Home කාලීන පුවත් ශ්‍රී ලංකා දේශපාලන ඉතිහාසයේ බණ්ඩාරනායක සලකුණ

ශ්‍රී ලංකා දේශපාලන ඉතිහාසයේ බණ්ඩාරනායක සලකුණ

by Hela news

ශ්‍රී ලංකා දේශපාලන ඉතිහාසයට සැබෑ ප්‍රජාතන්ත්‍රවාදය, න්‍යායෙන් මෙන්ම භාවිතයෙන් ද හඳුන්වා දුන්නේ බණ්ඩාරනායක මහතා බව කිසිදු පැකිලීමකින් තොරව ප්‍රකාශ කළ හැකි ය. එයට කෘතගූණ දැක්වීම වස් එතුමන්ගේ 62 වන ගුණානුස්මරණය වෙනුවෙන් බණ්ඩාරනායක ප්‍රතිපත්තියේ අතීත මතකයන් ආවර්ජනය කෙරෙන මේ ලිපිය උපහාර වේවායි සිතමි.

1925, මාර්තු මස 25 වැනි දින අත්තනගල්ල කළගෙඩිහේන දී පැවැත්වූ, එතුමාගේ මුල්ම ජන හමුව අමතමින් බණ්ඩාරනායක මහතා ජනතාවාදී දේශපාලනයට අවතීර්ණ වූයේ මෙසේ ප්‍රකාශ කරමිනි.

‘තමුන්නාන්සේලා අතර යම් ස්ථානයක් දෛවය විසින් මා වෙනුවෙන් නිර්මාණය කර ඇත්නම් මා එතැන සිටින්නේ තමුන්නාන්සේලාගේ නායකයා හැටියට නොව සේවකයා හැටියටයි. තමුන්නාන්සේලා අපේක්ෂා කරන ඉලක්කය කරා ළඟාවීමට ඉතා සුළු වශයෙන් හෝ සේවයක් කිරීමට මට ඉදිරියේ දී හැකි වුවහොත් සත්තකින්ම මට සැනසිල්ලේ මිය යා හැකි ය.’ යනුවෙන් සඳහන් කළේ ය.

රටක පාලකයකු වීමට අවශ්‍ය මූලික ගුණාංගය වන්නේ තමන් උපන් බිමට ආදරය කිරීමයි. උපන් බිමට ආදරය කිරීම යනු එහි ගහට කොළට සතා සීපාවුන්ට පමණක් නොව, මිනිසාට ද ආදරය කිරීමයි. අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ දේවානම්පියතිස්ස මහ රජුට ඉගැන්වූ මුල්ම දේශපාලන පාඩම වූයේ ද මහරජ, ඔබ රටේ අයිතිකාරයා නොව භාරකරුවා පමණක් බවයි. භාරකරුවකුට පැවරෙන්නේ සියල්ල ආදරයෙන් රැක බලාගෙන ආපසු අයිතිකරුවන්ට භාරදීමයි. බණ්ඩාරනායක මැතිතුමා කළේ නිදහස සහ අයිතිය අහිමි වූ ජාතියකට නිදහසත්, අයිතියත්, අධිරාජ්‍යවාදීන් විසින් කෙල්ලකා ගැනීම නිසා ජාතියට අහිමි වූ උපන් බිමත් සුරක්‍ෂා කොට නැවත ජාතියට දීමයි.

පළමුවත් රට, දෙවනුවත්, තෙවනුවත් මට වටින්නේ මගේ රට යැයි නොකීවත්, තරුණ අවධියේ සිටම බණ්ඩාරනායක මහතාට පළමුවැන්න වූයේ රට ය. වරක් මහ මුදලිතුමන් කුඩා බණ්ඩාරනායක කැටුව එවක ලංකාණ්ඩුකාර ධුරන්දර රොබට් චාර්මස් මහතා හමුවට ගියේ තම පුතු ලන්ඩන් සීනියර් විභාගයෙන් තුන්වැන්නා ලෙස සමත්වීමේ සතුට දන්වනු පිණිසය. එහිදී තම පුතු තමන් මෙන්ම මහමුදලි කෙනකුන් කිරීමට සිතා සිටින්නේ දැයි ආණ්ඩුකාරතුමන් ඇසූ පැනයට පියාටත් කලින් උත්තර දුන්නේ නෑ, මම මගේ රටට සේවය කිරීමට සිතා සිටින බව පවසමිනි. එය එලෙසින් ම ඉටු කළ ජනතාවාදී පාලකයකු වූ බණ්ඩාරනායක අනුස්මරණය කළ යුත්තේ එනිසා ය.

