Home දේශීය පුවත් සමාජ මාධ්‍ය කැලඹූ ඡායාරූපයේ ඇත්ත කථාව

සමාජ මාධ්‍ය කැලඹූ ඡායාරූපයේ ඇත්ත කථාව

by Hela news

ගුරු-විදුහල්පති වැටුප් ගැටලුව විසඳීමේ අරමුණින් ඊයේ අරලිය ගහ මන්දිරයේදී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් හමුවක් පැවැත්වුණි.

ඊට ගුරු සංගම් නියෝජිතයින්, අමාත්‍යවරුන් සහ අධ්‍යාපන සහ මුදල් අමාත්‍යංශයේ නිලධාරීන් එක්වී සිටියේය.

එම සාකච්ජාවෙන් අතරතුර අගමැති මහින්ද රාජපක්ෂ මහතා ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසෆ් ස්ටාලින් මහතාගේ කරට අත තබා යමක් පවසන ආකාරය දැක්වෙන ඡායාරූපයක් මේ වනවිට සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වෙයි.

එහිදී ඇත්තටම සිදුවූයේ කුමක්ද යන්න අද දෙරණ “බිග් ෆෝකස්” වැඩසටහනේ දී හෙළිවිය.

එහිදී, ශ්‍රී ලංකා පොදුජන අධ්‍යාපන සේවා සංගමයේ සභාපතිනී වසන්තා හඳපාන්ගොඩ මහත්මිය සඳහන් කළේ,

“මෙතුමා ගිහින් කිව්වා අගමැතිතුමාට, සර් මම ජෝසෆ් ස්ටාලින්. මට මඩ ගහනවා කෝටි 85ක් ආවා කියලා කිව්වා. එතකොට මං කිව්වා, ඔව් සර් ඒ ගැන හොයන්න කියලා. ඊට පස්සේ අගමැතිතුමා මෙතුමගේ පිටට අත තියලා කිව්වා අපි සේප්පුවක් හදලා දෙමු ඒක දාන්න කියලා. ඒකයි එතන යන දෙබස.”

එහිදී, “ඕව් ඔව්. මෙතුමිය ළඟට ආවාම මම කිව්වා. මෙයා හැම වෙලේම කියනවා කෝටි 85ක් හම්බුණයි කියලා අපිට. මොකක්ද මේ කථාව කියලා. විහිළු කථාවක් මේ කරන්නේ හැමවෙලේම. ඇයි ඉතින් මේ වගේ බොරු කියනවා නේ.” යනුවෙන් ජෝසෆ් ස්ටාලින් මහතා පැවසීය.

මේ අතර අදියර දෙකක් යටතේ වැටුප් වැඩිකිරීමේ රජයේ යෝජනාවට එකඟ නොවී සිය වර්ජනය අඛණ්ඩව ක්‍රියාත්මක කරන බව ගුරු – විදුහල්පති වෘත්තීය සංගම් අද ප්‍රකාශ කර තිබුණි.

ඒ, අග්‍රාමාත්‍යවරයා ඊයේ ඉදිරිපත් කළ යෝජනාව සම්බන්ධයෙන් එම සංගම් අතර පැවති සාකච්ඡාවෙන් පසුවය.

කෙසේවෙතත් රජය ලබාදුන් විසඳුම පිළිගනිමින් තම සංගමය ලබන 21 වැනිදා සිට ඉගැන්වීම් ආරම්භ කිරීමට සූදානම් බව රත්නපුර දිස්ත්‍රික් ගුරු විදුහල්පති සංගම් එකමුතුව පවසයි.

රත්නපුර දිස්ත්‍රික් ගුරු විදුහල්පති සංගම් එකමුතුවේ කැඳවුම්කරු අයි.ඒ. ආර් ඉලේපෙරුම මහතා පැවසුවේ, “මේ ප්‍රශ්නය මධ්‍යස්ථ විසඳුමකට ඇවිත් තියෙනවා. ඒ නිසා අපි විශ්වාස කරනවා රටේම ඉන්න ගුරුවරු සහ විදුහල්පතිවරු අපිත් එක්ක එකඟ වෙයි කියලා.”

මේ අතර පාසල් විවෘත කරන 21 වැනිදා උතුරු මැද පළාතේ පාසල්වල ඉගැන්වීමට පැමිණෙන ගුරුවරුන්ට බාධා කරන පුද්ගලයින් අත්අඩංගුවට ගන්නා ලෙස අමාත්‍ය එස්. එම්. චන්ද්‍රසේන මහතා අද අනුරාධපුර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමේදී පොලීසියෙන් ඉල්ලීමක් කළේය.

0 comment
0

Related Posts

Leave a Comment