Home ක්‍රීඩා පුවත් ශ්‍රී ලංකාවේ දැවැන්තම ක්‍රීඩා ඡන්දය ලබන 28,

ශ්‍රී ලංකාවේ දැවැන්තම ක්‍රීඩා ඡන්දය ලබන 28,

by Hela news

ජාතික ඔලිම්පික් කමිටු නිලවරණය දෙසැම්බර් 28 වැනිදා ඔලිම්පික් නිවහනේදී පැවැත්විමට තීරණය වෙයි. ඔලිම්පික් ක්‍රිඩා නියෝජනය කිරීමට වරම් ඇති මෙරට ක්‍රීඩා සංගම් 35ක ඡන්ද බලයෙන් වසර 4ක කාලයකට නිලධාරීන් පත් කර ගැනීම මෙහිදී සිදු වන බැවින් ශ්‍රී ලාංකේය ක්‍රීඩාවේ වැදගත්ම හා දැවැන්තම නිලවරණය මෙය ලෙස සැලකේ. ඔලිම්පික් කමිටු නිලවරණය අවසන් වරට 2018 පෙබරවාරි මාසයේ පැවැති අතර, වසර 4ක නිලවරණ කාලය නිමා වීමට මාස 2ක් ඉතිරිව තිබියදී සාමාජික ක්‍රීඩා සංගම් වෙත ප්‍රජාතන්ත්‍රවාදී ඡන්ද අයිතිය හිමි කර දී ඇත. මේ නිලවරණයේ ඡන්ද විමසීම ඡන්ද පත්‍රිකා භාවිතා කරමින් රහස්‍ය ආකාරයෙන් සිදු කිරීම විශේෂත්වයකි.

ජාතික ඔලිම්පික් කමිටු නිලවරණය ඉදිරියට ගෙන යෑම උදෙසා පළමු පියවර ලෙස නිලවරණ කමිටුව පත් කර ගැනීමේ විශේෂ මහා සභාව පෙරේදා ඔලිම්පික් නිවහනේ හේමසිරි ප්‍රනාන්දු ශ්‍රවණාගාරයේ පැවැති අතර, එහිදී ජාතික ඔලිම්පික් කමිටු සභාපති සුරේෂ් සුබ්‍රමනියම් මහතා විසින් නිලවරණ කමිටු සභාපති ලෙස ක්‍රීඩා අමාත්‍යාංශයේ හිටපු ලේකම්වරයකු වන ආචාර්ය ආර්.එම්.කේ. රත්නායක මහතාගේ නම යෝජනා කළේය. සෙසු සාමාජිකයන් ලෙස එම අමාත්‍යාංශයේම හිටපු ලේකම්වරුන් දෙපළක් වන එස්. රනුග්ගේ හා අනුර ජයවික්‍රම යන මහත්වරුන්ගේ නම් සභාවට ඉදිරිපත් කරන ලදි.

සුබ්‍රමනියම් මහතාගේ එම යෝජනාවේ නමක් ඉවත් කොට වෙනත් නමක් එක් කළ යුතු යැයි සභාවෙන් යෝජනාවක් ඉදිරිපත් වූ අතර, ඒ සඳහා යෝජකගේ අකැමැත්ත ප්‍රකාශ විය. ඒ සඳහා බෙදිමක් අවශ්‍ය වන්නේ නම් ඡන්ද විමසීමකට යා හැකි බව මූලාසනය සභාවට දැනුම් දුන් අතර නිලවරණ කමිටු යෝජනා දෙක පිළිබඳ පක්ෂ විපක්ෂ ඡන්ද විමසීම ආරම්භ විය. එහිදී ජාතික ඔලිම්පික් කමිටු සභාපති සුරේෂ් සුබ්‍රමනියම් මහතාගේ යොජනාව පිළිගත යුතු යැයි සභාවේ සිටි බහුතර ක්‍රීඩා සංගම් ප්‍රධානීහු අනුමත කළහ. ඒ අනුව ඔලිම්පික් කමිටු සභාපතිවරයාගේ යෝජනාව අනුමත කරමින් ඡන්ද 20ක් ප්‍රකාශ වූ අතර, විපක්ෂව ඡන්ද 13ක් වාර්තා විය.

