සංචාරක දොරටු නොවැසෙන තැනකට

0
189

රී ලංකාව යනු අන් රටවලට සාපේක්ෂව ස්වාභාවික සම්පත්වලින් අනූන රටකි. විශේෂයෙන්ම ආකර්ෂණීය ස්ථාන බොහෝමයකින් ගහණ වු රටකි. මේ නිසාම දීර්ඝ කාලයක සිටම ශ්‍රී ලංකාව සංචාරක පාරාදීසයක් බවට පත්ව තිබේ. සංචාරක කර්මාන්තයෙන් ශ්‍රී ලංකාවේ ආර්ථිකය වර්ධනයට ද සෘජුවම බලපා තිබේ. එසේ තිබියදී වසංගත තත්ත්වයක් හමුවේ සංචාරක ක්ෂේත්‍රය පරිහානියට පත් කර ගැනීම අභාග්‍යසම්පන්නය. දීර්ඝ කාලයක් වසා තැබුණු ගුවන්තොටුපළ ද විවෘත කර යළි සංචාරකයනට රට විවෘත වූයේ ද මේ නිසාම ය. ගුවන්තොටුපළ විවෘත කිරීමෙන් පසුව ලංකාවට පැමිණෙන සංචාරකයන් සහ දේශීය සංචාරක ක්ෂේත්‍රයේ නිලධාරීන් නව විනයකින් කටයුතු කිරීම අවශ්‍ය වේ. ඒ සඳහා විදෙස් රටවල සංචාරක ක්ෂේත්‍රය වැඩි දියුණු කර නඟාසිටුවීම සඳහා එම රටවල සංචාරක සංකල්ප ක්‍රියාත්මක වන ආකාරය අපට ද ආදර්ශයක් සපයාගත හැකි ය.

කොවිඩ් 19 වසංගත තත්ත්වයට පෙර පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය හේතුවෙන් ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය බිඳ වැටිණි. 2018 වර්ෂයට සාපේක්ෂව 2019දී ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය 17%-18% පමණ පිරිහීමේ තත්ත්වයක් දක්නට ලැබුණි. කොවිඩ් 19 වසංගත තත්ත්වය යටතේදී ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය මුළුමනින්ම පරිහානියට පත් විය. කොවිඩ් තත්ත්වය යටතේ අප රටේ සංචාරක කර්මාන්තයේ අඩුපාඩු මඟ හරවා ගෙන නව මුහුණුවරකින් ගොඩනැංවීමට සැලසුම් සකස් කළ යුතුය. මහා වැස්සක් වහින විට වහලයේ පවතින හිල් පෙනෙනවා සේ වසංගත තත්ත්වය තුළදී අප රටේ සංචාරක කර්මාන්තය තුළදී ඉස්මතු වුණු ගැටලු අවබෝධ කර ගෙන එම ගැටලු අවම කර ගැනීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කළ යුතුය. සංචාරක කර්මාන්තය දියුණු කිරීමේදී මෙහි පවතින අවිධිමත් අංශය විධිමත් කර ගුණාත්මකභාවයට පත් කිරීම අනිවාර්යයෙන් කළ යුතු වේ.

“සංචාරක බුබුළ’’ සහ “සංචාරක කොරිඩෝ’’

සංචාරක කර්මාන්තය යනු වැඩි වශයෙන් ලාභ ඉපයිය හැකි ප්‍රධානතම කර්මාන්ත ක්ෂේත්‍රයකි. කොවිඩ් – 19 දෙවැනි රැල්ල පවතින මේ වකවානුවේදී ගුවන්තොටුපළ විවෘත කළ පසු අවධානය යොමු කළ යුතු කරුණු කිහිපයකි. ගුවන් තොටුපළ විවෘත කිරීමෙන් පසුව රටට පැමිණෙන විදේශිකයන්ගෙන් පවතින වසංගතය තවදුරටත් ව්‍යාප්ත වීම සම්පූර්ණයෙන්ම වළක්වා ගත යුතුය. ඒ සඳහා අනෙක් රටවල අනුගමනය කළ පරිදි අවශ්‍ය පීසීආර් පරීක්ෂණ හෝ එන්නත් භාවිත කර තෝරා ගත් සංචාරකයෝ පමණක් රටට ගෙන්වනු ලබති. උදාහරණ වශයෙන් ඔස්ට්‍රේලියාව, නවසීලන්තය, මාලදිවයින යන රටවලට පැමිණෙන සංචාරකයන්ට පීසීආර් පරීක්ෂණ හෝ එන්නත් අනිවාර්ය කර තිබීම පෙන්වා දීමට පුළුවන. ඒ හේතුවෙන් වංසගත තත්ත්වයක් නැති සංචාරකයන් පමණක් රටට ඇතුළු වීම සිදු වේ.

