Home කාලීන පුවත් සාහිත්‍යයට පමණක් ඉන්ද්‍රඛීලයක් වෙන්න බැහැ… කැත්ලින් ජයවර්ධන

සාහිත්‍යයට පමණක් ඉන්ද්‍රඛීලයක් වෙන්න බැහැ… කැත්ලින් ජයවර්ධන

by Hela news

කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ 2020 රාජ්‍ය සාහිත්‍ය සම්මාන උළෙල වරින් වර කල් යෑම හේතු කොටගෙන එම සම්මාන උළෙලට පෙර සම්මානිත කෘතීන් ප‍්‍රකාශයට පත් කිරීමට සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව විසින් ඉකුත් 9දා පියවර ගෙන තිබුණි. එහිදී පසුගිය වසරේ (2020) ප‍්‍රකාශිත කෘතීන් අතරින් ස්වතන්ත‍්‍ර සිංහල නවකතාවට හිමි රාජ්‍ය සාහිත්‍ය සම්මානය කැත්ලින් ජයවර්ධන මහත්මිය විසින් රචිත ”ඉවුරු ගඟ සිඳී ගිය දා” නවකතාවට හිමි විය. පහත පළ වන්නේ ඒ සම්බන්ධව රාජ්‍ය සම්මාන ලාභී ලේඛිකා කැත්ලින් ජයවර්ධන මහත්මිය සමග සිදුකරන ලද සාහිත්‍යමය කතාබහක්ය.

ප‍්‍රශ්නය – සාහිත්‍ය ශානරයන් කීපයක් ඇසුරෙහි නිර්මාණකරණයේ යෙදෙන ඔබ වඩාත් ජනප‍්‍රිය වන්නේ නවකතාව තුළින්. ඒ මතය හා ඔබ එකඟ ද?

පිළිතුර – ඔව්. මම එකගයි. ඒකට පසුබිම් වුණ හේතු කිහිපයකුත් තිබුණා. මුද්‍රණයෙන් ප‍්‍රකාශයට පත්වුණ මගේ මුල්ම පොත නවකතාවක්. මේ නවකතාවට ලැබුණු පාඨක - විචාරක ප‍්‍රතිචාර මාව ඉස්සරහට තල්ලූ කළා වගේ දැනෙනවා. ‘බලන් කඩතුරා හැර දෑසේ’ කියන මගේ ඒ මුල්ම නවකතාව, අත්පිටපතක් හැටියට මුලින්ම කියවලා අදහස් දැක්වූයේ අපූරු ලේඛකයෙක් වගේම සුන්දර මනුෂ්‍යයෙක්. ඒ තමයි කරුණාසේන ජයලත්. ජයලත්, එයාගේ ලස්සන අත් අකුරින් නිර්ලෝභීව මට ලියාදුන්න කඩදාසියේ යටින්ම තිබුණේ ‘ජීවිතය විනිවිද දැකිය හැකි හදවතක් මේ කතුවරිය සතුව ඇත; ඇගේ අනාගතය සාර්ථක බව සහතික වශයෙන්ම කිව හැකිය’ කියලයි. මේ අදහස මාව පුංචි කන්දකට අරගෙන ගියා වගේ. ඉතිං දැන් ආපස්සට හැරිල බලන කොට පේන දෙයක් තමයි හැම අවුරුදු දෙක තුනකට වරක් මගේ අතින් නවකතාවක් බිහිවෙලා තියන බව. ඒ හැම නවකතාවක්ම ඉතා ඉක්මනින් අලෙවි වුණා. පාඨක-විචාරක ප‍්‍රතිචාර මාව ප‍්‍රහර්ෂයට පත් කළත් කවදාවත් මට මං ගැන අධිතක්සේරුවක් තිබුණෙ නෑ. ඒ වගේම සම්මාන ගැන මට මතකයක් වත් තිබුණෙම නැතිතරම්. කවදත් මගේ සම්මානය වුණේ පාඨකයායි. පොත් ගැන මට ඔවුන් ලියා එවූ ඇතැම් ලිපිවල තිබුණු සමහර අපූරු යෙදුම්, අදහස් මාව පුදුමයට පත් කළා. හැබැයි එකක් කියන්න ඕන. හැමදාමත් මම නවකතා ලිව්වේ මට හැගුණ දැනුණ දේ ගැන විතරයි; පාඨකයා ඉල්ලන දේ නෙවෙයි. මගේ ඉලක්ක හා අභිලාෂයන් සමගයි පාඨකයා එකග වුණේ.

