Home ක්‍රීඩා පුවත් ශත සංවත්සර මැරතන් තරගයේ ජයග්‍රාහකයාට රුපියල් ලක්ෂ 2ක්

ශත සංවත්සර මැරතන් තරගයේ ජයග්‍රාහකයාට රුපියල් ලක්ෂ 2ක්

by Hela news

නෙස්ලේ ලංකා සමාගමේ උප සභාපති බන්ධුල එගොඩගේ මහතා විසින් ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමයේ සභාපති විශ්‍රාමික මේජර් ජෙනරාල් පාලිත ප්‍රනාන්දු මහතා වෙත අනුග්‍රාහක චෙක්පත භාර දුන් අයුරු. ඡායාරූපය – රංජිත් අසංක

ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමයේ ශත සංවත්සරය වෙනුවෙන් සංවිධාන කරන අර්ධ මැරතන් (කි.මී. 21) තරගය හා ශත සංවත්සර සෞඛ්‍ය ධාවන තරගය (කි.මී. 5) මේ 22 දා දියත උයන අසලදී පෙරවරු 7.00ට ආරම්භ වේ. මේ සඳහා නෙස්ලේ සමාගම අනුග්‍රාහකත්වය දී ඇති අතර, ජයග්‍රහකයන්ට මුදලින් තෑගි පිරිනැමීමට කටයුතු යොදා තිබේ. පිරිමි හා කාන්තා යන අංශ දෙකේම පළමු තැන දිනා ගන්නා ක්‍රීඩකයාට හා ක්‍රීඩිකාවට වෙන වෙනම රුපියල් ලක්ෂ 2 බැගින් හිමි වේ. දෙවැනි ස්ථානයට රුපියල් ලක්ෂ 1.5ක්, තෙවැනි ස්ථානයට රුපියල් ලක්ෂයක්, සිව්වැනි ස්ථානයට රුපියල් හැත්තෑපන් දහසක් හා පස්වැනි ස්ථානයට රුපියල් පනස්දහසක් ආදී වශයෙන් මුදල් ත්‍යාග පිරිනැමීමට කටයුතු යොදා තිබේ.

වසර 30ක් පුරා ශ්‍රී ලංකාවේ මැරතන් තරග වෙනුවෙන් අනුග්‍රහය සපයන නෙස්ලේ සමාගම ශත සංවත්සර මැරතන් තරගයේදී ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය සමඟ අත්වැල් බැද ගන්නා බව නෙස්ලේ ලංකා සමාගමේ උප සභාපති බන්ධුල එගොඩගේ මහතා පැවසීය. වසර 115කට අධික කාලයක් ශ්‍රී ලාංකිකයන්ගේ ජීවිතවලට බද්ධ වී කටයුතු කරන තම ආයතනය ලාභ අපේක්ෂාවෙන් තොරව එදා මෙදාතුර මැරතන් ඇතුළු ක්‍රීඩා ගණනාවකට අනුග්‍රහය දෙමින් සිටින බව ඒ මහතා සිහිපත් කළේය.

ශත සංවත්සරය වෙනුවෙන් සංවිධාන කරන අර්ධ මැරතන් තරගය සම්බන්ධ මාධ්‍ය හමුවක් පෙරේදා කොළඹ සී.ආර්. ක්‍රීඩාගාරයේදී පැවති අතර, මේ අර්ධ මැරතන් තරගයට දකුණු ආසියාවේ රටවල් කිහිපයක ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ආරාධනා කොට ඇති හෙයින් 250ක පමණ පිරිසක් ධාවනයේ යෙදෙනු ඇතැයි ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමයේ සභාපති විශ්‍රාමික මේජර් ජෙනරාල් පාලිත ප්‍රනාන්දු මහතා පැවසීය. ඉන්දියාව, බංග්ලාදේශය, මාලදිවයින හා නේපාලය වැනි රටවලින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් මේ මැරතන් තරගයට එක් වීමට නියමිතය.

අර්ධ මැරතන් තරගය වයස අවුරුදු 18ට වැඩි පිරිමි හා කාන්තා යන දෙපක්ෂයටම විවෘත වන අතර, දියත උයන සිට ඇතුල් කෝට්ටේ හන්දිය, පාගොඩ පාර, නුගේගොඩ සුපිරි වෙළෙඳසල් හන්දිය, නුගේගොඩ හයිලෙවල් පාර, මහරගම, පන්නිපිටිය, බොරැල්ල පාර, තලවතුගොඩ, බත්තරමුල්ල හන්දිය පසු කොට දියත උයනෙන් අවසන් වේ. ශත සංවත්සර සෞඛ්‍ය ධාවනය දියත උයන සිට පාර්ලිමේන්තු පාර, පාලම් තුන හන්දිය, බත්තරමුල්ල හන්දිය හරහා නැවැත දියත උයනෙන් අවසන් වේ. එම තරගයට 1500ක පමණ පිරිසක් සහභාගී වනු ඇතැයි විශ්වාස කෙරේ.

මේ මැරතන් තරගයේ ගමන් මාර්ගයේ එදින රථවාහනවලට ද ගමන් කළ හැකි අයුරින් විශේෂ පොලිස් මෙහෙයුම් හා ආරක්ෂාව තර කර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නිහාල් තල්දුව මහතා කියා සිටියේය. ශත සංවත්සර අර්ධ මැරතන් තරග නැරඹීමට පැමිණෙන පිරිස් වෙනුවෙන් ද අවශ්‍ය ආරක්ෂාව සපයා ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.

මේ තරග පිළිබඳ තාක්ෂණික නිලධාරීන් සඳහා දැනුවත් කිරීමේ හමුවක් මේ 21 දා සවස 4.00ට දියත උයනේදී පැවැත්වීමට ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය කටයුතු යොදා තිබේ.

0 comment
0

Related Posts

Leave a Comment