මේ සභාවට ජාතික ඔලිම්පික් කමිටුවේ අය – වැය වාර්තා ඇතුළත් රජයේ විගණකාධිපතිවරයා විසින් අනුමත කරන ලද මුල්‍ය ප්‍රකාශනය ඉදිරිපත් වූ අතර, එම වාර්තාව ඒකමතිකව සම්මත කිරීමට සියලු සාමාජික ක්‍රීඩා සංගම් ප්‍රධානීහු කටයුතු කළහ. එමෙන්ම ජාතික ඔලිම්පික් කමිටු ඉතිහාසයේ ඉතාම පිරිසිදු මුල්‍ය ප්‍රකාශනයක් ඉදිරිපත් කළ බවට සභාවේ සිටි සියලු සාමාජිකයන්ගෙන් හොඳ සහතිකයක් ලැබීම සම්බන්ධව සභාපති සුරේෂ් සුබ්‍රමනියම් හා මහ ලේකම් මැක්ස්වෙල් ද සිල්වා යන මහත්වරු සිය සතුට ප්‍රකාශ කළ බව පැවසේ.

ඉදිරි ජාතික ඔලිම්පික් කමිටු නිලවරණයේදී සභාපති තනතුර සඳහා සුරේෂ් සුබ්‍රමනියම් මහතා හා මහ ලේකම් තනතුරට වත්මන් ලේකම් මැක්ස්වෙල් ද සිල්වා මහතා ඉදිරිපත් වන බවට ප්‍රකාශ නිකුත් වී ඇති අතර, මෙවර ද ප්‍රතිවාදී සභාපති අපේක්ෂකයා ලෙස රොහාන් ප්‍රනාන්දු මහතාගේ නම කරලියට පැමිණ තිබේ.

වසර 21ක් ඔලිම්පික් කමිටුවේ කටයුතු කරමින් දීර්ඝතම ක්‍රීඩා පරිපාලකයකු බවට පත් වූ හිටපු සභාපති හේමසිරි ප්‍රනාන්දු මහතා පසුගිය ඔලිම්පික් කමිටු නිලවරණයේදී තරග නොකර සිය ධුරයෙන් සමුගත් හෙයින් අවසන් වරට පැවැති ජාතික ඔලිම්පික් කමිටු නිලවරණයේදී සභාපති තනතුර සඳහා සුරේෂ් සුබ්‍රමනියම් මහතා හා රොහාන් ප්‍රනාන්දු මහතා තරග කළහ. එහිදී සුබ්‍රමනියම් මහතා ඡන්ද 18ක් හා රොහාන් ප්‍රනාන්දු මහතා ඡන්ද 12ක් ගත් අතර, මහ ලේකම් තනතුර සඳහා වූ සටනේදී වත්මන් ලේකම් මැක්ස්වෙල් ද සිල්වා මහතා ඡන්ද 19ක් හා ප්‍රීති විරාජ් පොරේරා මහතා ඡන්ද 12ක් ගැනීමෙන් මැක්ස්වෙල් ද සිල්වා මහතා වැඩි ඡන්දයෙන් ජයග්‍රහණය කළේය.

එම නිලවරණයේදී රොහාන් ප්‍රනාන්දු මහතාගේ පාර්ශ්වයෙන් උප සභාපති තනතුරකට තරග කළ මේජර් ජෙනරාල් පාලිත ප්‍රනාන්දු මහතා පමණක් ජය ලැබීම විශේෂත්වයකි. ජෝසප් කෙනී, අසංග සෙනවිරත්න හා සුමිත් එදිරිසිංහ යන මහත්වරු සුරේෂ් – මැක්ස්වෙල් පාර්ශ්වයෙන් උප සභාපතිවරු ලෙස වැඩි ඡන්දයෙන් පත් වූහ. එම නිලවරණය අධීක්ෂණයට ජගත් ඔලිම්පික් කමිටුවේ ආසියා කලාපීය නියෝජිත හයිඩර් ෆාමන් මහතාට ආරාධනා කිරීමට ඔලිම්පික් කමිටුව පියවර ගෙන තිබිණි.

0 comment
0

Related Posts

Leave a Comment