Home පොලිස් පුවත් ශ්‍රි ලංකාවේ විශිෂ්ඨතම කාන්තාවන් 10 දෙනා අතරට පොලිස් නිලධාරිනියක් පත්වෙයි

ශ්‍රි ලංකාවේ විශිෂ්ඨතම කාන්තාවන් 10 දෙනා අතරට පොලිස් නිලධාරිනියක් පත්වෙයි

by Hela news

රටේ ආර්ථිකයට කාන්තා ශ්‍රම බලකාය නිසි පරිදි දායක කරගනිමින් රට සංවර්ධනය කරා ගෙන යාම වෙනුවෙන් දියත් කරන ලද wise woman ජාතික වැඩසටහන, නිපුණතා සංවර්ධන, වෘත්තීය අධ්‍යාපන පර්යේෂණ හා නිපැයුම් රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සීතා අරඹේපොළ මහත්මියගේ මග පෙන්වීම යටතේ අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් 2022 ජනවාරි මස 4 වන දින ආරම්භ කරන ලද අතර එහිදී ශ්‍රී ලාංකීය නාමය විවිධ ක්ෂේත්‍ර තුළින් දේශීය හා ජාත්‍යන්තර තුළ සනිටුහන් කළ කාන්තාවන් දහ දෙනෙක් රාජ්‍ය ඇගයීමට ලක් කරන ලදී.

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මෙම කාන්තාවන් දහ දෙනා අතරට ශ්‍රී ලංකා පොලිසියේ අන්තර්ජාතික බොක්සිං විනිසුරු කාන්තා ප්‍රධාන පොලිස් පරීක්ෂක නෙල්කා ශිරෝමාලා මහත්මිය පත් වී ඇත.

ගාල්ල රිපන් බාලිකා විද්‍යාලයේ ආදී ශිෂ්‍යාවක් වන මෙම නිලධාරිනිය විද්‍යාලීය ශිෂ්‍ය නායිකාවන් මෙන්ම විද්‍යාලීය ක්‍රීඩා නායිකාව ලෙස ද කටයුතු කර ඇත.

කාන්තා ප්‍රධාන පොලිස් පරීක්ෂක නෙල්කා නිලධාරිනිය 1997 වර්ෂයේ කාන්තා උප පොලිස් පරීක්ෂකවරියක් ලෙස පොලිස් සේවයට එක්වූ අතර මූලික පුහුණුවෙන් අනතුරුව දිවයිනේ විවිධ ප්‍රාදේශීය සහ සහ ප්‍රාදේශීය නොවන කොට්ඨාශයන්හි සේවය කිරීමෙන් අනතුරුව 2016 වසරේ දී කාන්තා පොලිස් පරීක්ෂාවක් වශයෙන්ද 2019 වර්ෂයේ දී කාන්තා ප්‍රධාන පොලිස් පරීක්ෂකවරියක් ලෙසද උසස්වීම් ලබා ඇත.

මෙම නිලධාරිනිය වව්නියාව, ත්‍රිකුණාමලය, ගම්පහ, පෑලියගොඩ, කොළඹ, දකුණ යන කොට්ඨාශ වලට අයත් පොලිස් ස්ථානවල මෙන්ම පොලිස් ක්ෂේත්‍ර බලකා මූලස්ථානය, ක්‍රීඩා කොට්ඨාශය, සුභසාධක කොට්ඨාශය, ත්‍රස්ත මර්දන විමර්ශන කොට්ඨාශය, නීතිවිරෝධී වත්කම් විමර්ශන කොට්ඨාශය සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සේවය කිරීමෙන් අනතුරුව දැනට ළමා හා කාන්තා කාර්යාංශයට අනුයුක්තව රාජකාරි කරනු ලබයි.

තවද මෙම නිලධාරිනිය 2016 වර්ෂයේ සිට 2018 වර්ෂය දක්වා එක්සත් ජාතීන්ගේ සාම සාධක හමුදාවේ නැගෙනහිර ටිමෝරය සාමසාධක නිලධාරිනියක් වශයෙන් රාජකාරිය කර එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සාම සාධක හමුදාවේ පදක්කම් ලාභී නිලධාරිනියකි.

2001 වර්ෂයේදී ශ්‍රී ලංකා පොලිසිය නියෝජනය කරමින් ශ්‍රී ලංකා ප්‍රථම කාන්තා බොක්සිං කණ්ඩායමේ සාමාජිකාවක් ද විය. ශ්‍රී ලංකා පොලිසියේ ප්‍රථම කාන්තා බොක්සිං ක්‍රීඩිකාව වන මෙම නිලධාරිනිය දැල් දැල්පන්දු බැඩ්මින්ටන් බොක්සිං ක්‍රීඩාව සඳහා පොලිස් වර්ණලාභී නිලධාරිනියකි.

තවද මෙම නිලධාරිනිය 1998 වර්ෂයේ ශ්‍රී ලංකා පොලිසියේ දක්ෂතම වෙඩි තබන්නට හිමි සම්මානයද හිමිකරගන්නා ලදී. බොක්සිං ක්‍රීඩාවෙන් විවිධ ජයග්‍රහණයන් අත්කර දෙමින් පොලිස් දෙපාර්තමේන්තුව වර්ණ ගැන්වූ මෙම නිලධාරිනිය 2011 වර්ෂයේ දී ශ්‍රී ලංකාව නියෝජනය කළ ප්‍රථම අන්තර්ජාතික බොක්සිං විනිසුරුවරිය විය. මෙම නිලධාරිනිය 2011 වර්ෂයේ සිට 2001 වර්ෂය දක්වා දේශීය හා ජාත්‍යන්තර විවිධ බොක්සිං තරග විනිශ්චය කරමින් 2018 වර්ෂයේ දී ආසියාවේ දක්ෂතම බොක්සිං විනිසුරුවරියට හිමි සම්මානය ලබා ගත්තාය.

2018 වර්ෂයේ දී පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා තරගාවලිය විනිශ්චය කළ ප්‍රථම කාන්තා විනිසුරුවරිය වෙමින් පොලිස් දෙපාර්තමේන්තුවට මෙන්ම ශ්‍රී ලංකාවට ද ගෞරවයක් අත්කර දුන් ඇය 2021 වර්ෂය ටෝකියෝ නගරයේ පැවති 2020 ඔලිම්පික් තරගාවලියට සහභාගි වෙමින් ඔලිම්පික් තරගාවලියක් විනිශ්චය කළ ප්‍රථම ශ්‍රී ලාංකීය කාන්තාව වූවාය. එතනින් නොනැවතුණු ඇය ඔලිම්පික් තරගාවලියක අවසන් තරග දෙක විනිසුරු රාජකාරි කළ ලොව ප්‍රථම බොක්සිං විනිසුරුවරිය ලෙස ඔලිම්පික් ඉතිහාසයට එක් වී ඇත.

0 comment
0

Related Posts

Leave a Comment