ප‍්‍රශ්නය – පොදුවේ ගත් කල අද්‍යතන සිංහල නවකතාවේ ගුණාත්මක බව සහ එහි දිශානතිය පිළිබ`දව ඔබගේ විග‍්‍රහය මොන වගේ ද?

පිළිතුර – සිංහල නවකතාවේ සංඛ්‍යාත්මක වර්ධනයක් නම් සිදුවෙලා තියන බවයි බැලූ බැල්මට පෙනීයන්නේ. ගුණාත්මක වර්ධනය තමයි ප‍්‍රශ්නය. හේතුව අසවල් දෙය යැයි නිශ්චිතව කියන්න අපහසු වුණත් අධිපරිභෝජනවාදී සමාජයක මුදලට ලැබෙන අතිමහත් වටිනාකම කියන සාධකයත් මීට වක‍්‍රාකාරයෙන් බලපාන්න ඇතැයි කියලයි හිතෙන්නේ. කලාකරුවාට, සාහිත්‍යකරුවාට වුණත් මුදල් අවශ්‍යයි තමයි. ඒත් මුදල බලපෑම් කරනකොට කලාව, සාහිත්‍ය අහෝ්සි වනවා; මිය යනවා. කලාකරුවා දහසින් බැඳිපියල්ලෙන් පිදිය යුතු නැහැයි මම කියන්නේ නෑ. ඒත් මුදල් වැඩිපුර කඳුගැහෙන කොට කලාකරුවාට කොහොම වුණත් කලාවට සුගතියක් සිදුනොවන බවයි මගේ පෞද්ගලික අදහස. කොහොම වුණත් මිනිහාගේ සවිඥානකත්වය ඇතු`ඵ බොහෝ දේ ගං වතුරකින් වගේ ශීඝ‍්‍රයෙන් ගසාගෙන යමින් ඇති සමාජයක සාහිත්‍යයට පමණක් ඉන්ද්‍රඛීලයක් වන්නට බැහැ.

ප‍්‍රශ්නය – යහපත් සමාජ දේහයක් නිර්මාණය කිරීම පිණිස සාහිත්‍ය හරහා කළ හැකි සාධනීය මැදිහත්වීම පිළිබඳව ඔබ දරන ආකල්පය කෙබඳු ද?

පිළිතුර – 2009 වසරේ ගෝවේ පැවැත්වුණ ජාත්‍යන්තර සිනමා උලෙළේදී ‘තුල්පාන්’ කියන චිත‍්‍රපයට ලැබුණු සම්මානය පිළිගනිමින් චිත‍්‍රපටයේ අධ්‍යක්ෂවරයා කළ එක්තරා ප‍්‍රකාශයක ඔබේ ඔය ප‍්‍රශ්නයට නිවැරදි පිළිතුරක් අඩංගුව තිබෙනවා කියලයි මට හිතෙන්නේ. ඔහු කියන්නේ මෙහෙමයි.

‘කලාවට ලෝකය වෙනස් කළ නොහැකි ය. කලාව මිනිසුන් වෙනස් කරයි; වෙනස් වූ මිනිස්සු ලෝකය වෙනස් කරති.’

මේක මගේ හිතේ තදින්ම ඈඳුණ අදහසක්. පොදු වශයෙන් ගත්තම ආගමකට, එහෙම නැත්නම් ශුද්ධ ග‍්‍රන්ථයකටත් වැඩියෙන් මේ යුගයේදී මිනිසාව වෙනස් කළ හැකි වන්නේ කලාවට හා සාහිත්‍යයට යැයි මාත් නිතරම හිතනවා; කියනවා. ‘ජීවිතය වෙනස් කරන සාහිත්‍යය’ නමින් පොත් මාලාවක් පළකරන්න මං යොමු වෙලා ඉන්නෙත් ඒ නිසයි. ඒ පොත් මාලාවේ හතරවැන්න එළිදැක්වීමට දැන් මං සූදානම් වෙමිනුයි ඉන්නේ. ඒවායින් සාකච්ඡුා කෙරෙන්නේ මගේ ජීවිතයේ තෝන් ලණුව අල්ලාගන්නට සමත් වූ වෙනත් ලේඛකයන් හා ඔවුන්ගේ පොත් පිළිබඳවයි.

