Home ක්‍රීඩා පුවත් ශ්‍රී ලංකා – කොදෙව් තරගයේ ප්‍රධාන විනිසුරුට අනාචාරයේ යෑමේ වරදට තහනමක්

ශ්‍රී ලංකා – කොදෙව් තරගයේ ප්‍රධාන විනිසුරුට අනාචාරයේ යෑමේ වරදට තහනමක්

by Hela news

ශ්‍රී ලංකාව හා බටහිර ඉන්දීය කොදෙව් අතර, ඊයේ අබුඩාබිහිදී පැවැති ක්‍රිකට් තරගයේ විනිසුරු ලෙස කටයුතු කිරීමට නම් කොට සිටි එංගලන්ත ජාතික ක්‍රිකට් විනිසුරු මයිකල් ගෆ් මහතාට විස්සයි20 ලෝක කුසලාන තරගාවලියේ ඉතිරි තරග සියල්ල තහනම් කරයි. ඔහු හොර රහසේම නවාතැන් ගෙන සිටි හෝටලයෙන් පිටතට ගොස් ජෛව බුබුළ කඩා කොරෝනා නීති උල්ලංඝනය කළ බවට වරදකරු කරමින් අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය මේ දඬුවම පනවා තිබේ.

41 හැවිරිදි ඔහු මෙයට දින කිහිපයකට පෙර තාවකාලිකව ඉවත් කොට ඒ වෙනුවට දකුණු අප්‍රිකාවේ මොරයිස් එරැස්මස් පත් කළ අතර, අනතුරුව සිදු කළ පරීක්ෂණයකදී වැරදිකරු බවට නම් කළේය. ඒ සමඟම විස්සයි20 ලෝක කුසලාන තරගාවලියේ ඉදිරි තරග සඳහා විනිසුරු මයිකල් ගෆ් මහතා පත් නොකරන බව අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය තහවුරු කළේය.

විස්සයි20 ලෝක කුසලාන තරගාවලියේ ක්‍රීඩකයන්ට සහ තරග නිලධාරීන්ට ඔවුන් නවාතැන්ගෙන සිටින හෝටලයෙන් පිටතට ගොස් පුද්ගලයන් සමඟ මිශ්‍ර වීමට ඉඩ කිසිදු ඉඩක් නැති අතර, එවැනි අවස්ථා වාර්තා වුව හොත් දඬුවම් පැනවීමට පියවර ගැනේ.

විස්සයි20 ලෝක කුසලාන තරගාවලියට පෙර පැවති පුහුණු අදියරේදී තරග දෙකක්, පළමු වටයේ තරග දෙකක් සහ සුපිරි 12 තරග 8කදී විනිසුරු මයිකල් ගෆ් මහතා කටයුතු කළේය. ඊයේ පැවැති ශ්‍රී ලංකා – බටහිර ඉන්දීය කොදෙව් තරගයට අමතරව

ඔහුගේ නාමය ඉදිරියේ අබුඩාබිහිදී පැවැත්වෙන ඔස්ට්‍රේලියාව හා බටහිර ඉන්දීය කොදෙව් තරගය, ඇෆ්ගනිස්ථානය හා නවසීලන්තය අතර තරගය සටහන්ව තිබිණි.

මයිකල් ගෆ් මහතා 2010 සිට වසර අටක් පුරාවට එංගලන්ත ක්‍රිකට් පාලක මණ්ඩල සම්මාන රාත්‍රියේදී වසරේ විනිසුරුවරයා ලෙස ගෞරවයට පාත්‍ර විය. ඔහු ඉන්දියාව හා නවසීලන්තය අතර, පැවැති අයිසීසී ටෙස්ට් ශූරතාවලියේ අවසන් තරගයේදී පිටියේ විනිසුරුවන්ගෙන් කෙනෙකි.

ටෙස්ට් තරග 32කදී පිටියේ විනිසුරු ලෙස තරග 22ක් හා රුපවාහිනී විනිසුරු ලෙස තරග 10ක් කටයුතු කළ ගෆ් මහතා අන්තර්ජාතික එක්දින තරග 95කදී පිටියේ විනිසුරු ලෙස තරග 65කදී හා රුපවාහිනී විනිසුරු ලෙස තරග 30කදී ක්‍රියා කර ඇත. විස්සයි20 තරග 25කදී පිටියේ විනිසුරු ලෙස තරග 17ක් හා රූපවාහිනී විනිසුරු ලෙස තරග 8කදී ඒ මහතා කටයුතු කළේය.

එංගලන්ත ‘ඒ’ ක්‍රිකට් පිලට හා ඩර්හෑම් ප්‍රාන්ත ක්‍රිකට් පිලට ක්‍රීඩා කළ ඔහු 2002 වසරේදී එංගලන්ත 19න් පහළ කණ්ඩායමේ නායකත්වය ඉසිලීය. ඔහු පළමු පෙළ තරග 67කට ක්‍රීඩා කළ දක්ෂ ක්‍රීඩකයෙක් ද විය.

0 comment
0

Related Posts

Leave a Comment