පාලකයකුගේ වියොවින් රටම හඬා වැළපුණේ නම් ඒ 1959 සැප්තැම්බර් මස 26 වැනි දින අගමැති බණ්ඩාරනායකගේ ඝාතනය කණ වැකුණු මොහොතේ ය. ලොව ප්‍රථම අගමැතිනිය වී අගමැති බණ්ඩාරනායකටත් වඩා දිගු කලක් රටට සේවය කළ සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ අභාවය පිළිබඳවවත් ඒ හා සමාන සංවේගයක් රටවැසියන් තුළ දක්නට නොලැබුණි. බණ්ඩාරනායක අගමැතිවරයාගේ වියෝව පක්‍ෂ පාට භේදයකින් තොරව රටේ අතිබහුතරයකගේ නෙතට කඳුළක් එක් කළේ ඇයි ද යන්න මේ නිසා ම විමසිය යුතුය.

දුක් උපදවන්නේ කුමක් නිසා දැයි විමසූ භද්‍රක ගාමිණීට බුදුන් වහන්සේ වදාළේ මමය මාගේය කියා අල්ලා ගැනීම හෙවත් ඇලීම නිසා දුක උපදින බවයි. පොඩි මිනිහාට ලොවක් දිනා දුන් බණ්ඩාරනායක ශ්‍රීමතාණන් පිළිබඳ මේ රටේ ජනතාව තුළ තිබු ආදරය නිසා බණ්ඩාරනායක මැතිතුමාගේ ඝාතනය නිසා රටම ශෝකාකූල වී නම්, දුප්පතාගේ හිතවතා වූ ප්‍රේමදාස ජනාධිපතිවරයාගේ ඝාතනයේදී ද රටම හඬා වැලපිය යුතු ව තිබුණි. එහෙත් එය එසේ නොවුණි. ජයවර්ධන ජනාධිපතිවරයාගේ අභාවය ද මතකයේ ගෑවී නොගෑවී ගිය සේයාවක් වූවා පමණි. මෙයින් පැහැදිලි වන්නේ පාලකයකු කෙරෙහි ඇති වන ලැදියාව, බැඳියාව පෝෂණය වන්නේ මානවවාදී බැඳීම්වලින් බවයි. පවුලකට උරුමයෙන් ලද දේපළ, ඉඩකඩම් විකූණාකමින් ජීවත් වූ බේබදු පියකු මළ පසු දූ දරුවන් හඬා වැලපෙන්නේ නැතුවාක් මෙන් රටට ද්‍රෝහී වූ පාලකයන් මියෑදුන විටෙක රට වැසියන්ට කවර නම් ශෝකයක් ඇතිවේද?

අගමැතිවරයකු ලෙසින් බණ්ඩාරනායක මැතිතුමාගේ දේශපාලන ජීවිතය කෙටි නමුත් රට, ජාතිය හා ආගම වෙනුවෙන් සුවිසල් සේවයක් ඉටු කළ එතෙක් පහළ වූ ශ්‍රේෂ්ඨතම මානවවාදී පාලකයා වූයේ බණ්ඩාරනායක මැතිතුමාය. සුද්දන්ගේ ධවල නීතිය විසින් පනවා තිබූ මරණ දඬුවම ලිහිල් කිරීම, සාමාන්‍ය ජනතාවට තම දුක් ගැනවිලි ඉදිරිපත් කිරීමට සහ උගත් දෙයින් රටට සේවය කිරීමට තුළින් පවා මතු වූයේ එතුමන්ගේ මානව දයාවයි.