නවතම ක්‍රම සහ විධි භාවිත කරමින් සංචාරකයන් තුළින් රටේ අනෙක් මිනිසුන්ට කිසිදු හානියක් නොවන පරිදි සංචාරක බුබුළක් (Tourism bubble) නිර්මාණය කිරීම වඩාත් වැදගත් වේ. මෙම ක්‍රමවේදය තුළදී ලංකාවට පැමිණෙන සංචාරකයන් බුබුළ තුළ පමණක් කටයුතු කරනු ලබයි. බුබුළෙන් පිට ඔවුන්ට කටයුතු කිරීමට ඉඩ නොලැබේ. උදාහරණ වශයෙන් අප රටට පැමිණෙන ක්‍රිකට් ක්‍රීඩකයන් සංචාරක බුබුල වැනි සංකල්ප යටතේ එක් සීමාවක පමණක් රඳවාගෙන කටයුතු කිරීම පෙන්වා දීමට පුළුවන.

පිළිගත් ආයතනයක් මඟින් සංචාරකයා ගෙන්වීම, සංචාරකයාව නිසි පිළිවෙළකට ගෙන්වීම, නැවතිය යුතු හෝටල් ප්‍රමාණයක් දක්වා තිබීම, එම හෝටල්වල දින කිහිපයක් නැවතීමට අත්‍යවශ්‍ය වීම, දෙවන පීසීආර් පරීක්ෂණයෙන් පසුව පමණක් අනෙකුත් ප්‍රදේශවලට යෑමට අවස්ථාව දීම නව සංචාරක සැලසුම් තුළ දැකගත හැකිය. සිංගප්පූරුව වැනි රටවල් ‘සංචාරක කොරිඩෝ’ සකස් කර ඇත. විදේශවලින් සංචාරකයන් ගෙන්වීමේදී ‘සංචාරක කොරිඩෝ’ සකස් කර ගැනීම ප්‍රතිඑලදායක තත්ත්වයකි. මෙම සංකල්පය මඟින් කොවිඩ් ව්‍යසනය අඩු රටවලින් සෘජුවම ලංකාවට සංචාරකයින් ගෙන්වීම කළ හැකිය. නවසීලන්තය, ඔස්ට්‍රේලියාව, මොංගෝලියාව, වියට්නාමය වැනි රටවල්වලින් සංචාරකයන් ගෙන්වීම උදාහරණ වශයෙන් පෙන්වා දීමට පුළුවන. ඒ අයුරින් ශ්‍රී ලංකාවට සංචාරකයන් ගෙන්විය යුත්තේ කුමන රටවලින් ද යන්න පිළිබඳව අවබෝධයෙන් යුතුව ක්‍රියා කළ යුතුය.

සංචාරකයන් පිනවීමට නවෝත්පාදන

ශ්‍රී ලංකාවට පැමිණෙන සංචාරකයන් ඔවුන් සතුටු වන අන්දමින් රඳවා තබා ගැනීමට වග බලා ගත යුතුය. ඒ සඳහා දැනට ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්‍රයේ පවතින අවිධිමත්, අසංවිධානාත්මක අංශ, සංචාරකයන් සූරාගෙන කන ගැටලුකාරී තත්ත්වයන් මුළුමනින්ම නැති කළ යුතු වේ. එසේ නොමැති වුව හොත් රටේ සංචාරක ක්ෂේත්‍රය තව තවත් පරිහානියට පත් වේ. අපගේ සාම්ප්‍රදායික සංචාරක ක්ෂේත්‍රය තුළදී ලංකාවට පැමිණෙන බොහෝ සංචාරකයෝ ලංකාවේ මුහුදු වෙරළට දැඩි කැමැත්තක් දක්වනු ලබති. ඒ නිසා මුහුදු වෙරළ ආශ්‍රිත ක්‍රියාකාරකම් වැඩි කළ යුතුය. වැඩි වියදමක් දරා හෝ වෙරළ ආශ්‍රීත සංචාරයන් සංඛ්‍යාව වැඩි කළ යුතු වේ.

