Home උණුසුම් පුවත් සඟවා තිබියදී සොයාගත් සීනි ටොන් 29,900 පාලන මිලට ජනතාවට

සඟවා තිබියදී සොයාගත් සීනි ටොන් 29,900 පාලන මිලට ජනතාවට

by Hela news

අලෙවිය රාජ්‍ය හා පෞද්ගලික වෙළෙඳසල්වලින්

ගබඩා තුළ සඟවා තිබියදී සොයාගත් සීනි මෙට්‍රික් ටොන් 29,900ක ප්‍රමාණයක් ඊයේ (1) සිදු කෙරුණු විමර්ශන සහ මෙහෙයුම් ක්‍රියාවලියෙන් පසු රජයට පවරා ගත් බවත් එම සීනි තොග ජනතාවට පාලන මිලට දීමට කටයුතු කරන බවත් අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල් මේජර් ජෙනරාල් එන්.ඩී.එස්.පී. නිවුන්හැල්ල මහතා පැවසීය.

මෙම සීනි තොගය පාලන මිලක් යටතේ රාජ්‍ය සහ පෞද්ගලික වෙළෙඳ ආයතන මගින් පාරිභෝගික ජනතාව වෙත අලෙවි කිරීමට සැලසුම් කර තිබේ.‍ සීනි කිලෝවකට අය කළ රුපියල් 50ක් වූ ආනයනික බද්ද පාරිභෝගිකයාට සහනයක් සැලසීමේ අරමුණින් 2020 ඔක්තෝබර් මස 14 වැනි දින සිට ශත 25ක් දක්වා අඩු කරනු ලැබුණු අතර එදිනට රට තුළ තිබූ සීනි ප්‍රමාණය මෙට්‍රික් ටොන් 88,878කි. 2020 ඔක්තෝබර් 14 දා සිට 2021 ජුනි 30 වන දින දක්වා සීනි මෙට්‍රික් ටොන් 5,84,000ක් ආනයනය කර ඇති බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසයි. මෙරට මාසික සීනි අවශ්‍යතාව මෙට්‍රික් ටොන් 35,000ක් පමණක් බවත් එහෙත් වාර්ෂික සීනි අවශ්‍යතාව ඉක්මවමින් සීනි ආනයනය කර ඇති බවත් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ දත්තවලට අනුව අනාවරණය වී තිබේ. කෘත්‍රිම සීනි හිඟයක් රට තුළ ඇති කර, පාරිභෝගිකයා දැඩි අපහසුතාවයට ලක් කරමින් ඉතා ඉහළ මිලකට සීනි අලෙවි කිරීමේ උත්සාහයක් පසුගිය කාල සීමාව තුළ දැක ගත හැකි විය.

මහජන ආරක්ෂක ආඥා පනතේ 2වන වගන්තියෙන් පැවරී ඇති බලතල ප්‍රකාරව, එම ආඥා පනතේ ii වැනි කොටසේ විධිවිධාන බලාත්මක කරමින්, 5 වැනි වගන්තියේ විධිවිධාන ප්‍රකාරව සකස් කළ, අත්‍යාවශ්‍ය ආහාර සැපයීමට අදාළ හදිසි නීති රෙගුලාසි ඉකුත් (30) වැනිදා මධ්‍යම රාත්‍රියේ සිට බලපැවැත්වෙන පරිදි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රකාශයට පත් කෙරිණි. අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල්වරයකු පත් කර සාමාන්‍ය ජන ජීවිතය යථා පරිදි පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය වන්නාවූ වී, සහල්, සීනි ඇතුළු අනෙකුත් පාරිභෝගික ද්‍රව්‍ය බෙදාහැරීම සම්බන්ධීකරණය සඳහා බලතල දීමට ද ජනාධිපතිවරයා පියවර ගත්තේය. සඟවා තිබූ සීනි තොග රජය භාරයට ගෙන පාරිභෝගිකයා ආරක්ෂා කිරීමේ අරමුණින් වැටලීම් කර පාලන මිලකට වෙළෙඳපොළට නිකුත් කිරීමට පියවර ගත් බව අත්‍යාවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කළේය.

ඒ අනුව මුතුරාජවෙල Pyramid Wilmar Company මෙට්ට්‍රික් ටොන් 6200ක්, 809/5, මීගමුව පාර, මාබෝල, වත්තල Global Trading Company මෙට්ට්‍රික් ටොන් 4800ක්, 242, උස්වැටකෙයියාව, වත්තල, Global Trading Company මෙට්ට්‍රික් ටොන් 4100ක්, (ගබඩා සංකීර්ණ 04) Wilson Trading Company මෙට්ට්‍රික් ටොන්14,000ක් හා හුණුපිටිය පාර, කිරිබත්ගොඩ R.G. Stores මෙට්ට්‍රික් ටොන් 800ක් ලෙස මෙට්‍රික් ටොන් 29,900 ක් ඊයේ (1) රජයට පවරාගත් බව නිවුන්හැල්ල මහතා කියා සිටියේය

0 comment
0

Related Posts

Leave a Comment