තමන් උපන් පවුල් පසුබිම සහ සංස්කෘතික යන සියලු බැඳීම්වලින් ගැලවී විත් අත්තනගල්ල මහ වෙහෙරේදී බුදු දහම වැළඳගෙන, ඉංගිරිසි පන්නයේ බැරිස්ටර් ඇඳුම ගසෙක එල්ලා, ආර්ය සිංහල ඇඳුමින් සැරසී සිංහලෙන් ජනතාව ඇමතීම දේශීයත්වයට නව පණක් දුන් කරුණක් විය. සිංහල පමණක් රාජ්‍ය භාෂාව කිරීමේ පනත වාමාංශික දේශපාලන පක්‍ෂවල විවේචනයට ලක් වුවත්, සීමා මායිම් සහිත එක් රටකට එක් රාජ්‍ය භාෂාවක් සහ බහුතරය අදහන එක් ආගමක් තිබීම සෛවරී ජාතික රාජ්‍යයක අත්‍යවශ්‍ය අංග වන බව එතුමා දත් දේශපාලනය විය. ඒ රටේ බහුතරයකගේ භාෂාව වූ සිංහලය රාජ්‍ය භාෂාව බවට නීතිගත කළේ ය. බුද්ධාගම රාජ්‍යාගම කළේය. බෞද්ධ විශ්ව කෝෂය හා සිංහල ශබ්දකෝෂය සම්පාදනය කිරීම, අනුරාධපුරය පූජනීය නගරයක් කිරීම, එවක පැවති මහා පිරිවෙන් දෙක වූ විද්‍යෝදය සහ විද්‍යාලංකාර විශ්වවිද්‍යාල තත්ත්වයට උසස් කිරීම එතුමන්ගේ ශාසනික සහ අධ්‍යාපනික සේවාවන් අතර ප්‍රමුඛ විය.

බණ්ඩාරනායක පිළිවෙත් පිළිබඳ අද කුමන විවේචන තිබුණත්, එතුමන්ගේ චින්තනය සැකසී තිබුණේ නිදහස් නිවහල් ජාතික රාජ්‍යයක් නිර්මාණය කිරීමේ අධිෂ්ඨානය මතය. දෙවන ලෝක යුද්ධයෙන් පසුව යටත් විජිත ලෙසින් අධිරාජ්‍යවාදීන්ගේ සූරාකෑමට ගොදුරු වූ රටවල ඒකායන පරමාර්ථය වූයේ ද එයයි. නාමික නිදහසට වඩා ඔබ්බට ගිය නිදහසක් අපේක්‍ෂා කළ මෙරට දේශපාලකයන් අතර බණ්ඩාරනායක මැතිතුමා පෙරමුණේ ම සිටියේ ය. ඔක්ස්පර්ඩ් සරසවියේ අධ්‍යාපනය ලබන සමයේදීම අධිරාජ්‍යවාදයේ කුරිරුකම පිළිකුල් කළ ආසියාතික සිසුන් අතර බණ්ඩාරනායක ද සිටියේ ය. ඒ වන විට රටේ මුළු ජනගහණයෙන් 80%කට වඩා වැඩි වූ සිංහල බෞද්ධ ජනතාව, යටත් විජිත පාලකයන්ගේ පීඩනයට හා කොන් කර තැබීමේ පිළිවෙතට ගොදුරු වී සිටි බව තරුණ බණ්ඩාරනායකට වැටහී තිබුණි.

1935 සිංහල මහ සභාව ආරම්භ කළේ ද යටත් විජිත පාලකයන්ගේ සූරාකෑම නිසා කායික හා මානසික වශයෙන් පීඩාවට පත් කොට සියලු අයිතීන්ගෙන් නොසලකා හැර සිටි සිංහල ජාතිය, නිවහල් නිදහස් ජාතියක් බවට පත් කිරීම පිළිබඳ එතුමා තුළ තිබූ අධිෂ්ඨානය නිසාම ය. ග්‍රාම සංවර්ධන සමිති, ප්‍රජා මණ්ඩල ඇති කරමින් ඒ සෑම ප්‍රජා මණ්ඩලයකටම ගුවන් විදුලිය බැගින් දෙමින් ජනතාව දැනුම්වත් කිරීමේ මහඟු කටයුත්තට ද අතගැසූ එතුමන් ගම් සභා ක්‍රමයට පණ දෙමින් ජනතාවගේ දේශපාලන අයිතියට ප්‍රායෝගික බවක් ද ලබා දුනි.