අප රටේ කොතරම් ස්වාභාවික සම්පත්, ආකර්ෂණීය ස්ථාන යනාදී විභවතාවන් තිබුණ ද, එම විභවතාවන් ඇසුරෙන් සංචාරකයන් පිනවීමට අවශ්‍ය ක්‍රියාකාරකම් සකස් කිරීමට අවශ්‍ය නවෝත්පාදන සිදු කරන්නේ අවම වශයෙනි. අප නිරන්තරයෙන් දකින්නේ සංචාරකයන් මුහුදු වෙරළට පැමිණ හිරු එළියට නිරාවරණය වී සිටීම පමණි. එසේ නමුත් මුහුදු වෙරළ ආශ්‍රීතව සංචාරකයන්ට අවශ්‍ය බොහෝ ක්‍රියාකරකම් සකස් කිරීමට හැකියාව පවතී. උදාහරණ වශයෙන් සංචාරකයන් පිනවීම සඳහා තායිලන්තය, බාලි වැනි රටවල මුහුදු වෙරළ ආශ්‍රීත ක්‍රියාකාරකම් බොහොමයක් තිබීම පෙන්වා දීමට පුළුවන. එවැනි ක්‍රියාකාරකම් සකස් කිරීමෙන් සංචාරකයින් තුළින් රටට විශාල ආදායමක් ද ළඟා කර ගත හැකිය.

හෙළ වෙදකම සහ නවීන තාක්ෂණය

සංචාරක කර්මාන්තයට වැඩි වශයෙන් දේශීය නිෂ්පාදන ඈඳා ගැනීම ද වඩාත් වැදගත් වේ. විශේෂයෙන්ම අපගේ හෙළ වෙදකමේ ගුණාත්මකභාවය, කොවිඩ් -1 9 වසංගතය පාලනය කිරීම සඳහා ප්‍රතිශක්තීකරණයට අවශ්‍ය දේශීය ඖෂධ පිළිබඳව සංචාරකයන් දැනුවත් කළ යුතුය. උදාහරණ වශයෙන් කොත්තමල්ලි, කහ යනාදී දේශීය ඖෂධ වර්ගවලින් සකස් කරන ලද ආහාර පාන වර්ග සංචාරකයන්ට පිළිගැන්වීම පෙන්වා දීමට පුළුවන.

ශ්‍රී ලංකාවේ ආයුර්වේදයේ තිබෙන වටිනාකම, වසංගත තත්ත්වයන් ඒ මඟින් පාලනය කිරීමට හැකියාව පවතින බව පිළිබඳව ද සංචාරකයන්ට ඒත්තු ගැන්විය යුතුය. හෝටල් ඇතුළත ප්‍රතිශක්තිය වැඩි කරන පාන වර්ග සහ ආහාර ලබා දීමට කටයුතු කළ යුතුය. ලංකාවට පැමිණෙන සංචාරකයන් කොව්ඩ් – 19 වසංගතය පාලනය වන ආකාරයට සත්කාරයන් කිරීම සම්බන්ධව අපගේ සංචාරක කර්මාන්තයේ සේවකයින්ව දැනුවත් කිරීමේ වැඩමුළු, පුහුණු වැඩසටහන් ක්‍රියාත්මක කළ යුතු වේ. අපේ රට සංචාරය කිරීමට සුදුසු රටක්, අප රටට පැමිණීමට කිසිසේත්ම බිය විය යුතු නැහැ යන්න මුළු ලෝකයටම පෙන්වා දිය යුතු ය. ඒ සඳහා පාසල්, විශ්වවිද්‍යාල ඇතුළු රජයේ, පෞද්ගලික සෑම ආයතනයක්ම එකට එකතු වී වැඩසටහන් ක්‍රියාත්මක කළ යුතුය. ලංකාවට පැමිණෙන සංචාරකයන්ව ආරක්ෂා කර ගැනීම සඳහා සෑම පුද්ගලයකුම එක රටක් වශයෙන් සිතා කටයුතු කළ යුතුය.

