Home ව්‍යාපාර පුවත් සමාජ ව්‍යවසායකත්වයෙන් සමාජයේ ගැටලුවලට සාර්ථක විසඳුම් දිය හැකියි

සමාජ ව්‍යවසායකත්වයෙන් සමාජයේ ගැටලුවලට සාර්ථක විසඳුම් දිය හැකියි

by Hela news

ආචාර්ය කුමුදු ජයවර්ධන

ව්‍යවසායකත්වය පිළිබඳ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය, කළමනාකරණ පීඨය

ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලය

සමාජ ව්‍යවසායකත්වය යනු කුමක් ද, විශ්වවිද්‍යාලය මඟින් සමාජ ව්‍යවසායකත්වය පිළිබඳ සිසුන්ට දෙන දැනුම සහ ඒ ඔස්සේ සමාජයට වන සේවය පිළිබඳ ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ, කළමනාකරණ පීඨයේ ව්‍යවසායකත්වය පිළිබඳ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය කුමුදු ජයවර්ධන මහත්මිය සමඟ කරන ලද සාකච්ඡාවකි මේ.

 සමාජ ව්‍යවසායන් එසේ නැති නම් සමාජ ව්‍යාපාර යනුවෙන් හඳුන්වන්නේ මොනවා ද?

අපගේ වටපිටාව බලන විට අපට පෙනෙන දෙයක් තමයි පෞද්ගලික අංශයේ ව්‍යාපාර සහ රාජ්‍ය අංශයේ ව්‍යාපාර. ඒවා අපට හුරුපුරුදු දේවල්. එහෙත් සමාජ ව්‍යාපාර ගත් විට එය නුහුරු වචනයක් වගෙයි. පෞද්ගලික අංශයේ ව්‍යාපාරවල එහි මූලිකම දේ වන්නේ ලාභය ඉපයීමයි. කෙනකු වසර මුලදී කිසියම් මුදලක් ආයෝජනය කරන විට වසර අගදී ලැබෙන මූල්‍යමය ප්‍රතිලාභ මොනවාදැයි සොයා බලනවා. මේ අනුව තමයි පෞද්ගලික අංශයේ ව්‍යවසායන් ආයෝජනයට පෙළ ඹෙන්නේ.

අනෙක් අතට, අපගේ සමාජය දෙස බැලූ විට සමාජ සහ පාරිසරික ප්‍රශ්න ගණනාවක් පෙනෙන්නට තිබෙනවා. මේවා බොහොමයක් නොවිසඳුණු ගැටලු විදිහට දකින්න පුළුවන්. රටක් විදිහට ගත්තහම රජයකට මේවාට සියයට සියයක් විසඳුම් දෙන්න බැහැ.

මෙතැනදී තමයි සමාජ ව්‍යවසායකත්වය වැදගත් වන්නේ. සමාජ ව්‍යවසායන් කියන්නේ යම්කිසි පාරිසරික හෝ සාමාජීය ගැටලුවක් විසඳීම අරමුණු කර ගනිමින් පටන් ගත්ත ව්‍යාපාර. සමාජ ව්‍යවසායනුත් අනෙකුත් ව්‍යාපාර මෙන්ම ක්‍රමවත් ව්‍යාපාර සැලැස්මක් මඟින් ලාභ උපයනවා. නමුත් ව්‍යාපාරය ආරම්භ කිරීමට හේතු වුණු සමාජ හෝ පාරිසරික ගැටලුව විසඳීම තමයි මූලික වෙන්නේ. ඒ අනුව සමාජ ව්‍යවසායන් සලකා බැලීමේදී ප්‍රධාන කාරණා දෙකක් දකින්න පුළුවන් පළමු වැන්න, සමාජ ව්‍යවසායකයන් කිසියම් නොවිසඳුණු සමාජ හෝ පාරිසරික ගැටලුවකට පිළිතුරු සෙවීමට සක්‍රීයව මැදිහත් වීම. දෙවැන්න සමාජ ව්‍යවසායකයකුගේ මූලික අරමුණ ලාභය ඉපැයීම පමණක් නොවීම.

ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ ආරම්භ කරන ලද ‘සමාජ ව්‍යවසාය ඉන්කියුබේටර්‘ වැඩසටහන පිළිබඳ පැහැදිලි කරන්න පුළුවන්ද?

පේරාදෙණිය විශ්වවිද්‍යාලය සහ එක්සත් රාජධානියේ ග්ලාස්ගෝ කැලඩෝනියන් (Glasgow Caledonian) විශ්වවිද්‍යාලය අප සමඟ හවුල්කරුවන් ලෙස ක්‍රියා කරනවා. මෙහිදී ග්ලාස්ගෝ කැලඩෝනියන් විශ්වවිද්‍යාලය අප සමඟ ඔවුන්ගේ දැනුම සහ අත් දැකීම් බෙදා ගන්නවා. මේ සඳහා යුරෝපා සංගමය සහ බ්‍රිතාන්‍ය කවුන්සිලය අපට මූල්‍ය ආධාර සපයනවා.

මේ ව්‍යාපෘතියේ ප්‍රධාන අරමුණ වන්නේ විශ්වවිද්‍යාල ප්‍රජාව තුළ සහ සමාජයේ ජීවත් වන ප්‍රජාව තුළ ‘සමාජ ව්‍යවසාය‘ යන සංකල්පය ප්‍රචලිත කිරීමයි. මේ අරමුණ ඉටු කිරීම සඳහා ඉන්කියුබේටර් ක්‍රියාවලිය හරහා විශාල සේවාවක් වෙනවා. ව්‍යවසායකයකු ඉබේ පහළ වන්නේ නෑ. ඔහුගේ හෝ ඇයගේ දක්ෂතා හඳුනාගෙන ඒවා ඉදිරියට ගෙන ඒම සඳහා අපට අත දිය හැක. මේ දක්ෂතා අතර කළමනාකරණ කුසලතා, නවෝත්පාදන කුසලතා, මූල්‍ය කළමනාකරණය, වෙළෙඳපොළ හඳුනා ගැනීම වගේම පර්යේෂණාත්මක හැකියාවන් ප්‍රධාන තැනක් ගන්නවා. මේ සඳහා ඉන්කියුබේටර් වැඩසටහන හරහා හොඳ පුහුණුවක් දෙනවා. සමාජීය සහ පාරිසරික ගැටලුවලට විසඳුම් දීමට දායක වන ව්‍යාපාරිකයකු බිහි කිරීම තමයි ඉන්කියුබේටර් ක්‍රියාවලියෙන් වෙන්නේ.

සමාජ ව්‍යවසායකත්වය පිළිබඳ ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලය තුළ ඉගැන්වීම් කරනවා ද?

ඔව්. අපේ විශ්වවිද්‍යාලයේ අරමුණ සහ දැක්ම වී තිබෙන්නේ ජාතික සම්පත්වලට අගය එකතු කිරිම. අපේ විශ්වවිද්‍යාලයේ සෑම පීඨයකම උපාධි පාඨමාලාවල මූලික දේ තමයි ව්‍යවසායකත්වය. මේ පිළිබඳ න්‍යායාත්මකව උගන්වනවා. පාඨමාලා පමණක්ම නොවෙයි, මේ ව්‍යවසායකත්ව කුසලතා සමාජ ප්‍රශ්න විසඳන්න යොදා ගන්නේ කොහොමද කියලා විවිධ ක්‍රම මඟින් ප්‍රායෝගිකව අත්හදා බලන්න ළමයින්ට අවස්ථාව සලසා දෙනවා.

සමාජ ව්‍යවසායකත්ව සංකල්පය විශ්වවිද්‍යාලය තුළ ප්‍රවර්ධනයට ගෙන ඇති පියවර මොනවා ද?

අපේ විශ්වවිද්‍යාලයේ කළමනාකරණ පීඨයේ ව්‍යවසායකත්වය පිළිබඳ වෙනම පාඨමාලාවක් තිබෙනවා. සමාජ ව්‍යවසායකත්ව ඉන්කියුබේටර් වැනි ව්‍යාපෘති හරහා ළමයින්ගේ හැකියාවන් හැකි තාක් දුරට එළියට ගන්නට අප උත්සාහ කරනවා. මීට අමතරව ක්ෂේත්‍රයේ සිටින දේශීය සහ විදේශීය ප්‍රවීණයන් අපේ ශිෂ්‍යයන් හා ගැටෙන්නට අප ඉඩ ප්‍රස්ථා සකස් කර දී තිබෙනවා. මේ නිසා අපේ ශිෂ්‍යයන්ට ඒ ප්‍රවීණයන්ගේ අත්දැකීම් බෙදා ගන්නට වගේම ඔවුන් සමඟ කතා බස් කොට ප්‍රශ්න විසඳා ගැනීමටත් හැකි වෙනවා.

