Home ක්‍රීඩා පුවත් ශ්‍රී ලංකා ක්‍රිකට් උපදේශක තනතුර යළිත් මහේල ජයවර්ධනට

ශ්‍රී ලංකා ක්‍රිකට් උපදේශක තනතුර යළිත් මහේල ජයවර්ධනට

by Hela news

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ උපදේශක ලෙස මහේල ජයවර්ධන මහතා තවදුරටත් පත් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කටයුතු කරයි. ශ්‍රී ලංකා ක්‍රිකට් පුරාවෘත්තයක් ලෙස සැලකෙන මහේල ජයවර්ධන මහතා විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පළමු වටයේදී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ උපදේශක ලෙස දින 7ක සේවයක් දීමට පමණක් එම තනතුර භාර ගත්තේය. එහෙත් පවතින තත්ත්වය අනුව ලබන ලෝක කුසලානය දක්වා ජාතික ක්‍රිකට් පිලේ උපදේශක ලෙස කටයුතු කරන ලෙස මහේල ජයවර්ධන මහතාගෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඉල්ලා ඇත.

එහි ප්‍රතිඵලයක් ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ශම්මි සිල්වා මහතා හා ශ්‍රී ලංකා ක්‍රිකට් උපදේශක මහේල ජයවර්ධන මහතා අතර, දීර්ඝ සාකච්ඡාවක් ඊයේ පවත්වා ශ්‍රී ලංකා ක්‍රිකට් පිල මීළඟ ලෝක කුසලාන තරගාවලිය තෙක් සූදානම් කිරීම කෙරෙහි අවධානය යොමු කොට ඇත. මීළඟ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ජයග්‍රහණය කිරීම වෙනුවෙන් කණ්ඩායමේ සංයුතිය වෙනස් කළ යුතු ආකාරය හා පුහුණු කාර්ය මණ්ඩලය සකස් කිරීම සම්බන්ධව මහේල ජයවර්ධන මහතාගෙන් අදහස් හා යෝජනා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අපේක්ෂා කරන බව දැනුම් දී තිබේ.

දැනට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ කාර්ය මණ්ඩලය ලෙස ක්‍රිකට් අධ්‍යක්ෂක ඔස්ට්‍රේලියාවේ ටොම් මූඩි, ප්‍රධාන පුහුණුකරු ලෙස දකුණු අප්‍රිකාවේ මිකී ආතර්, පිතිකරු පුහුණකරු ලෙස සිම්බාබ්වේ ජාතික ග්‍රාන්ට් ෆලවර්, දඟ පන්දු පුහුණුකරු ලෙස පියල් විජේතුංග, වේග පන්දු පුහුණුකරු ලෙස චමින්ද වාස්, පන්දු රැකීමේ පුහුණුකරු ලෙස ඔස්ට්‍රේලියාවේ ෂේන් මැක්ඩොමට්, භෞත චිකිත්සක ලෙස ඔස්ට්‍රේලියාවේ බ්‍රේට් හැරෝප්, අභ්‍යාසක ලෙස දකුණු අප්‍රිකාවේ ග්‍රාන්ට් ලුඩන් හා දත්ත විශ්ලේෂක ලෙස ශිරන්ත නිරෝෂන් යන මහත්වරු කටයුතු කරමින් සිටිති. මේ සියලු දෙනාට ශ්‍රී ලංකා ක්‍රිකට් කෝටි ගණන් වැටුප් හා වේතන ගෙවමින් සිටිති.

එබැවින් මෙතෙක් පුහුණුකරුවන් සිදු කළ කාර්යභාරය හා ඒ අනුව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ලබා ඇති ප්‍රගතිය සම්බන්ධව සමාලෝචනයක් සිදු කිරීමටත්, තව දුරටත් රඳවාගත යුතු හා ඉවත් කළ යුතු පුහුණුකරුවන් සම්බන්ධ නිර්දේශ ඉද්රිපත් කරන ලෙසත් මහෙල ජයවර්ධන මහතාට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය දැනුම් දි තිබේ. ඒ සමඟම ශ්‍රී ලංකා කණ්ඩායමට පිටතින් ආදේශ කළ යුතු දක්ෂ පුහුණුකරුවන් වෙතොත් ඒ සම්බන්ධ නිර්දේශ ඉදිරිපත් කිරීමේ අවස්ථාව ද ජයවර්ධන මහතා වෙතදී ඇත.

විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී ශ්‍රී ලංකා පිල අවසන් පුර්ව තරගයට සුදුසුකම් නොලබා ඉවතට විසිවී යන තත්ත්වයක් තුළ කණ්ඩායමේ පුහුණු කාර්ය මණ්ඩලය වෙත චෝදනා ගණනාවක් එල්ල වූ අතර, මේ සම්බන්ධ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තුළද සාකච්ඡා ඇති විය. ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලනය කණ්ඩායමේ අභිවෘද්ධිය වෙනුවෙන් සියලු සම්පත් දී තිබියදී තරුණ ශ්‍රී ලංකා කණ්ඩායම නිසි මාර්ගෝපදේශ හා පුර්ව සැලසුම් සහිතව මේ තරගාවලියේ සුපිරි අට තරග වටයේ ක්‍රියා කළේද? ඒ සඳහා පුහුණුකරුවන්ගේ කාර්යභාරය කුමක් වුයේද? යන ප්‍රශ්නය සාකච්ඡාවල මාතෘකා විය.

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ උපදේශක ලෙස මහේල ජයවර්ධන මහතා පත් කොට ඉතා සුළු කාලයකදී ජයග්‍රහණ ලැබීමත් ඔහු කණ්ඩායමෙන් ඉවත්ව ගිය පසු පරාජයන් වැලක් අත්වීදීමටත් හේතුව ක්‍රිකට් ආයතනය තුළ හා පිටත අවධානය වූ වැදගත් කරුණු අතර විය. ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ පුහුණුකරුවන් කිහිප දෙනකු කටයුතු කරමින් සිටියදී උපදේශක මට්ටමේ තනතුරක් ඇති කළ පළමු අවස්ථාව මෙය වූ අතර, එහි යහපත් ප්‍රතිඵල දක්නට ලැබුණු බව බොහෝ දෙනාගේ මතය වේ.

ජාතික ක්‍රිකට් පිල සමඟ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සති දෙකකට ආසන්න කාලයක් කටයුතු කළ මහේල ජයවර්ධන මහතා ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ තරුණ ක්‍රීඩකයන්ට විශාල ශක්තියක් වූ බවත් එම ක්‍රීඩකයන් තුළ විශ්වාසය ගොඩනැඟුණු බවත් ශ්‍රී ලංකා පිලේ නායක දසුන් ශානක මාධ්‍ය හමුවකදී කරුණු අනාවරණය කළේය.

විස්සයි20 වැනි ප්‍රවේගකාරී තරග රටාවකදී පුහුණුකරුවන් පොත් පෙරළමින් පුහුණු උපදෙස් දෙනවාට වඩා ප්‍රායෝගික තලයේ මතු වන ගැටලු හඳුනාගෙන තැනට සුදුසු නුවණින් කටයුතු කිරීම උදෙසා ක්‍රීඩකයන්ට මඟ පෙන්වූයේ නම් මෙයට වඩා ප්‍රතිඵලය වෙනස් වීමට බොහෝ සෙයින් ඉඩ තිබූ බව ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ හිටපු ක්‍රීඩකයන් කිහිප දෙනකුගේ ද මතය වී තිබේ.

ශ්‍රී ලාංකේය ක්‍රීඩා ක්ෂේත්‍රයේ තවත් ප්‍රධාන භූමිකාවක් උසුලමින් ක්‍රීඩා ඇමැති නාමල් රාජපක්ෂ මහතාගේ ඉල්ලීමකට අනුව මහේල ජයවර්ධන මහතා ක්‍රීඩා ප්‍රතිපත්තිමය කරුණු පිළිබඳ ක්‍රීඩා ඇමැතිවරයාට උපදෙස් දීම සඳහා වූ ජාතික ක්‍රීඩා සභාවේ ප්‍රධානියා ලෙස විශාල වැඩ කොටසක් කරමින් සිටින අතරතුර මේ ශ්‍රී ලංකා ක්‍රිකට් උපදේශක තනතුර පිරිනමා තිබීම විශේෂත්වයකි.

0 comment
0

Related Posts

Leave a Comment