ඝන මීටර් මිලියනයක් වැඩි වීම යනු විශාල වෙනස්කමකි. මහා හාස්කමකි. මේ අනුව කිළිනොච්චියේ ඉරණමඩු ජලාශයට අලුතින් ජලය ඝන මීටර් මිලියන දාහතක වැඩි වීමක් යනු විශාල වෙනස්කමකි.

වාරි කර්මාන්තයේ මෙම ජල ධාරිතාව මිලියන ගණනින් කියන කතාව සාමාන්‍ය ජනතාවට තේරෙන භාෂාවෙන් කියන්නේ නම් මීට පෙර ඉරණමඩු ජලාශය වාන් දැමීම සිදු වූයේ ජලාශයට අඩි 34ක් වතුර පිරීමෙන් අනතුරුව ය. එහෙත් 2015 ප්‍රතිසංස්කරණවලින් පසුව ඉරණමඩු ජලාශය වාන් දැමීම සඳහා අඩි 36ක් උසට ජලය පිරිය යුතුය. ජලකඳේ උස ගැන කියැවෙන විට ද වැඩි වී ඇත්තේ අඩි දෙකක් පමණි. එහෙත් ඉරණමඩු ජලාශයේ ප්‍රමාණය අනුව සලකා බලන විට මේ ජලාශයට අඩි දෙකක් වැඩියෙන් එකතු වන ජලයෙන් පෙරට වඩා කුඹුරු අක්කර අට දහසක් පමණ වගා කළ හැකි ය.

ඉරණමඩු ජලාශය යටතේ කුඹුරු කරන කිළිනොච්චියේ ගොවීන්ට එදා වගා කළ හැකි වූයේ කුඹුරු අක්කර 18,000ක් පමණි. එහෙත් වර්තමාන ප්‍රතිසංස්කරණ ක්‍රියාදාමයත් සමඟම එම කුඹුරු ප්‍රමාණය අක්කර 26,000 කටත් වඩා වැඩි වී තිබේ.

ඉරණමඩු ජලාශය ප්‍රතිසංස්කරණය වූ පමණින්ම කිළිනොච්චියේ කුඹුරු අලුතෙන් පැටව් ගැසීමක් සිදුව නොමැත. මෙහිදී සිදුවන්නේ මෙතෙක් අහස් දියෙන් හෝ සුළු වාරිමාර්ග ක්‍රමයක් යටතේ වගා කරන ලද කුඹුරුවලට ඉරණමඩු ජලාශයෙන් ජලය ලබා ගැනීමට හැකි වීමය. මෙම සංවර්ධන කටයුත්ත සිදු වූයේ ආචාර්ය සුරේන් රාගවන් මහතා උතුරු පළාත් ආණ්ඩුකාර ධූරය හොබවන කාලයේ දී බව සඳහන් කරන්නේ ඔහුට ද මේ ඉරණමඩු ජලාශය තවත් සංවර්ධනය කිරීමට දැඩි වුවමනාවක් තිබීම නිසාම ය.

ඉරණමඩු ජලාශයේ ජලය පිරෙන ප්‍රදේශය අක්කර 22,000කින් පමණ සමන්විත භූමියකි. ඊට ජලය පිරුණු විට මහ මුහුදක් සේ දිස් වෙයි.

2015 වසරේ මේ ඉරණමඩු ජලාශයේ ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා රජය වැය කළ මුදල රුපියල් මිලියන හත්සිය අසූහතකි. එහෙත් 2018 දී ප්‍රතිසංස්කරණ කටයුතු අවසන් වන විට සමස්තයක් වශයෙන් රුපියල් මිලියන 2178කටත් මඳක් වැඩියෙන් ඉරණමඩු ජලාශයේ ප්‍රතිසංස්කරණ කටයුතු සදහා වැය කිරීමට සිදු වී ඇත.

මේ සදහා පළාත් පාලන හා පළාත් සභා අමාත්‍යංශය සහ ආසියානු සංවර්ධන බැංකුව මූල්‍ය ප්‍රතිපාදන සපයා ඇත.

මාස් කන්නයේ මහා වැස්ස වැටීමත් සමඟම මහා සයුරක් සේ දිස්වන ඉරණමඩු ජලාශය යාපනය මහනුවර ඒ-9 මාර්ගයට දිස් නොවූව ද කිළිනොච්චිය නගරය හමු වීමට පෙර දකුණට හැරී කිලෝමීටර් හතරක් පමණ ගමන් කරන විට මෙම ජලාශය දැක ගත හැකි ය.

ජීවිතයට එක් වරක් හෝ මේ වැව් කොමළිය දැක බලා ගැනීම ඔබේ මනසට විචිත්‍ර දර්ශනයක් වනවා සේම කනකම්බිකා දෙවඟන වෙනුවෙන් කෙරෙන විශේෂ පූජාව දක්නට ලැබෙන්නේ නම් අනාදිමත් කාලයක සිට වැව් බැඳි රාජ්‍යයේ ජීවත් වූ මිනිසාගේ අව්‍යාජත්වය හා දේව භක්තිය මැනවින් අධ්‍යයනය කළ හැකි ය.

0 comment
0

Related Posts

Leave a Comment