Home ගොසිප් පුවත් ස්ට්‍රෙච් මාක්ස් කරදරේට නිවෙසේදීම සත්කාර

ස්ට්‍රෙච් මාක්ස් කරදරේට නිවෙසේදීම සත්කාර

by Hela news

ස්ට්‍රෙච් මාක්ස් කියන්නේ සිරුර වේගයෙන් වර්ධනය වන විට සම ඇදීම නිසා ඒ මත හට ගන්නා ඉරි තැළුණු ස්වභාවයකින් යුතු ඇදීම් ලකුණුයි. ඒවා බාහිරට නිරාවරණය නොවුණත් සිරුරට ඇතිකරන්නේ අවලස්සනක්. ගර්භණී මවුවරුන්ට සහ වැඩිහිටියන්ට බහුලව ස්ට්‍රෙච් මාක්ස් ඇතිවන බව ඇතැම් අය සිතුවත් ඇතැම් තරුණියන්ගේද ශරීරය වර්ධනය වීමත් සමඟ ඇතිවන ශාරීරික වෙනස්කම් නිසාද එවැනි තත්ත්වයක් ඇතිවිය හැකියි. විශේෂයෙන් සිරුරේ වර්ධනය වේගයෙන් සිදුවන කලවා, ඉන, පියයුරු, උදරය, තට්ටම් සහ අත්වල ස්ට්‍රෙච් මාක්ස් හට ගනී.

මේ සඳහා වෙළෙඳපොළෙහි ක්‍රීම් වර්ග ඕනෑ තරම් තිබුණත් ඒවා මිල අධික වන අතර ඇතැම් විට බලාපොරොත්තු වන ප්‍රතිඵල නොලැබීමටද පුළුවන. මෙවර රූ රහස් තුළින් ජනප්‍රිය රංගන ශිල්පිනී, ආයුර්වේද වෛද්‍ය අයෝමි ශානිකා ඔබව දැනුම්වත් කරන්නේ ස්වභාවික සත්කාර තුළින් ස්ට්‍රෙච් මාක්ස් අවම කරගන්නා ආකාරය ගැනයි.

“සිහින් ප්‍රියමනාප සිරුරක් පවත්වා ගැනීම බොහෝ කාන්තාවන්ගේ ආශාවක් සහ සිහිනයක්. එහෙත් ශරීරය මහත්වීම නිසා සම ඇදීමකට පත්වෙනවා. ස්ට්‍රෙච් මාක්ස් ලෙස හඳුන්වන්නේ එවිට සමෙහි ඇති වන සුදු පැහැති ඉරි. ආයුර්වේදයේ ස්ට්‍රෙච් මාක්ස්වලට ‘කික්කිස’ නමින් අපූරු නමක් යොදා තිබෙනවා.

කික්කිස හෙවත් ස්ට්‍රෙච් මාක්ස් ඇතිවීමට බලපාන ප්‍රධාන හේතු ලෙස බර එසවීම, හෝර්මෝන වෙනස් වීම, සම තදින් ඇතිල්ලීම, උෂ්ණාධික භාවය වැඩි වීම, ගර්භණී සමයේ උදරයේ යම් ඇදීමකට ලක් වීම සහ තරබාරු බව දැක්විය හැකියි.

බොහෝ අය මේ ගැටලුවට ක්ෂණික ප්‍රතිකර්ම ලෙස කෘත්‍රිම ආලේපන මඟින් පිළිතුරු ලබා ගැනීමට යොමු වුවත් බොහෝ විට ඒවා තාවකාලික විසඳුම්. මෙහිදී මා විශේෂයෙන් අවධාරණය කරන්නේ ස්ට්‍රෙච් මාක්ස් ඔබේ ශරීර සෞඛ්‍යයට අහිතකර නොවුණත් ඔබ ඒ සඳහා ආලේප කරන කෘත්‍රිම ආලේපන මඟින් ඔබේ ශරීර සෞඛ්‍යයට හානියක් විය හැකි බවයි. එම නිසා ඔබ එවැනි ආලේපන භාවිත කරන්නේ නම් වගකීමක් සහිත ආලේපනයක් තෝරාගන්න. දරු ප්‍රසුතියේදී ඇතිවන කැළැල් සඳහා ප්‍රසුතියෙන් පසු සුදුසුකම් ලත් වෛද්‍යවරයකු ලබා දෙන ආලේපනයක් භාවිත කිරීම සුදුසුයි. ඒ හැරුණු විට මම නිර්දේශ කරන්නේ ආයුර්වේද ප්‍රතිකර්මයි. නිවෙසේදීම සාදාගත හැකි ස්වාභාවික සත්කාර ඔබත් අත්හදා බලන්න.”

