Home ක්‍රීඩා පුවත් විස්සේ අල ගෙඩි නොවන ලංකා මොළ ගෙඩි

විස්සේ අල ගෙඩි නොවන ලංකා මොළ ගෙඩි

by Hela news

අල ගෙඩි කබොහයිඩ්‍රේට් පිරුණු ගබඩාවකි. පෝෂණය පැත්තෙන් ගුණාත්මක භාවයක් තිබුණ ද අල ගෙඩියක් බඳු පෙනුමක් හිමි වන්නේ නම් එතැන ඇත්තේ ආරවුලකි. අලස, කාර්යශූර නැති මහත දෙහෙත මිනිසුන් හඳුන්වන්නේ අල ගෙඩි කියා ය. මේ අල ගෙඩි නොවූ මොළ ගෙඩි කිහිපයක් ගැන ය.

එවැනි මිනිසුන් බොහෝ වෙති. එසේ නොවන මිනිසුන් ද බොහෝ ය. ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ අල ගෙඩි නොවූ සටන් බිමෙන් ඉවත්ව ගිය ද තවමත් වෙඩි බෙහෙත් මෙන් පත්තු වන මිනිසුන් අතර දීප්තිමත් මිනිසුන් කීපදෙනෙක් මෙවර විස්සයි විස්ස ලෝක කුසලාන බිමේ ප්‍රකට ය.

ඉන් දෙදෙනෙක් ශ්‍රී ලංකා කඳවුරට සේවය කරද්දී සෙසු දෙදෙනා සිය සේවය ලබා දෙන්නේ ඉන්දියාවට, ඕමානයට හා බංග්ලාදේශයට ය. මෙරට ක්‍රිකට් කණ්ඩායමට සේවය කරන්නේ අන් කවරකුවත් නොව මෙරට ක්‍රිකට් ඉතිහාසයේ කියැවෙන නම් අතර අමරණීය නාමයන් දෙකක් සේ අවිවාදයෙන් සැලකිය හැකි කණ්ඩායම තුළ ආදරයට ‘මයියා’ හා ‘වාසි’ ය.

‘මයියා’ යනු මහේල ජයවර්ධන ය. ‘වාසි’ යනු වාසි අවාසි නොබලා රට වෙනුවෙන් සිටගත් මිනිසකු වූ චමින්ද වාස් ය. මහේල ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණු උපදේශක වශයෙන් කටයුතු කරමින් සිටී. වාස් ඉන්නේ පන්දු යවන පුහුණුකරුවා ලෙස ය.

පරාජයේ තැනිතලාවේ අතරමංව සිටි ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම නමැති නෞකාවට අලුත් මෝටරයක් සවි කරන්නට මහේල ජයවර්ධන පුහුණු උපදේශකයා ලෙස නම් කරනු ලැබුණේ ය. චමින්ද වාස් කෙටි කාලීන පදනම යටතේ පන්දුයැවීමේ පුහුණුකරුවා විණි.

ලෝක කුසලාන විස්සයි විස්ස තරගාවලියේ සුපිරි අට අතරට ඇතුළත් නොවූ ශ්‍රී ලංකාව මෙවර එක්සත් අරාබී එමීරයට හා ඕමානයට ගියේ පළමුව සිය ගෞරවය ගලවා ගැනීමේ සටනට සහභාගි වන්නට ය. එහිදී මිකී ගේ ඉංගිරිසි විසඳුම් අතර මයියාගේ ක්‍රිකට් මොළය වැඩ කළේ ය. පිතිකරණ අනුපිළිවෙළ වෙනස් කරමින්, ප්‍රතිවාදී කණ්ඩායම්වලට උචිත ආකාරයට තරග සැලසුම් අඳිමින් පළමු ව සුපිරි 12 අතරට තේරීමට අවශ්‍ය සැලසුම් ඇඳීමේ ප්‍රමුඛයා වූයේ මයියා ය. ඊට අවශ්‍ය පන්දු යවන බලඇණිය සවි බල ගන්වමින් ඔවුන්ට පුහුණුව, ආත්ම අභිමානය ලබා දුන්නේ වාසි ය.

මිකී කළේ මෙම පුහුණු සැලසුමට ගැළපෙන ආකාරයට තමන්ගේ පුහුණු උපදෙස් ලබා දීම හා කළමනාකරණය කරගැනීම ය. මයියාගේ හා වාසිගේ මොළ දෙකට පින් සිදුවන්නට සුපිරි දොළහට අපරාජිතව ආ ශ්‍රී ලංකාව කෙටි කලක සිට ලෝක ක්‍රිකට් පෙතේ ඉහළට යන්නට උත්සාහ ගන්නා බංග්ලාදේශය පසු කර ගියේ වාසනාව ද තුරුළු කරගෙන සිටි හෙයිනි. ඒ අනුව මෙවර විස්සයි විස්ස තුළ ශ්‍රී ලංකා කණ්ඩායමේ වැඩ කරන අල ගෙඩි නොවන මොළ ගෙඩි දෙකක් ලෙස මයියාගේ හා වාසිගේ මොළ හැඳින්විය හැක.

