Home ක්‍රීඩා පුවත් ශ්‍රී ලංකාව පාපන්දු අවසන් මහා තරගයකට එයි

ශ්‍රී ලංකාව පාපන්දු අවසන් මහා තරගයකට එයි

by Hela news

අන්තිම විනාඩියේ වසීම්ගේ පහරින් නාඩි වැටෙයි

අගමැති මහින්ද රාජපක්ෂ කුසලාන සිව්කොන් පාපන්දු තරගාවලියේ අවසන් මහා තරගයට ශ්‍රී ලංකාව සුදුසුකම් ලබයි. රීඩ් මාවත තුරඟ තරග පිටියේ ඊයේ විදුලි ආලෝක ධාරා මැද පැවැති බංග්ලාදේශය සමඟ තරගය ගොල් 2-1කින් ජය ගැනීමත් සමඟ ශ්‍රී ලංකා පිලට අවසන් මහා තරගයේ දොරටු විවර විය. ගෝල් 1-1ක් ලෙස තරගය සම වී අවසන් තරගයට පිවිසීමට අසීරු මලානික අවස්ථාවක ශ්‍රී ලංකාව පසුවෙද්දී තරගයේ නියමිත කාලයේ අවසන් මිනිත්තුවේදී වසිම් රසීක්ට ලැබුණු දඬුවම් පහර සාර්ථක කොට බංග්ලාදේශය තරගාවලියෙන් ඉවත් කිරීමට ශ්‍රී ලංකාව සමත් වීම තරගයේ චමත්කාරය විය. වසර 15කට පසුව අන්තර්ජාතික පාපන්දු තරගාවලියක අවසන් මහා තරගයට පිවිසීමට ශ්‍රී ලංකා පාපන්දු ක්‍රීඩකයෝ සමත් වූ අතර, ශ්‍රී ලංකාව හා ෂීෂෙල්ස් අතර අවසන් මහා තරගය මේ 19 වැනිදා පස්වරු 7ට රිඩ් මාවත තුරඟ තරග පිටියේදී පැවැත්වෙයි. 

ශ්‍රී ලංකාව අවසන් වරට පාපන්දු තරගාවලියක අවසන් මහා තරගයට පිවිස ඇත්තේ වසර 2006දී කොළඹ සුගතදාස පිටියේ පැවැති දකුණු ආසියා පාපන්දු තරගාවලියේදී වන අතර, එහිදී පාකිස්තානය හමුවේ ගෝල් 1-0ක පරාජයක් අත් විය. වසර 2018දී ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය හමු වී ශ්‍රී ලංකාව ගෝල් 1-0කින් බංග්ලාදේශය පරාජයට පත් කිරීම ශ්‍රී ලංකාව අවසන්වරට අන්තර්ජාතික තරගයකදී ලැබූ පාපන්දු ජයග්‍රහණය වේ. එබැවින් දිගින් දිගටම ලැබූ පාපන්දු පරාජයන්ට ශ්‍රී ලංකාව ඊයේ තිත තැබීම විශේෂත්වයක් විය.

බංග්ලාදේශයට එරෙහි තරගයේ 24 වැනි මිනිත්තුවේදී වසීම් රසීක් ශ්‍රී ලංකාවට පළමු ගෝලය එක් කළ අතර, ඔහු මේ තරගාවලියේ දැනට ගෝල් 6ක් රැස් කරමින් වාර්තා පොත අලුත් කර සිටී. ජර්මනියේ හා ශ්‍රී ලංකාවේ ද්විත්ව පුරවැසි වසීම් රසීක් ඉතිහාසයේ අන්තර්ජාතික තරගයකදී ශ්‍රී ලංකා ක්‍රීඩකයකු රැස් කළ වැඩිම ගෝල් ප්‍රමාණය වාර්තා කරමින් මෙයට පෙර මාලදිවයින සමඟ තරගය සම කිරීමේ පුරෝගාමියා විය. එබැවින් දැනට මේ තරගාවලියේ වැඩිම ගෝල් රැස් කළ ක්‍රීඩකයා බවට පත්ව සිටින්නේද වසීම් රසීක් ය.

අධික වර්ෂාව හේතුවෙන් ක්‍රීඩා පිටිය තෙත බරිතව පැවැති අවස්ථාවේ තරගයේ 71 වැනි මිනිත්තුවේදී අතිරේක ක්‍රීඩකයකු ලෙස පිටියට පිවිසි ජුවෙල් රනා බංග්ලාදේශ පිලට ගෝලය එක් කරමින් එක් අවස්ථාවක තරගය සම කිරීමට සමත් විය.

බංග්ලාදේශය සමඟ තරගය ශ්‍රී ලංකාවට නැති වන්නට දෙයක් නැති ජයග්‍රහණය පමණක් අවැසි තරගයක් බවට පත්ව තිබිණි. අවසන් තරගයට පිවිසීමට නම් බංග්ලාදේශය පරාජය කිරීම අනිවාර්ය වී තිබු හෙයින් ශ්‍රී ලංකා පිල කිසියම් සැලසුමකින් තරගයට අවතීර්ණ විය. එහෙත් තරගයේ 31 වැනි මිනිත්තුවේදී නීති විරොධී ක්‍රීඩාව හේතුවෙන් ආරක්ෂක කළාපයේ ක්‍රීඩක ඩක්සන් පුස්ලාස් රතු කාඩ් පෙන්වා පිටියෙන් ඉවත් කිරීමට විනිසුරු ක්‍රියා කළේය. ඒ සමඟම බංග්ලාදේශයට දඬුවම් පහරක් පිරිනැමුණු අතර නායක තෝලු බාර්මාන් එල්ල කළ පහර ශ්‍රී ලංකාවේ වාසනාවට ඉවතට ගියේය.

දින හතරකට කලින් පැවැති ශ්‍රී ලංකාව හා සීෂෙල්ස් අතර තරගය ගෝල් 1-0ක් ලෙස සීෂෙල්ස් ජයග්‍රහණය කිරීමෙන් ශ්‍රී ලංකාවට බංග්ලාදේශය සමඟ තරගයේ ජයග්‍රහණය වැදගත් විය. මාලදිවයින සමඟ පළමු තරගය ශ්‍රී ලංකාව ගෝල් 4-4ක් ලෙස ජය පරාජයෙන් තොරව අවසන් කිරීමට සමත් වූ හෙයින් අවසන් මහා තරගයට පිවිසීම උදෙසා අවම වශයෙන් එක් තරගයක් හෝ ජයගත යුතුව තිබිණි.

මාලදිවයින පිලට ද මේ තත්ත්වයම උදා වී තිබුණද සීෂෙල්ස් සමඟ ඊයේ පැවැති තරගය ගෝල් වාර්තා නොවී ජය පරාජයවීමෙන් මාලදිවයින තරගාවලියෙන් ඉවතට විසි වී ගියේය. මේ තරගාවලියට ක්‍රීඩා කරන මාලදිවයින ලෝක පාපන්දුු ශ්‍රේණිගත කිරීමේ 156 වැනි ස්ථානයේ සිටින අතර, බංග්ලාදේශය 187 වැනි ස්ථානයේ සිටී. සීෂෙල්ස් පිල 199 වැනි ස්ථානයේ හා ශ්‍රී ලංකාව 204 වැනි ස්ථානයේ මේ වන විට රැඳී සිටිති.

0 comment
0

Related Posts

Leave a Comment