Home කාලීන පුවත් සංවිධානාත්මක අපරාධකරුවන් මත්ද්‍රව්‍ය ජාවාරමුන් අල්ලන්න රට පුරා පැය 24 මෙහෙයුම්.

සංවිධානාත්මක අපරාධකරුවන් මත්ද්‍රව්‍ය ජාවාරමුන් අල්ලන්න රට පුරා පැය 24 මෙහෙයුම්.

by Hela news

සංවිධානාත්මක අපරාධ, මත්ද්‍රව්‍ය ජාවාරම සහ විවිධ විෂමාචාරයන්ට සම්බන්ධ පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමට පොලිස් විශේෂ කාර්යය බළකාය සමස්ත දිවයිනම ආවරණය කරමින් දෛනිකව 24 පැය පුරා ක්‍රියාත්මක විශේෂ මෙහෙයුමක් ආරම්භ කර ති⁣බේ.

පොලිස් විශේෂ කාර්යය බළකා බුද්ධි අංශය, පොලිස් බුද්ධි ඒකක, සෙසු ආරක්ෂක අංශ බුද්ධි සේවයන් දෙන බුද්ධි තොරතුරු සහ සාමාන්‍ය ජනතාව දෙන තොරතුරු මත මෙම මෙහෙයුම් ක්‍රියාත්මක වෙයි. විශේෂ කාර්යය බළකා කඳවුරු 72ක සහ උප කඳවුරු12ක විශේෂ අවි හා උපක්‍රම, යතුරුපැදි කණ්ඩායම් සහ පොලිස් විශේෂ කාර්යය බළකා කුඩා කණ්ඩායම්ගෙන් සමන්විත විශේෂ ඒකක මෙම මෙහෙයුම් සඳහා යොදවා තිබේ.

මෙම විශේෂ මෙහෙයුම් ඔස්සේ ප්‍රබල පාතාල කල්ලි සාමාජිකයන් සහ ආධාරකරුවන් අත්අඩංගුවට ගැනීමට ප්‍රමුඛතාවක් දී ඇති අතර දකුණු පළාත කේන්ද්‍රගතව පවතින සංවිධානාත්මක අපරාධ රැල්ල මැඬපැවැත්වීමේ මෙහෙයුම් යටතේ මීට සති කිහිපයකට පෙර ‘ආමි අමිල’ සහ ‘ගන්දර සමන්’ නැමැති සංවිධානාත්මක අපරාධකරුවන් තංගල්ල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත්තේය. පසුගිය වසරේ ජූනි මාසයේ සිට මේ දක්වා ගත වූ කාලය තුළ හෙරොයින් ජාවාරම සහ සන්තකයේ තබා ගැනීම මත සැකකරුවන් 1084ක්, ⁣ගංජා සහ කේරළ ගංජා සම්බන්ධ අත්අඩංගුවට ගැනීම් 112ක්, නීතිවිරෝධී දුම්වැටි සන්තකයේ තබා ගැනීම් සම්බන්ධව සැකකරුවන් 104ක් පොලිස් විශේෂ කාර්යය බළකාය අත්අඩංගුවට ගෙන ඇතැයි විශේෂ කාර්යය බළකා වැටලීම් දත්ත වාර්තාවන්හි සඳහන් වේ. සංවිධානාත්මක අපරාධ සහ මත්ද්‍රව්‍ය ජාවාරම තුරන් කිරීමේ රජයේ ප්‍රතිපත්තියට අනුව යමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, අගමැති මහින්ද රාජපක්ෂ, මහජන ආරක්ෂක ඇමැති රියර් අද්මිරාල් (විශ්‍රාමික) ආචාර්ය සරත් වීරසේකර, ආරක්ෂක ලේකම් (විශ්‍රාමික) ජෙනරාල් කමල් ගුණරත්න සහ පොලිස්පති සී.ඩී.වික්‍රමරත්න මහත්වරුන්ගේ උපදෙස් මත මෙම මෙහෙයුම් සිදුකරන බව පොලිස් විශේෂ කාර්යය බළකායේ අණදෙන නිලධාරි නියෝජ්‍ය පොලිස්පති නීතිඥ වරුණ ජයසුන්දර මහතා ‘දිනමිණ’ ට පැවැසීය.

0 comment
0

Related Posts

Leave a Comment