ප‍්‍රශ්නය – මෙරට ලේඛක සමාජය ගත් විට සාපේක්ෂව කුඩා එකක්. එවැනි තත්ත්වයක් තුළ ලේඛන කාර්යයේ නිරත පිරිස් ප‍්‍රවීණ, ආධුනික වශයෙන් පමණක් නොවෙයි විවිධ කල්ලි කණ්ඩායම්වලට ලඝු වී ඇති ආකාරයක් දකින්නට ලැබෙනව. මේ තත්ත්වය තුළ ප‍්‍රමිතියෙන් උසස් නිර්මාණ අපේක්ෂා කළ හැකි ද?

පිළිතුර – ලියන හැම කෙනෙක්ම ලේඛකයෙක් වෙනවා නම් ලිපිකරුවා කියන්නෙත් ලේඛකයෙක්. ඒත් අපි ලිපිකරුවාට නිර්මාණකරුවායි කියන්නේ නැහැ. දැවැන්ත සාහිත්‍ය කෘතියක්, විශිෂ්ට නවකතාවක් නිර්මාණය වෙන්න නම් ප‍්‍රබල චින්තනයක් ඒ පසුපස ගොඩනැගී තිබිය යුතුයි. එය ජීවිත කාලයක් මුළුල්ලේ හැදෑරීමකින්, කැපවීමකින්, අනුක‍්‍රමයෙන් ගොඩනගාගත යුත්තක් මිස ක්ෂණික නූඞ්ල්ස් හෝ කොත්තු සම්පාදනයක් නොවෙයි. දෘෂ්ටිවාදයකට හෝ දෘෂ්‍යමානයට හෝ වස`ග නොවන, සියලූ වාද අතික‍්‍රමණය කළ සුවිශාල මනසක් ඇත්තෙකුටයි කලාකරුවා, සාහිත්‍යකරුවා කියන්නේ. මේ කලාකරුවා, සාහිත්‍යකරුවා හඳුනාගන්න විශේෂ දැනඋගත්කමක් හෝ පට්ටමක් අවශ්‍ය නැහැ. පොතක් අතට

අරගෙන පිටුවක් දෙකක් කියවගෙන යනකොට වුණත් සහෘදයකුට මේ ‘ඉව’ (මේ වචනය නිවැරදි නම්) දැනෙනවා. කල්ලි, කණ්ඩායම් පිළිබඳ ප‍්‍රශ්න එතැනින්ම අහෝසියි. ඔබ කියන ඔය සාහිත්‍ය කල්ලි තිබිය හැකි වුණත් ඒවා තාවකාලිකයි. ඒ නිසා කලබල විය යුතු නැහැ.

ප‍්‍රශ්නය – හොඳම නවකතාවට හිමි රාජ්‍ය සාහිත්‍ය සම්මානය (2020) මෙවර ඔබ විසින් දිනා ගන්නව. එම ජයග‍්‍රහණය පිළිබඳව ඔබට දැනෙන හැඟීම කෙබඳු ද?

පිළිතුර – පුදුමයි. සතුටුයි. මේ ගැන මුලින්ම මට දුරකථනයෙන් කිව්වේ මගේ ප‍්‍රකාශකයා වන ජනක ඉනිමංකඩයි. ඇත්තම කියනවා නං එක පාරටම මට දැනුණෙ පුදුමයක්. පුදුමයට හේතු වුණේ අවුරුදු දහයකට පෙර (2010 අවුරුද්දේ) පටන් සාහිත්‍ය සම්මාන සඳහා මගේ නිර්මාණ සමීක්ෂණය නොකරන ලෙස මා ඒ ඒ උත්සව සංවිධායකයන්ගෙන් කාරුණිකව ඉල්ලා තිබූ නිසා හෝ මගේ ඇතැම් පොත්වලින් එවැනි ඉල්ලීමක් කර තිබූ නිසාම නෙවෙයි. අවුරුදු පහකට පමණ පෙර මගේ සාහිත්‍ය මිතුරන් මට මතක් කර දුන් යම් කාරණයකට අනුව ඒ ගැන කිසිවක්ම නොකියා මුනිවත රකිමිනුයි මම හිටියේ. මගේ පසුකාලීන පොත්වලින් එවැනි ඉල්ලීමක් කර නොතිබුණත් කවර හේතුවක් නිසා හෝ ඇතැම් සංවිධායකයින් ඒවා සමීක්ෂණයට යොමු කළේත් නැහැ. ඉතින් ඒකත් හොඳටයි කියලා තවදුරටත් නිහඩව උන්න අතරවාරෙදි තමයි මේ රාජ්‍ය සම්මානය ගැන මට දැනගන්න ලැබුණෙ. පුදුමයට අමතරව සතුටකුත් දැනුණෙ එය ඉතා මධ්‍යස්ථව, කිසිදු බලපෑමකින් තොරව ගත් තීන්දුවක් ලෙස හැගුණ නිසයි. අනෙක් අතට මගේ සාහිත්‍ය මිතුරන් එදා කී පරිදි මේ හේතුවෙන් පොත වැඩිදෙනෙක් කියවයි නේ ද කියලත් හිතුණා. ඉතින් මේ වසංගත සමයේ මං ඒක භාරගත්තේ අසුබ දිනෙක ආ ශුභ පැතුමක් විදිහට.

