සමාජ – ආර්ථික – දේශපාලන පරිවර්තනයකට අප සූදානම් – ජවිපෙ නායක අනුර කුමාර දිසානායක

0
45

මේ මොහොත වන විට රටේ අවශ්‍යතාව සමාජ ආර්ථික දේශපාලන පරිවර්තනයක් බවත් ඒ සඳහා තම පක්ෂය උපරිම ලෙස කැපවෙන බවත් ජනතා විමුක්ති පෙරමුණේ නායක, අනුර කුමාර දිසානායක මහතා  ජනතා විමුක්ති පෙරමු⁣ණේ ප්‍රධාන කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවේදී පැවසුවේය.

හෙතෙම වැඩි දුරටත් මෙසේද කියා සිටියේය.

මේ අපගේ මාතෘ භූමිය එල්ල විය හැකි බරපතළම අභියෝගයකට මුහුණදී තිබෙන අවස්ථාවක්. රටේ පොදු ජනතාවට තමන්ගේ ජීවිතය පවත්වාගෙන යෑමට, ලැබිය යුතු සේවාවන් ලබා ගැනීමට, අභියෝගකාරී තත්වයක් තිබෙන මොහොතක්. මේ නිසා අපේ රටේ ජනතාව සමඟ අන් කවරදාටත් වඩා වැඩියෙන් කළ යුතු ප්‍රබල දේශපාලන සංවාදයක් තිබෙනවා.

කෝවිඩ් වසංගතය තුළ සාමාන්‍ය ජනතාවට පීසීආර් පරීක්ෂණයක් කර ගන්න කොයිතරම් පොරබදන්න සිදු වී තිබෙනවාද? රෝහලක් සොයා ගැනීම සඳහා විශාල පරිශ්‍රමයක් දරන්න සිදු වී තිබෙනවා. කොළඹදී හඳුනා ගන්නා රෝගියෙක් මඩකලපුවේ රෝහලකට ගෙනයන තත්වයක් තිබෙන්නේ. නමුත් ඊට වෙනස් පැත්තක් තිබෙනවා. මා මේ කතාව කිරීමට සුළු මොහොතකට පෙර ප්‍රධාන පෞද්ගලික රෝහලකින් පීසීආර් පරීක්ෂණ සියල්ල කිරීමට සලසා තිබෙන පහසුකම් ගැන එස්එම්එස් පණිවිඩයක් ආවා. මේ වගේ වැය බරක් දරන්න පුළුවන් කාටද? එය කළ හැක්කේ මේ රටේ පාලක පන්තියටයි. ආර්ථිකය බිඳවැටීම නිසා එහි ගොදුරු බවට පත් වී තිබෙන්නේ පොදු ජනතාවයි.

ක්ෂුද්‍ර මූල්‍ය ණය ගෙවාගන්න නොහැකි වුණු කාන්තාවන් මේ වන විටත් අරගලයක යෙදී ඉන්නවා. ග්‍රාමීය කාන්තාව ආර්ථික ව්‍යසනයේ ගොදුරු බවට පත් වෙලා.