මේ අතර බංග්ලාදේශය ද තමන්ගේ කණ්ඩායම මෙහෙයවීමේ දී ශ්‍රී ලංකාවේ බුද්ධි ගලනය උපයෝගී කර ගන්නට කිසිසේත්ම පසුබට වී නැත. ඒ ලොව බිහිවූ විශිෂ්ටතම වමත් පා දඟ පන්දුයවන්නා වන සෑම දෙනෙක්ම ‘හේරා’ යැයි කියූ සැණින් හඳුනන රංගන හේරත්ගේ සහයෝගය තම දඟ පන්දුවට විශේෂඥ දැනුම ලබා ගැනීමට සේවය සලසා ගනිමිනි. නවසීලන්තයේ ඩැනියෙල් විටෝරි පසුපසට ඇද දමා විශේෂඥ පුහුණුකරු වශයෙන් කෙටි කාලීන කොන්ත්‍රාත්තුවකට බංග්ලාදේශයට ගිය හේරා දැන් ශ්‍රී ලංකාව ඇතුළු සෙසු රාජ්‍යයන්ට එරෙහිව බංගලි දඟ පන්දු යවන්නන් මටසිළුටු කරමින් සිටී.

ඔහු මීට පෙර පැවැති තරගාවලියන් හි දී බංග්ලාදේශ දඟ පන්දු යවන්නන් තුළ ඇති කර තිබූ බලපෑම මඟින් අවබෝධ වන්නේ ඉතාමත් ධනාත්මක පුහුණුකරණ දැනුමක් ඔහු තම සේවය ලබා ගන්නා රට වෙනුවෙන් ලබා දෙමින් ඇති බව ය. එක පාර සියල්ල වෙනස් කරන්නට තමන්ට නොහැකි නමුත් ජාත්‍යන්තරයේ දී පන්දු යැවීමේ උපක්‍රම සම්බන්ධයෙන් පවතින අඩුපාඩු නිවැරැදි කර ඔවුන් වඩාත් වෘත්තීය තත්ත්වයට පත්කිරීම තම අරමුණ බව මෙම වගකීම භාර ගැනීමට ප්‍රථම ක්‍රීඩා හා සංවාදයකට එළඹෙමින් රංගන හේරත් කීවේ ය. ඒ අනුව හේරා යනු විස්සේ ක්‍රියාශීලි අල ගෙඩියක් නොවූ තවත් සිරිලක මොළ ගෙඩියකි.

ඉන්දීය කණ්ඩායම් පුහුණු මණ්ඩලය හා 2018 වසරේ සිට එක්ව සිටින ‘බව්වා’ නොහොත් නුවන් සෙනෙවිරත්න සිව් වැනි මොළ ගෙඩිය ය. ඔහු සිය බුද්ධිය හා ජය වය යොදාගනිමින් ඉන්දීය පිතිකරුවන්ට පුහුණුවේදී පන්දුව යොමුකරන්නේ පැයට කිලෝමීටර් 175 ක පමණ වේගයකින් බව කියැවුණේ ය. රටට වැඩක් නොගත් හෙයින් ඉන්දියාව විසින් තමන්ට වැඩක් ගන්නට බව්වා ගෙන්වා ගත්තේ ඔහු යොමු කරන පන්දුවලට මුහුණ දීම පිතිකරුවන් අධිවේගයට හුරු කිරීමට වඩා ඉවහල් වන බැවින්. මේ අනුව පසුගිය කාලයේ වේගවත් තණතීරු මත ඉන්දියාව වඩා සාර්ථක වන්නට බව්වාගේ සහයෝගය ද ඉවහල් වූ බව පිළිගත යුතුව ඇත.

ඊට අතිරේකව මෙවර ලෝක කුසලානයට ඕමානය රැගෙන ආවේ ද ශ්‍රී ලංකා විශේෂඥ පුහුණුකාර මණ්ඩලයක සහයෝගය සහිතව ය. ඒ මෙරට විශිෂ්ට ක්‍රිකට් නායකයකු, ප්‍රවේගවත් පිතිකරුවකු හා අනූ හය ලෝක කුසලාන තරගාවලියේ කළමනාකරුවා වූ දුලිප් මෙන්ඩිස් පුහුණු අධ්‍යක්ෂවරයා වශයෙන් සිටින පුහුණු කාර්ය මණ්ඩලය ය.

මේ සියල්ල සමෝධානික කර බලද්දී මෙවර විස්සයි විස්ස ලෝක කුසලානයේ දී ලෝකයේ කුඩා තිතත් වූවාට අල ගෙඩි නොවී වැඩ කරන ක්‍රිකට් මොළ ගෙඩි ලෙස මෙම සුපිරි ක්‍රිකට් ක්‍රීඩකයන් දැක්වීමට පිළිවන. මෙම මොළ ගෙඩිවලින් දීර්ඝ කාලීනව ප්‍රයෝජන ගෙන රටේ ක්‍රිකට් නැඟිටු වීමට මෙන්ම තව තවත් සුපිරි මොළ ගෙඩි නිර්මාණය කර ලෝකයේ ක්‍රිකට් ක්‍රීඩා කරන රටවලට යැවිය හැකි සන්නාමයක් බවට ශ්‍රී ලංකා ක්‍රිකට් යළි නැඟිටුවීමටත් බලධාරීන්ගේ මොළ ගෙඩි තිබිය යුතු ය. එවිට දැන් පවතින ඩොලර් හිඟයට සුළුවෙන් ආධාරකයක් වන්නටත් විදේශ විනිමය රටට ගලා ඒමට සැලැස්වීමටත් ක්‍රිකට් ක්‍රීඩාවට තවත් දායක වන්නට හැකි ය.

0 comment
0

Related Posts

Leave a Comment