ප‍්‍රශ්නය – සාහිත්‍ය සම්මාන, සහතික ආදිය පිළිබඳවත් ඒ වගේම ග‍්‍රන්ථ සමීක්ෂණ කටයුතු සම්බන්ධවත් කලක් ඔබ තුළ විශ්වාසයක් පැවතුණේ නැහැ. එය ඔබ විසින් ප‍්‍රසිද්ධියේ සඳහන් කළ කරුණක්. මේ වන විට ඔබ කටයුතු කරන්නේ ඒ මතයෙන් බැහැරව ද?

පිළිතුර – ඔබ මීට කලින් ඇසූ ප‍්‍රශ්නයකින් මීට සැලකිය යුතු පිළිතුරක් ලැබෙන්න ඇතැති කියල හිතෙනවා. කොහොම වුණත් ලංකාවේ ඇතැම් සාහිත්‍ය සම්මාන උත්සව පිළිබඳ මගේ විශ්වාසය බිඳවැටිල තමයි තිබුණෙ. ඒත් මං සම්මානවලින් ඈත්වෙන්න හිතුවෙ ඒ සංවිධායකයන් සමග හෝ කිසියම් පුද්ගලයෙක් සමග හෝ තිබුණ පෞද්ගලික කෝන්තරයක්, වෛරයක් නිසා නං නෙවෙයි. සම්මාන ගැන ලොකු උනන්දුවක් නොතිබුණ නිසා. එහෙම තිබුණ නං ඉතා අඩුතරමින් මගේ පොතක් සමීක්ෂණයට යොදා ගැනෙනව ද කියන කාරණය ගැන වත් විමසා බලන්න මම උනන්දු වෙනවා. ඒත් ගෙවුණ වසර හතළිහකට වැඩි කාලයක් තුළ මා කිසිදා එවැනි විමසීමක් කර නැහැ.

තවත් පැත්තකින් වසංගතය, ලොක්ඩවුන් විරාමය සාහිත්‍යයට නම් තරමක් වැඩදායක වුණ බවයි මගේ පෞද්ගලික හැගීම. ගිනිපන්දම අතට ගත්ත වගේ කප්පරක් වැඩරාජකාරිවල යෙදෙන අතරේ සාහිත්‍ය විනිශ්චය මණ්ඩලත් නියෝජනය කරන සමහරුන්ට පොතක් උඩින් පල්ලෙන් නොබලා පොත සම්පූර්ණයෙන් කියවගන්න, නිවී සැනසිල්ලේ ඒ ගැන හිතන්න පුඵවන්වීම කියන්නේ වසංගතය සාහිත්‍යයට රැගෙන ආ එක්තරා වසන්තයක් නෙවෙයි ද?

ප‍්‍රශ්නය – මෙරට සිනමාව, ක‍්‍රීඩාව හරහා ජාත්‍යන්තරය ජයගත් අවස්ථාවන් දකින්නට ලැබෙනව. නමුත් කෙටිකතාව, නවකතාව, කවිය වැනි සාහිත්‍ය ශානරයන් හරහා ඒ කඩඉම ජයගන්න තවමත් අප අපොහොසත්. ප‍්‍රවීණ ලේඛිකාවක් ලෙස මේ තත්ත්වය පිළිබඳව ඔබගේ මතය කුමක් ද?

