Home ක්‍රීඩා පුවත් ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ අනාගතය ගැන විචාරක ඉයන් බිෂොප්ගෙන් අනාවැකියක්

ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ අනාගතය ගැන විචාරක ඉයන් බිෂොප්ගෙන් අනාවැකියක්

by Hela news

ශ්‍රී ලංකා පිල ඉදිරියේදී ලොව පෙරැළිකාර ක්‍රිකට් කණ්ඩායම වනු ඇතැයි විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ රුපවාහිනී විස්තර විචාරක බටහිර ඉන්දීය කොදෙව් ජාතික ඉයන් බිෂොප් මහතා පවසයි. ශ්‍රී ලංකා පිල ගොඩනැගීමට අවශ්‍ය සම්පත් මේ වන විට උපරිම අයුරින් ඇති අතර, අවශ්‍ය වන්නේ ඔවුන්ට නිවැරදි මග පෙන්වීම පමණක් බව ඉයන් බිෂොප් මහතා පැවැසීය. විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ විස්තර විචාරය අතරතුරදී ‘දිනමිණ’ සමග විශේෂ කතාබහකට එක්වෙමින් ඉයන් බිෂොප් මහතා මේ බව පැවැසීය.

“ගොඩාක් දුර යන්න පුළුවන් ක්‍රීඩකයන් ශ්‍රී ලංකාව සතුව සිටිනවා. හොඳ දක්ෂතා දක්වන පන්දු යවන්නන් ලෙස වනිඳු හසරංග, මහේෂ් තීක්ෂණ ඉදිරියෙන් සිටිනවා. දුෂ්මන්ත චමීර ඇතුළු වේග පන්දු යවන්නන් සැලකිය යුතු දක්ෂතාවක් පෙන්නුම් කළා. චරිත් අසලංක හා පැතුම් නිශ්ශංක වගේ පිතිකරුවන් වෙනත් කණ්ඩායම්වල නෑ. ඔවුන් ඉතා හොඳින් රැක බලාගත යුතුයි”

“පසුගිය කාලයේ ශ්‍රී ලංකා පිල දුර්වල තත්ත්වයක සිටි බව කවුරුත් පිළිගන්නා දෙයක්. නමුත් මාසයක් දෙකක් ඇතුළත ඔවුන් වේගයෙන් ඉදිරියට පැමිණි ආකාරය දිහා සියළු දෙනා හැරී බැලිය යුතුයි. බලන්න ඔවුන් ක්‍රීඩා කළ අවසන් තරග දෙක. එංගලන්තයට හොඳ සටනක් දුන්නා. කොදෙව් පිල පරාජයට පත් කළා. අවසන් තරගයේදී වෙනදාටත් වඩා හොඳ සැලසුමකින් ක්‍රීඩා කළා. කොදෙව් පිලේ වැරදි අඩුපාඩු තරගයට කළින් ඔවුන් දැනගෙන අවශ්‍ය උත්තරය දුන්නා. ඒක ක්‍රිකට් තරගයක් ජය ගන්න අවශ්‍යම දෙයක්. තරගයට කලින් ඉඳලා ප්‍රතිවාදියාට එරෙහි සැලසුම වැදගත්. ශ්‍රී ලංකා පිල ඒ දේ හරියට ම කළා.” ක්‍රිකට් විචාරක ඉයන් බිෂොප් මහතා පෙන්වා දුන්නේය.

“මගේ අදහස නම් ශ්‍රී ලංකා පිල ඉදිරියට ගන්න පුළුවන් පහසුම කණ්ඩායමක්. වයස අතින්, දක්ෂතා අතින් ඔවුන්ට ඉණිමගේ ඉහළටම නගින්න කාලය තියෙනවා. අනාගතයේදී මේ කණ්ඩායම ලෝකයේ අනෙකුත් කණ්ඩායම්වලට අභියෝගාත්මක ක්‍රිකට් කණ්ඩායම වන බවට අනාවැකියක් කියන්න පුළුවන්” බිෂොප් මහතා පැවැසීය.

රුපවාහිනී විස්තර විචාරක ඉයන් බිෂොප් මහතා බටහිර ඉන්දීය කොදෙව් පිලට 1988දී එක් වී වේග පන්දුවෙන් ක්‍රිකට් ලොව සලිත කල ක්‍රීඩකයෙකි. ටෙස්ට් තරග 43කදී කඩුලු 161ක් බිඳ හෙළු ඔහු එක්දින අන්තර්ජාතික තරග 84කදී කඩුලු 118ක් ලබා ගත්තේය. වේග පන්දුව තියුණු චලනයකට ලක්කළ හෙතෙ‍ම 1998 මාර්තු මාසයේදී එංගලන්තයට එරෙහිව සිය අවසන් ටෙස්ට් ක්‍රීඩා කළේය. එතැන් සිට ඔහු සාර්ථක වෘත්තීය ජීවිතයක් ගත කරමින් රූපවාහිනී විචාරකයකු ලෙස කටයුතු කරමින් සිටී.

0 comment
0

Related Posts

Leave a Comment