ශ්‍රී ලංකාව වැනි රටකට සමාජ ව්‍යවසායන් වැදගත් වන්නේ ඇයි?

නොවිසඳුණු සමාජ සහ පාරිසරික ගැටලු ගොඩක තමයි අප ජීවත් වන්නේ. උදාහරණයක් විදිහට ශ්‍රී ලංකාවේ ක්‍ෂුද්‍ර මූල්‍ය අර්බුදය ගැන සඳහන් කරන විට විවිධ පාර්ශ්ව එකිනෙකාට චෝදනා කර ගන්නා මට්ටමකට පැමිණ තිබෙනවා. විශේෂයෙන්ම ග්‍රාමීය කාන්තාවන් විශාල වශයෙන් මෙයට හසු වෙනවා. මේ වන විට ග්‍රාමීය කාන්තාවන් 250කට ආසන්න ප්‍රමාණයක් තමන් ගත් ණය ගෙවා ගැනීමට නොහැකි වීමෙන් දිවි නසාගෙන තිබෙනවා. මේ ගැටලුව එකිනෙකා පිට වරද පැටවීමක් දක්නට ලැබෙනවා. ඇතැම් පිරිස් රජය මේ පිළිබඳ නිසි නියාමනයක් නොකරන බව පවසමින් රජයට චෝදනා කරනවා. ඇතැම් පිරිස් ණය ගත් කාන්තාවන්ටත්, ක්ෂුද්‍ර මූල්‍ය ආයතනවලටත් දෝෂාරෝපණය කරනවා. මෙවැනි සමාජ ගැටලු විසඳීමට සාධනීය මැදිහත්වීමක් කරන්නේ කොහොමද කියලා සිතන්න වෙනවා. මෙහිදී තමයි සමාජ ව්‍යවසායකත්වයේ වැදගත්කම වඩා ඉස්මතු වෙන්නේ . මේ නිසයි අප කල්පනා කළේ සමාජ ව්‍යවසායකත්ව සංකල්පය ඉදිරියට ගෙන යෑමට. මේ ගැටලු විසඳීමට අලුතින් කළ හැකි දේ මොනවාද, අලුතින් හඳුන්වා දෙන්නේ මොනවාද යන්න තමයි මේ සමාජ ව්‍යවසායකත්ව සංකල්පය තුළින් වන්නේ. මෙහිදී මේ සංකල්පය තුළින් බොහෝ විසඳුම් ලැබෙනවා. ශ්‍රී ලංකාව වැනි රටකට මෙය වඩාත් ප්‍රයෝජනවත්.

සමාජ ව්‍යවසායකත්ව ඉන්කියුබේටර් වැඩසටහනට විශ්වවිද්‍යාල සිසුන්ගෙන් සහ අධ්‍යයන කාර්ය මණ්ඩලයෙන් ලැබෙන ප්‍රතිචාර කොහොම ද?

අපට ගොඩක් හොඳ ප්‍රතිචාර ලැබෙනවා. අපේ විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය ජයන්ත ලාල් රත්නසේකර මහතා ඇතුළු ආයතන කාර්යය මණ්ඩලයෙන් හොඳ ප්‍රතිචාර මේ සඳහා ලැබෙනවා. මේ ව්‍යාපෘතිය කෙරෙන්නේ එක් පීඨයකින් පමණක් නොවෙයි, අපේ පීඨ හතරින්ම මෙය කෙරෙනවා. සෑම අධ්‍යයන අංශයකම අධ්‍යයන කාර්ය මණ්ඩලය මේ ව්‍යාපෘතිය සඳහා එකතු වී සිටිනවා. මේ ඉන්කියුබේටර් එකට පළමු අදියරේදී තෝරා ගත්තේ සිසුන් 15ක් පමණයි. එහෙත් බොහෝ ශිෂ්‍ය ශිෂ්‍යාවන් මේ සඳහා විශාල උද්යෝගයක් දක්වන බව අපට පෙනෙන්නට තිබෙනවා.

පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙත් මෙවැනිම ඉන්කියුබේටර් වැඩසටහනක් ක්‍රියාත්මක කෙරෙනවා. ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලය සහ පේරාදෙණිය විශ්වවිද්‍යාලය එකතු වෙලා මේ වැඩසටහන ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන්නේ කොහොම ද?

පේරාදෙණිය විශ්වවිද්‍යාලය කියන්නේ ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාල අතුරින් මානව සහ දැනුම් සම්පත් අතුරින් හොඳම විශ්වවිද්‍යාලයක්. අප විශ්වවිද්‍යාල දෙකක් ලෙස මේ වැඩසටහන ප්‍රචලිත කරන්නට විවිධ පියවර ගෙන තිබෙනවා. අපි එකතු වී වැඩ කරනවා වගේම අපේ සම්පත් බෙදා හදා ගන්නවා.

මීට අමතරව අපි සමාජ ව්‍යවසායකත්වය පිළිබඳ සමුළුවක් සංවිධන කර තිබෙනවා. මේ සමුළුවට ඕනෑම කෙනකුට සහභාගි විය හැකියි. දේශීය සහ විදේශීය ව්‍යවසායකයන්, ශාස්ත්‍රීය අංශයේ විද්වතුන්, පර්යේෂකයන් ආදි සැවොම එක් තැනකට එකතු කිරීමක් තමයි අප මින් බලාපොරොත්තු වෙන්නේ. ලබන ඔක්තෝබර් මාසයේදී පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සහ ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේදී මේ සමුළුව පැවැත්වීමට සියලු කටයුතු මේ වන විට සූදානම්. මෙහිදී සමාජ ව්‍යවසාය සම්බන්ධ පර්යේෂණ ප්‍රවර්ධනය කිරීමක් කරනවා. ඒ වගේම සමාජයේ පවතින ගැටලු විසඳීම සඳහා අපේ ශිෂ්‍ය ප්‍රජාවගේ සහ අපේ සමාජයේ සිටින සමාජ ව්‍යවසායකයන්ගේ සමාජ නවෝත්පාදන ප්‍රදර්ශනය කිරීම සඳහා අවකාශ සකස් කර දෙනවා. දේශීය සහ විදේශීය සමාජ ව්‍යවසායකයන්ගේ අත්දැකීම් බෙදා ගැනීමක්ද මේ අවස්ථාවේදී කළ හැකියි. මේ ආකාරයෙන් සමාජ ව්‍යවසායකත්වය ප්‍රචලිත කිරීමක් මේ සමුළුවේදී සිදු වෙනවා.

ශ්‍රී ලංකාවේ සමාජ ආර්ථික සහ පාරිසරික අභියෝගවලට මුහුණ දිමට මේ ඉන්කියුබේටර් වැඩසටහන දායක වන්නේ කුමන ආකාරයෙන් ද?

මුලින් පැවසූ ආකාරයට අප නොවිසඳුණු ගැටලු ගණනාවක් මැද ජීවත් වන ජන කොට්ඨාසයක්. මෙයට විකල්පයක් ලෙස මේ ඉන්කියුබේටර් වැඩසටහන මඟින් සමාජ හෝ පාරිසරික ප්‍රශ්නයක් දෙස විද්‍යානුකූලව බලන ආකාරය සහ තමන්ගේ මැදිහත් වීම ඒ සඳහා කරන්නේ කොහොමද සහ තමන්ගේ විසඳුම ඒ සඳහා නිර්මාණය කරන්නේ කොහොමද යන්න පිළිබඳ අප පුහුණු කරනවා. මේ ප්‍රවේශය තුළින් සමාජයට වැඩදායි වගේම නොවිසඳුණු ගැටලුවලට සාර්ථක විසඳුම් දිය හැකි යැයි අප විශ්වාස කරනවා.

0 comment
0

Related Posts

Leave a Comment