පිළිතුර – ජාත්‍යන්තරය ජයගන්න සාහිත්‍යයට මොන අවකාශයක් ද තිබුණෙ? සාහිත්‍ය මාසයේදී සාහිත්‍යය ගැන සුරංගනා කතා කිවුවත් ‘සාහිත්‍යය කන්න ද?’ කියන ප‍්‍රශ්නෙත් එක්ක නෙවෙයි ද මේ රටේ හැම දේශපාලනඥයෙක්ම ගනුදෙනු කළේ? ඇත්ත. අපට ජාත්‍යන්තරයට යන්න පුළුවන් වුණේ ක‍්‍රීඩාවෙන්. ක‍්‍රීඩාවට අනුග‍්‍රහය දැක්විය යුතුයි කියන එකත් ඇත්ත. ඒත් හොඳ සිහි කල්පනාවකින් ටිකක් වටපිට බලන්න. ටොරින්ටන් චතුරස‍්‍රය පැත්තේ ඇවිද ගෙන යන කෙනෙකුට බැලූ බැලූ අත දකින්න ලැබෙන්නේ ක‍්‍රීඩා අමාත්‍යාංශයට අයිති ක‍්‍රීඩාව හා අදාළ ගොඩනැගිලි පරිශ‍්‍ර රාශියකුයි. සාහිත්‍යයට, සාහිත්‍ය සාකච්ඡාවකට, ලේඛකයකුට වෙන්වුණ එකම ගොඩනැගිල්ලක් වත් කොළඹ හතේ තියා වන්නියේ වත් තියෙනව ද? සංස්කෘතික අමාත්‍යාංශයට එවැන්නක් සඳහා මුදල් වැය කළ හැකි ද? ප්ලේටෝ කිව්වේ පාලකයන්, දාර්ශනිකයන් විය යුතුයි කියලයි. දාර්ශනිකයන් වීම කොහොම වෙතත් චින්තනමය වශයෙන් හෝ අපේ පාලකයන් මීට වඩා පෝසත් වුණා නං වඩා වැදගත් වන්නේ ශරීර ශක්තිය ද මානසික ශක්තිය ද කියන සරල ප‍්‍රශ්නය දිහාවට වත් නැඹුරු වෙන්න ඔවුන්ගේ අවධානය යොමු වේවි. හැබැයි ඉතිං ඒක ඡුන්දයට, කතිරයට බලපාන එකක් නං නෑ. තවත් පැත්තකින් ගත්තොත් වියත්, සාහිත්‍ය ඥානයෙන් අනූන විනිශ්චය මඩුල්ලක් පත්කරලා (සාහිත්‍ය විනිශ්චය මණ්ඩල නොවන) රටේ පළවන විශිෂ්ට කෘති තෝරලා ඒවා ජාත්‍යන්තර භාෂාවලට පරිවර්තනය කරන විදිහේ විධිමත් වැඩපිළිවෙලක් වත් ක‍්‍රියාත්මක වෙලා තියෙනව ද? නිදසුනක් ගත්තොත් ජී.බී. සේනානායකගේ ‘මේධා’, ‘වරදත්ත’ වගේ නවකතා, සයිමන් නවගත්තේගමගේ ‘සාපෙක්ෂණී’ වාගේ නවකතා මොනතරම් සර්වකාලීන, සාර්වභෞමික ගුණයෙන් අනූන ද? රාජ්‍ය මට්ටමින් මේවා ගැන හිතන්න යොමු වුණේ කවුද?

ප‍්‍රශ්නය – දශක හතරකට අධික ඔබගේ නිර්මාණ ජීවිතය දෙස ආපසු හැරී බැලීමේදී ලේඛිකාවක් ලෙස ඔබ තෘප්තිමත් ද?

පිළිතුර – හොඳටම තෘප්තිමත්. ඒ තෘප්තිය, මේ රටේත්, ලෝකයේත් වෙසෙන මගේ පොත් කියවූ පාඨකයන් ඒ පොත්වලින් ලැබූ තෘප්තියේම පරාවර්තනයක් වගෙයි. මං දන්න තරමින් සරසවි සිසු-සිසුවියන් කිහිපදෙනෙක්ම මගේ නවකතා ප‍්‍රස්තුතවයි ඔවුන්ගේ නිබන්ධන සකස් කළේ. මේ නිබන්ධන දෙකක් මුද්‍රණයෙනුත් ප‍්‍රකාශයට පත් කෙරුණා. මාධ්‍යවේදියෙක් මගේ නවකතා සියල්ලම කියවලා ‘මගහැරුණු නවකතාවේ පසුවදන’ නමින් විචාර කෘතියක් සම්පාදනය කළා. ඉතින් තව මොනව ද? නේ ද?

0 comment
0

Related Posts

Leave a Comment