Home උණුසුම් පුවත් සතොස සුදුලූනූ වංචාව ගැන මාධ්‍යවේදීන්ගෙන් ප්‍රශ්න කිරීම නොකළ යුත්තක් – ජනමාධ්‍ය ඇමැති

සතොස සුදුලූනූ වංචාව ගැන මාධ්‍යවේදීන්ගෙන් ප්‍රශ්න කිරීම නොකළ යුත්තක් – ජනමාධ්‍ය ඇමැති

by Hela news

මෙය ශීලාචාර සමාජයක නොවිය යුතු දෙයක්
රජයේත් මගේත් කනගාටුව පළ කරනවා

සතොස ආයතනයේ සිදු වූ සුදු ලූනු වංචාව පිළිබඳ කරුණු වාර්තා කළ මාධ්‍යවේදීන් පොලිසියට හෝ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට කැඳවා ප්‍රශ්න කිරීම නොකළ යුත්තක් බව අගමැති මහින්ද රාජපක්ෂ මහතා අවධාරණය කළ බව කැබිනට් ප්‍රකාශක, ජනමාධ්‍ය ඇමැති ඩලස් අලහප්පෙරුම මහතා පැවසීය.

මාධ්‍යවේදීන් රහස් පොලීසියට කැඳවීම ශීලාචාර සමාජයක නොවිය යුත්තක් බවත්, එවැන්නත් සිදුව තිබීම ගැන ජනමාධ්‍ය ඇමැතිවරයා ලෙස තමාත්, රජයත් කනගාටුව පළ කරන බව ඩලස් අලහප්පෙරුම මහතා පැවසීය.

සුදු ලූනු වංචාව සම්බන්ධයෙන් වාර්තා කළ මාධ්‍යවේදීන්ගෙන් රහස් පොලිසිය ප්‍රශ්න කිරීමට සූදානම් වීම සම්බන්ධයෙන් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමෙන්තුවේ ඊයේ (28) පැවැති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේ දී මාධ්‍යවේදියකු ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඇමැතිවරයා මේ බව කියා සිටියේය.

මාධ්‍යවේදීන් කිසිසේත් පොලීසියට, රහස් පොලීසියට කැඳවා ප්‍රශ්න කිරීම නොකළ යුතු බව අගමැතිවරයාද තමාට පැවසූ බවත් මාධ්‍ය ආයතන වෙත කිසි විටෙකත් රහස් පොලිස් නිලධාරීන් එවන්නේ නැති බව විෂය භාර ඇමැති සරත් වීරසේකර මහතාත් ඉතා වගකීමෙන් පැවසූ බවත් අලහප්පෙරුම මහතා කීවේය.

මෙම සිදුවීම මුළුමනින්ම බැහැර හැරීමට අගමැතිවරයා සහ විෂය භාර ඇමැති සරත් වීරසේකර මහතා ගත් තීන්දුව සම්බන්ධයෙන් ජනාමධ්‍ය ඇමැතිවරයා ලෙස තමන් ඔවුන්ට ස්තූතිය පළ කර සිටින බව හෙතෙම කීවේය.

ඇමැතිවරයා වැඩි දුරටත් මෙසේද ප්‍රකාශ කළේය. පුවත්පත් කර්තෘවරුන් සහ මාධ්‍යවේදීන් රහස් පොලීසිය වෙත කැඳවා තිබූ නිවේදන එම පුවත්පත් ආයතනවලින් මටත් වට්ස්ඇප් හරහා යොමුකර තිබුණා. මේ ගැන අප බරපතළ ලෙස කනගාටු වෙනවා. ආණ්ඩුවක් ලෙස මෙය ප්‍රතික්ෂේප කරනවා. මෙය නොවිය යුතු දෙයක් බව ඉතා වගකීමෙන් කියනවා. මේ සම්බන්ධයෙන් මා අගමැතිවරයගෙන් විමසූ විට එතුමා ඉතා පැහැදිලිව පැවසුවේ මාධ්‍යවේදීන් කිසිසේත් පොලීසියට, රහස් පොලීසියට කැඳවා ප්‍රශ්න කිරීම නොකළ යුතු බවයි. රහස් පොලිස් නිලධාරීන් කිසි ලෙසකත් මාධ්‍ය ආයතන වෙත එවන්නේ නැති බව විෂය භාර ඇමැති සරත් වීරසේකර මහතාත් ඉතා වගකීමෙන් පැවසුවා.

හිටපු නිලධාරියෙක් සුදු ලූනු වංචාව සම්බන්ධයෙන් වෙළෙඳ ඇමැති බන්දුල ගුණවර්ධන මහතාට සහ රාජ්‍ය ඇමැතිවරයාට ඇඟිල්ල දිගු කළ විට බන්දුල ඇමැතිවරයා ඒ පිළිබඳ පැමිණිල්ලක් කළා. එතුමා මේ සම්බන්ධයෙන් ආයතන වශයෙන් කිසිවක් නම් කර තිබුණේ නැහැ. බන්දුල ගුණවර්ධන මහතා වංචනික තක්කඩි දේශපාලනඥයකු නොවන බව අප කවුරුත් දන්නවා. ඒ නිසා එතුමා ගොස් පැමිණිල්ලක් කිරීම යුක්ති සහගතයි. මෙහි වෙත තැනක පැටලිල්ලක් වී තිබෙනවා. මේ සිදු වී තිබෙන්නේ ශිලාචාර සමාජයක නොවිය යුතු දෙයක්. ආණ්ඩුවක ගොරෝසු දරදඬු ඒකාධිපති නීතිවලට එරෙහිව පෑන අතට ගත් මාධ්‍යවේදියකු වූ ඩලස් අලහප්පෙරුම ජනමාධ්‍ය ඇමැතිවරයා ලෙස සිටින මොහොතක කිසිසේත් මෙයට එකඟ නැහැ. මාධ්‍යවේදීන්ට මා කනගාටුව පළ කරනවා.

0 comment
0

Related Posts

Leave a Comment