එතුමන්ගේ පරමාදර්ශය වූයේ මිනිසාගේ පරම යුතුකම මිනිසාට සේවය කිරීම බවයි. ජනතා නියෝජිතයකු ලෙසින් ජනතාවට සේවය කිරීමට වැටුප් ගන්නේ කුමකට දැයි ඇසූ එතුමන් 1931 මන්ත්‍රීවරුන්ට වැටුපක් දීමට ඩී. බී. ජයතිලක වැන්නන් යෝජනා කළ විට බණ්ඩාරනායක මැතිතුමා කීවේ මන්ත්‍රීවරයකු කුලීකාරයකූ ලෙසින් කුලියක් බලාගෙන වැඩ නොකළ යුතු බවයි.

එසේම බණ්ඩාරනායක අගමැතිතුමා, ජාතිවාදියකු ලෙසින් හඳුන්වා දීමට උත්සාහ ගන්නා වර්ගවාදී සහ උග්‍ර වාමවාදීන්ගේ විවේචනයට දිය හැකි එකම පිළිතුර වන්නේ එතුමා ජාතිවාදියකු නොව, මානව වාදියකු යන්න පමණි. ඒ බව ඔප්පු කිරීමට ඇති ප්‍රබල සාක්ෂිය වන්නේ 1957 නොවැම්බර් මස 08 වැනි දින පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පැවැත් වූ උපාධි ප්‍රදානෝත්ස්වයේ ආරාධිත දේශනය පවත්වමින් එතුමන් කළ කථාවය.

‘අප හැම දෙනාම මනුෂ්‍යයන් සේ සලකන්න ඕනෑ. අපේ ජාතිය, අපේ ආගම, අපේ දර්ශනය කූමක් හෝ වේවා අපි හැම දෙනාම එකා මෙන් සැලකීමේ සහෝදර හැඟීම අපේ හදවත්වල තහවුරු වෙන්න ඕනෑ. අද මුළු විශ්වයම එකට ඈඳිලා තියෙනවා. අපි කැමති වුණත් නැතත් අපි හැමෝම එකට ජීවත් වෙන්න ඕනෑ. එහෙම නැති වුණොත් අපි හැම දෙනාටම එකට මිය යන්නට සිදු වෙනවා.’

ඩී.ඇස්ලා, ඩඩ්ලිලා, කොතලාවලලා සහ දහනායකලා මෙන්ම බණ්ඩාරනායකලා ද දේශපාලනයෙන් හම්බ කළේ නැත. වත්මන් දේශපාලකයන් ජනතාවගෙන් මංකොල්ල කන ධනයෙන් එතෙර මෙතෙර නිවාස, දේපළ සහ වත්කම් තර කර ගනිද්දී එදා බණ්ඩාරනායකලා කළේ තමන් සතු දෑ පවා ජනසතු කිරීමයි. එවන් පරමාදර්ශයන් රටට දායාද කරමින් බණ්ඩාරනායකලා විසින් තැනූ පක්‍ෂය බදා ගත් නායකයන් පවා තමන්ගේ මඬි තර කර ගන්නා දේශපාලනයක නිරතව සිටිනවා දැකීම කනගාටුවට කරුණකි.

බණ්ඩාරනායක මැතිතුමාගේ පාලන කාලය ඉතා කෙටි වූ නමුත් සමාජ, ආර්ථික හා දේශපාලන යන සෑම ක්‍ෂෙත්‍රයකින්ම එතෙක් නොසලකා හැර සිටි පොඩි මිනිසුන්ගේ නිදහස සහ අයිතිය තහවුරු කිරීමට කටයුතු කර තිබුණි. යටත් විජිත පාලනය නිසා වල් බිහිව තිබූ දේශීය ආර්ථිකය නැවත පණ ගැන්වීම් වස් ගාන්ධිතුමාගේ ප්‍රතිපත්ති අනුගමනය කළ බණ්ඩාරනායක මැතිතුමා දේශීය නිෂ්පාදන හා සේවා කටයුතු සඳහා පොඩි මිනිසා දිරි ගැන් වූ ආකාරය සදා අනුස්මරණීය නොවේද?