ආලේපන භාවිත කරන්නේ නම් වගකීමක් සහිත ආලේපනයක් තෝරාගන්න. දරු ප්‍රසුතියේදී ඇතිවන කැළැල් සඳහා ප්‍රසුතියෙන් පසු සුදුසුකම් ලත් වෛද්‍යවරයකු ලබා දෙන ආලේපනයක් භාවිත කිරීම සුදුසුයි. ඒ හැරුණු විට වඩාත් සුදුසු වන්නේ ආයුර්වේද ප්‍රතිකර්මයි

සීනී

ආමන්ඩ් තෙල් හෝ පොල්තෙල් ස්වල්පයක් ගෙන සීනී කෝප්ප 1/4 කට දමා තලපයක් සේ කලවම් කර එයටම දෙහියුෂ ස්වල්පයක් එකතු කර සතියකට තෙවරක් පමණ සිරුරේ ස්ට්‍රෙච් මාක්ස් තිබෙන ස්ථානවල ආලේප කරන්න. විනාඩි 8-10ක් පමණ තිබෙන්නට හැර අතුල්ලා ඉවත් කරන්න.

පොල් තෙල්

දිනපතා පිරිසුදු පොල් තෙල් බින්දු කිහිපයක් ස්ට්‍රෙච් මාක්ස් මත ආලේප කරන්න. බටර් සහ පොල්තෙල් කලවම් කර ආලේප කිරීමද සුදුසුය.

විටමින් A

සමට තරුණ හා සිනිඳු පෙනුමක් ලබා දෙන බැවින් විටමින් A අඩංගු වට්ටක්කා, කැරට් , බතල වැනි ආහාර නිතර ආහාරයට ගන්න.

ලෙමන් යුෂ

ලෙමන් යුෂවලින් පොඟවා ගත් පුළුන් කැබැල්ලක් ස්ට්‍රෙච් මාක්ස් සහිත ප්‍රදේශයේ විනාඩි දහයක් පමණ තබා ඉවත් කරන්න.

කෝපි

කෝපි ස්වල්පයක් ගෙන එයට වතුර බින්දු කිහිපයක් එකතු කර තලපයක් සේ සාදාගෙන එයටම කෝමාරිකා මද ස්වල්පයක් එකතු කර හොඳින් මිශ්‍රකර ගන්න. කැළැල් තිබෙන ස්ථානයේ එම ආලේපය තවරා විනාඩි 20ක් පමණ තබා පසුව සෝදා හරින්න. ඉන්පසු සම මත පිණ්ඩ තෙල් ආලේප කරන්න.

ආයුර්වේදීය ඖෂධ

කොත්තමල්ලි,වෙනිවැල්ගැට,වැල්මදට, සුදු හඳුන් සහ කස්තුරිකහ කුඩු එකතු කර පේස්ට් එකක් සාදා සම මත ආලේප කර පැයක් පමණ තබා ඇල් වතුරින් සෝදා හරින්න.

අර්තාපල්

අර්තාපල් අල වතුර ස්වල්පයක් දමා බ්ලෙන්ඩර් කර උකුවට සාදාගත් පේස්ට් එක සම මත ආලේප කර පැය භාගයක් පමණ තබා උණු වතුරින් සෝදා හරින්න.

මීට අමතරව ස්ට්‍රේච් මාක්ස් තිබෙන තැන්වල බිත්තර සුදු මද ආලේප කිරීම සහ ඔලිව් තෙල් ආලේප කිරීමද ලෙස සුදුසුය. එවැනි සත්කාර කරන අතර දිනපතා ව්‍යායාම් කිරීම මඟින් සිරුරේ අනවශ්‍ය ලෙස බර වැඩි වීම හා මේදය තැන්පත් වීම පාලනය කිරීමෙන් ස්ට්‍රෙච් මාක්ස් ඇතිවීම වළක්වා ගත හැකිය.

0 comment
0

Related Posts

Leave a Comment