එමෙන්ම අප රටේ සංචාරක ක්ෂේත්‍රය රැක ගැනීම සඳහා ජනතාව, සේවකයන්, ව්‍යවසායකයන් කළ යුතු වගකීම්, යුතුකම් මොනවාද යන්න පිළිබඳව දැනුවත් කිරීම් කළ යුතුය. රටට පැමිණෙන සංචාරකයන්ට අවශ්‍ය සෞඛ්‍ය පහසුකම්, යටිතල පහසුකම් පිළිබඳව නිසි අවධානයෙන් යුතුව සොයා බලා ඒවායේ පවතින අවිධිමත් දෑ විධිමත් කිරීම සඳහා උපක්‍රම සකස් කළ යුතුය. ගුවන් තොටුපළේ සිට සංචාරකයන් ගැවසෙන ස්ථාන, සංචාරකයන්ට ජනතාව මුණ ගැසෙන ස්ථාන, යනාදී දෑ නවීන තාක්ෂණය උපයෝගි කර ගනිමින් සංචරකයන්ගේ හැසිරීම් රටා හඳුනා ගැනීමේ ක්‍රමවේදයක් සකස් කළ යුතුය. අලුතෙන් පැමිණෙන සංචාරකයන්ගේ ගති ලක්ෂණ, සංචාරක කටයුතුවලට තිබෙන ඉල්ලීම් ප්‍රවණතා සහ සංචාරකයන්ගේ අවශ්‍යතා පිළිබඳව දෙස් විදෙස් විශ්වවිද්‍යාල සම්බන්ධ කර ගනිමින් පර්යේෂණ (university research) කිරීම වඩාත් යෝග්‍ය වේ. දැනටත් විදේශ රටවල් බොහොමයක් මෙවැනි පරීක්ෂණ මඟින් නව සංචාරකයන්ගේ කැමැත්ත, අකමැත්ත පිළිබඳව සොයා, ඒ අනුව කටයුතු කරනු ලබයි.

රජය ගත යුතු ක්‍රියාමාර්ග

කොවිඩ් වසංගත තත්ත්වයෙන් පසුව සංචාරකයන් කොන් නොකර ඔවුන්ව ආදරයෙන් පිළිගෙන සත්කාර කරන පිරිසක් සහ සංචාරකයන්ට බිය වී ඔවුන් කොන් කරන පිරිසක් ද සිටිති. එම පිරිස් ද්විත්වයේ තිබෙන අවිධිමත් තත්ත්වයන් විධිමත් කර නිසි අයුරින් සංචාරකයන් පිළිගෙන, කොන් නොකර ආගන්තුක සත්කාර සිදු කිරීමට සංචාරක ක්ෂේත්‍රයේ සේවකයන්ට උපදෙස් දිය යුතුය. “ශ්‍රී ලංකාව විශිෂ්ට රටක්. විධිමත් සංචාරක ක්ෂේත්‍රයක් තිබෙන රටක්. ආයෝජකයන්ට කිසිසේත් බිය විය යුතු නැහැ යන්න දී ශ්‍රී ලංකාවට ආයෝජනය කිරීමට කැමැත්තක් දක්වන ආයෝජකයන්ට අවබෝධ කර දිය යුතුය. නව විනයක්, නව සංස්කෘතියක්, නව ජවයක්, අපගේ සංචාරක ක්ෂේත්‍රයට ඇතුළත් කිරීම අනිවාර්යයෙන්ම සිදු කළ යුතුය.

ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කර වැඩි දියුණු කිරීම සඳහා ලංකාවට සංචාරකයින් පැමිණෙන්නේ ඇයි? ඔවුන් බලාපොරොත්තු වන්නේ මොනවා ද? ඒ දේවල් දැනට ලංකාවේ තිබෙනවා ද? ඒ දේවල් නොමැති නම් ඒ දේවල් සපයා දීම සඳහා සිදු කරන්නේ කුමක් ද? යන්න පිළිබඳව රජය දැඩි අවධානයෙන් කටයුතු කළ යුතුය. එසේ සිදු කළ හොත් කොවිඩ් – 19 පමණක් නොව කුමන බාධක පැමිණිය ද ලංකාවේ සංචාරක ක්ෂේත්‍රයේ ඉදිරි ගමන පිළිබඳව බිය විය යුතු නැත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here