වල්සපුගල ගොවි ජනතාව, ගල්ගමුව, මහියංගණය, මැදවච්චිය, වගේ ප්‍රදේශවල වනඅලි උවදුරට විසඳුම් ඉල්ලා සත්‍යග්‍රහයක යෙදී සිටිනවා. ගම්වදින වනඅලි, බව-භෝග, නිවාස, සහ ජීවිත විනාශ කරන අලි-මිනිස් ගැටුමක් පවතිනවා. ඊට විද්‍යාත්මක විසඳුමක් ලබා දෙන්න ආණ්ඩුව අසමත් වී තිබෙනවා. ඒ වගේම විදෙස් ගත ශ්‍රී ලාංකිකයන් විශාල ප්‍රමාණයක් ආපසු පැමිණිය නොහැකිව සිටිනවා. වෙනත් රටවල් තමන්ගේ පුරවැසියන් ප්‍රමුඛතාවයක්දී මව්බිමට කැඳවා ගන්නකොට අපේ පාලකයන් ඒ පුරවැසියන් වෙත නැවත නැවත නීති පනවමින් ගෙන්වා ගැනීම ප්‍රමාද කළා. ගැඹුරු ආර්ථික ව්‍යසනයේ ප්‍රතිඵල පුරවැසියන් සියලු දෙනාට විහිදී යන්නේ මේ ආකාරයටයි. විශ්‍රාමික ජනතාවට ලැබිය යුතු වැටුප් වැඩි කිරීම මැතිවරණ පොරොන්දුවක් විතරක් වී තිබෙනවා. ඒ වගේම 2021 අප්‍රේල්වල හෘදයාබාධය වැලඳුණු රෝගියකුට ඔපරේෂන් කරන දිනය ලෙස ලබාදී තිබෙන්නේ 2028 වර්ෂයේ දිනයක්. ආර්ථිකය බිඳවැටීමේ ප්‍රතිවිපාක විවිධාකාරයෙන් පුරවැසියන්ට බලපාන්නේ මේ විදියටයි. හැබැයි පාලක පන්තිය හා ඔවුන්ගේ සමීපතම සමාගම් වළල්ලක් 2019ටත් වඩා අධික ලාභ පොදි බැඳගෙන තිබෙනවා. මේ තත්ත්වය තුළ පොදු ජනයාගේ ජීවිත පමණක් නොවෙයි, අපේ මාතෘ භූමියේ ස්වෛරීභාවය සහ නිදහස අහිමි කරමින් තිබෙනවා. බටහිර ජැටිය විකිණීම, පෝට්සිටි ව්‍යාපෘතිය වගේ ව්‍යාපෘති ගේන්නේ ඒ නිසායි. අනික් පැත්තෙන් ස්වාභාවික පරිසර පද්ධතිය අක්කර දහස් ගණනක් වනසමින් ජනතාවගේ ජන ජීවිතය අවතැන් කරමින් තිබෙනවා.

මේ සියලු ප්‍රශ්න සඳහා පාලකයන් ලබාදෙන විසඳුම් මොනවාද? එකක් අවිද්‍යාත්මක ග්‍රාමීය ජනප්‍රියවාදී විසඳුම්. දෙක රැවටිලිකාරී විසඳුම්. තුන්වැනුව අර්බුදය තව තවත් තීව්‍ර කරන භයංකාර විසඳුම්. හදිසියේ ගව ඝාතනය අත්හිටුවීමට කැබිනට් මණ්ඩලය තීරණය කරන්නේ අවිද්‍යාත්මකවයි. ග්‍රාමීය ජනප්‍රියවාදී තීන්දුවක්. ඒ වගේම රසායනික පොහොර සහ රසායනික යෙදවුම් ක්ෂණිකව නවත්වා දැමීමට ජනාධිපතිවරයා ගත් තීරණයත් මෙවැනි ජනප්‍රියවාදී එකක්.

මේ තත්ත්වය තවදුරටත් ඉදිරියට ගෙන යා යුතුද කියා අප අපේ රටේ පුරවැසියන්ගෙන් අහනවා. නැත්නම් මේ තත්ත්වය වෙනස් කළ යුතුද? අපේ රටට විශාල පරිවර්තනයක් අවශ්‍යයි. සමාජ, ආර්ථික, දේශපාලන දේහයේ පුළුල් පරිවර්තනයක් ඕනෑ. මේ නිශ්චිත මොහොතේ අපේ රට ඉල්ලා සිටින්නේ සමාජ ආර්ථික දේශපාලන පරිවර්තනයක්. ඒ පරිවර්තනය සඳහා නායකත්වය දෙන්න, ජනතාව පෙළගස්වන්න, ජනතා විමුක්ති පෙරමුණේ අප උපරිම ලෙස කැපවෙන බව මේ මොහොතේ සපත කරනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here