ජනසතුව බණ්ඩාරනායක දෙපළගේ පිළිවෙත විය. එහෙත් කනගාටුවට කරුණ වූයේ පෞද්ගලීකරණය නමින් ජාතික ධනය විකුණා කෑමටත්, ජනතාවට සේවය කරනවා වෙනුවට තම තමන්ට සේවය කිරීමට දේශපාලන බලය යොදා ගැනීමයි. අගමැති බණ්ඩාරනායක ගුවන්, නාවුක සහ ප්‍රවාහන සේවා ජනසතු කොට දේශීය රැකියා වෙළෙඳපොළ පුළුල් කළේය. එතෙක් ඉඩම් හිමියාගේ සූරාකෑමට ලක්ව සිටි ගොවියාගේ රැකවරණය වෙනුවෙන් අගමැතිතුමන්ගේ උපදෙස් මත, කෘෂිකර්ම ඇමැති සී. පී. ද සිල්වා මැතිතුමා 1958 දී ඉදිරිපත් කළ කුඹුරු පනත වහල්භාවයේ සිටි සමාජ ස්ථරයක නිදහස පූරණය කිරීමක් මෙන්ම ආර්ථික සංවර්ධනයට ගොවියා උනන්දු කරවීමක් ද විය. දේශපාලන නිදහස අර්ථවත් කිරීම් වස් ආර්ථික නිදහසේ ඇති වැදගත්කම වටහාගත් මැතිනිය බණ්ඩාරනායක පිළිවෙත් ඉදිරියට ගෙන යමින් රන්පවුම් වතු ජනසතු කිරීමට කටයුතු කළා ය. ඒ මඟින් විදේශ සමාගම් විසින් කොල්ලකා ගත් විදේශ විනිමය රටේ ජාතික ආදායමට එකතු කරගැනීමේ බලාපොරොත්තුව එතුමිය සතු වූවාය.

නිදහස් රටක් ලෙස ශ්‍රී ලංකාවේ විදෙස් පිළිවෙත නොබැඳි වූවක් විය යුතු බව මුලින්ම හඳුනා ගත්තේ බණ්ඩාරනායක මැතිතුමාය. එක් කඳවුරක පමණක් එල්ලී සිටීමෙන් ඒ කඳවුර තුළ ඇතිවන්නා වූ අර්බුදයකදී අතරමං වීමේ අවධානම වටහා ගත් බණ්ඩාරනායක මැතිතුමා එතෙක් පාලකයන් අනුගමනය කළ බටහිරට නැඹුරු විදේශ පිළිවෙත වෙනුවට බල කඳවුරුවාදයෙන් මිදුණු නොබැඳි පිළිවෙතක් හඳුන්වා දුන්නේ ය. ඒ අනුව එතෙක් අතහැර දමා තිබූ කොමියුනිස්ට් රාජ්‍යයන් සමඟ තානාපති සබඳතා ආරම්භ කරමින් ඔවුන්ගේ සහාය ජාතික සංවර්ධනයට යොදා ගැනීමට සමත් විය. එතුමා ජාතියේ මෙන්ම අන්තර්ජාතික ප්‍රජාවගේ නිදහස ද එක සේම අගය කළා පමණක් නොව ඒ වෙනුවෙන් පෙනී සිටියේ ය. ඉන්දුනීසියාවට නිදහස දෙන ලෙස ලෝක මතයක් දිල්ලි සමුළුවක දී ඉදිරිපත් කළේ ය. අන්තර්ජාතික දේශපාලනය තුළ දුබලයන් තනි කිරීම ස්වෛරී රටකට කළ නොහැක්කක් සේ සලකා 1956 දී ඇති වූ සූවස් අර්බුදයේදී සූවස් ඇළේ අයිතිය ඊජිප්තුව සතු බව කී අගමැති බණ්ඩාරනායක ඊජිප්තු නායක ගමාල් අබ්දුල් නසාර් ජනාධිපතිවරයාගේ අයිතිය වෙනුවෙන් පෙනී සිටියේ ය. එය අරාබි රටවල ප්‍රසාදයට ද හේතු විය. මෙවන් නායකයෝ ජාතියකට වාසනාවකි.

0 comment
0

Related Posts

Leave a Comment