සජබය හාම්පුතුන්ගේ නොවේ; පොදු මහත් කම්කරුවාගේයි – විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස

0
41

සමඟි ජනබලවේගය හාම්පුතුන්ගේ පක්ෂයක් නොවන බවත්, එය මේ රටේ පොදු මහත් කම්කරු ජනතාවගේ දේශපාලන පක්ෂය බවත්, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සමඟි ජනබලවේගයේ කම්කරු දිනය අමතමින් පැවසීය.

ඒ මහතා මෙසේද කීය.

අපට හැම වෙලේම මතක් වෙන්නේ රණවිරුවන්, රටවිරුවන් පිළිබඳවයි. ඒ වගේම කෝවිඩ් ප්‍රශ්නයත් සමඟ සුව විරුවන් කරළියට ඇවිත් තිබෙනවා. අද දිනයේ අප ප්‍රමුඛතාව ලබා දෙන්නේ ශ්‍රම විරුවන්ටයි.

ආර්ථිකය කියනකොට බොහෝ අය පෙන්නා දෙන්නේ අපේ රටේ ආර්ථික කොඳු නාරටිය ව්‍යාපාරික පන්තිය බවයි . නමුත් ආර්ථිකයේ සැබෑ හදවත, අපේ රටේ කම්කරු පන්තිය අප අවබෝධ කරගන්නට ඕනෑ. විශේෂයෙන්ම ආර්ථිකයේ වර්ධන වේගය ගැන අප කතා කරන කොට බොහෝ දෙනෙක් සමස්ත ආර්ථික වර්ධන වේගය ගැන කතා කළා.

කම්කරු පන්තියේ ආර්ථික වර්ධන වේගය ගැන වැඩි අවධානයක් යොමු කළේ නෑ. ආර්ථික වර්ධන වේගය ගැන කතා කරනවා මෙන්ම, ආර්ථික වර්ධනය ඉහළ යනකොට කම්කරුවාගේ ආර්ථික වර්ධන වේගයත් ඉහළට යා යුතුයි කියන කාරණාව අපි හොඳින් මතක තබා ගන්නට ඕනෑ. සමඟි ජන බලවේගය කියන පක්ෂය, හාම්පුතුන්ගේ පක්ෂයක් නෙමෙයි. ධනපති පන්තියේ පක්ෂයක් නෙමෙයි. සමාජයේ ඉහළම පැලැන්තියේ පක්ෂයක් නෙමෙයි. අපේ පක්ෂය පොදුජන පක්ෂයක්. කම්කරුවාගේ පක්ෂයයි. පීඩිත පන්තියේ පක්ෂයයි. සමස්ත රටවැසියාගේ පක්ෂයයි. විශේෂයෙන්ම ජනතාවගේ හදගැස්ම, දුක කඳුළ වේදනාව, කම්කරුවාගේ අධිෂ්ඨානය, කැපවීම කම්කරු ශ්‍රමයේ වටිනාකම අප දන්නවා. ඒවා හාම්පුතාගේ සල්ලිවලට වැඩිය ලොකුයි. අපට රටක ආර්ථිකයක් හැටියට මේ රට හැදෙන්නේ සල්ලිවලින් විතරක් නෙමෙයි. මේ රට හැදෙන්නේ කම්කරුවාගේ දහඩිය සුවඳ, දුක කඳුළ වේදනාව, අධිෂ්ඨානය, කැප කිරීම සහ අසීමිත ශක්තියෙන් බව මතක තබා ගන්නට ඕනෑ.

අද නගරශාලා පිටියවත් පුරවා ගන්න බැරි රජය තහංචි පනවලා කම්කරු අයිතිය කඩාකප්පල් කළා. කම්කරුවා පැත්තක දමා, මේ රටේ ඉහළම පොහොසතා රැකගැනීමේ ධනවාදයක් අද ක්‍රියාත්මක කරමින් සිටිනවා.

ආදරණීය මිත්‍රවරුනි සමඟි ජන බලවේග රජයක් තුළ රනුග්ගේ වාර්තාවේ නිර්දේශ වූ 3,000 සිට 24,000 දක්වා වැටුප් වැඩි කිරීම ක්‍රියාත්මක කළ හැකි මාතෘ භූමියක් අප නිර්මාණය කරනවා. මේ රජය කප්පාදු කළ වැටුප් වැඩි කිරීම් අප අනිවාර්යෙන්ම ලබා දෙනවා. එපමණක් නොවෙයි, වර්තමාන ආර්ථික සමාජීය පරිසරයට සරිලන වැටුප් තලයක් මේ රටේ සමස්ත කම්කරු ප්‍රජාවට නිර්මාණය කරන්න අප කටයුතු කරනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here