Home ක්‍රීඩා පුවත් විස්සයි20 ලෝක ශූර කොදෙව්වෝ ශ්‍රී ලංකා තරුණයන් ඉදිරියේ දණින් වැටෙති

විස්සයි20 ලෝක ශූර කොදෙව්වෝ ශ්‍රී ලංකා තරුණයන් ඉදිරියේ දණින් වැටෙති

by Hela news

අබුඩාබි අන්තිම සටනේදී හැඩකාර වැඩ ගොඩයි

විස්සයි 20 ලෝක ක්‍රිකට් කුසලානය අවසන් වරට දිනා සිටි ලෝක ශූර බටහිර ඉන්දීය කොදෙව් පිලට එරෙහිව පිතිකරණය, පන්දු යැවීම හා පන්දු රැකීම යන සෑම අංශයෙන්ම ප්‍රබල දක්ෂතා දැක්වූ ශ්‍රී ලංකා තරුණ ක්‍රිකට් ක්‍රීඩකයෝ ඊයේ අබුඩාබි ෂෙයික් සහීඩ් ක්‍රීඩාංගණයේ විදුලි ආලෝක ධාරා මැද පැවැති තරගයෙන් ලකුණු 20ක විශිෂ්ට ජයක් වාර්තා කළහ. මේ හේතුවෙන් ලෝක ශූර කොදෙව්වෝ විස්සයි 20 ක්‍රිකට් තරගාවලිය අතරතුරදීම ඉවතට විසිවී ගියහ.

ශ්‍රී ලංකාව සුපිරි අට වටයෙන් අවසන් පුර්ව වටයට සුදුසුකම් ලබා ගැනීමට ප්‍රමාණවත් ලකුණු ලබා නොතිබූ හෙයින් ඊයේ තරගය මෙවර ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකා පිලේ අවසන් තරගය විය. මේ අවසන් තරගයේදී ශ්‍රී ලංකාවට ගෞරවයක් ගෙන දෙමින් තරගය නිමා කිරීමට තරුණ ශ්‍රී ලංකා ක්‍රීඩකයන් දැක්වූ දක්ෂතා ක්‍රිකට් විචාරක පැසසුමට පාත්‍ර විය. මේ අයුරින් සටන්කාමී ලෙස ක්‍රීඩාවේ නියැළෙන ශ්‍රී ලංකා ක්‍රිකට් පිලට ඉදිරියේදී ඉතා පැහැබර අනාගතයක් ඇතැයි ක්‍රිකට් විචාරක මතය වී තිබේ.

චරිත් අසලංක පන්දු 41කදී හයේ පහරක් හා හතරේ 8ක් සමග වාර්තා කළ ලකුණු 68ක අනර්ඝ ඉනිමෙන් හා පැතුම් නිශ්ශංක පන්දු 41කදී හතරේ පහර 5ක සමග ලකුණු 51ක් ලබා වර්ණවත් කළ ප්‍රහාරයෙන් ශ්‍රී ලංකා පිල ඕවර් 20 අවසානයේ කඩුලු 3ක් දැවී ලකුණු 189ක් ලබා ගත්තේය. එය මෙවර තරගාවලියේ ශ්‍රී ලංකා පිල ඉනිමකදී රැස් කළ වැඩිම ලකුණු ප්‍රමාණය වූ අතර, බටහිර ඉන්දීය කොදෙව් පිල පිළිතුරු ඉනිමට ඕවර් 20කදී කඩුලු 8ක් දැවී ලකුණු 169ක් ලබා ගත්තේය. 

තරගයේ වීරයා සම්මානය දිනාගත් චරිත් අසලංක ලෝක කුසලාන තරගාවලියේ තරග 6කදී අර්ධ ශතක 2ක් සමග ලකුණු 231ක් හිමිකර ගනිමින් මෙවර විස්සයි20 ලකුණු ලාභීන් අතර පෙරමුණේ පසුවන අතර, පැතුම් නිශ්ශංක අර්ධ ශතක 3ක් සමග තරග 8කදී ලකුණු 221ක් ලබා දෙවැනි තැනට පැමිණියේය.

ආරම්භක පිතිකරු පිතිකරු පැතුම් නිශ්ශංක සමග දෙවැනි කඩුල්ලට එක්වූ චරිත් අසලංක පන්දු 61කදී ලකුණු 91ක සම්බන්ධතාවක් ගොඩ නැංවීමෙන් ශ්‍රි ලංකා ඉනිම ප්‍රාණවත් විය. පැතුම් නිශ්ශංක පන්දු 41කදී හතරේ පහර 5ක සමග ලකුණු 51ක් ලබා සිටියදී ඩ්වේන් බ්‍රාවෝ වේගය අඩාළ කරමින් එවූ පන්දුවකට ඩ්‍රයිව් පහරකට යෑමේදී ඩීප් මිඩ්විකට් හී සිටි හෙට්මේයර් උඩ පන්දුව රැක ගැනීමෙන් ඔහුගේ ඉනිම නිමා විය.

කාසියේ වාසිය දිනාගත් බටහිර ඉන්දීය කොදෙව් පිල මුලින් පන්දුවට පහරදීමට ශ්‍රී ලංකාවට ආරාධනා කළ අතර, කුසල් ජනිත් පෙරේරා මුල්ම කඩුල්ල ලෙස ලකුණු 42දී දැවී ගියේය. මද වේග පන්දු යවන ඇන්ඩ්‍රි රසල් එවූ පන්දුවකට ඔහු අතටම පහසු උඩ පන්දුවක්දි කුසල් ජනිත් ක්‍රීඩාගාරයට ගිය අතර, ඔහු පන්දු 21කදී හයේ පහරක් හා හතරේ පහරක් සමග ලකුණු 29ක් ලබා ගත්තේය.

කොදෙව් ඉනිමේ පළමු කඩුලු දෙකම ලකුණු 10ක් වෙද්දී දවා ගැනීමට වමතින් මද වේග පන්දු යවන බිනුර ප්‍රනාන්දු සමත් වූ අතර, ලොව අති දක්ෂ ප්‍රහාරක ක්‍රිස් ගේල් ලකුණක් ලබා සිටියදී පළමු ගොදුර බවට පත් විය. අනෙක් අන්තයේ ආරම්භක පිතිකරු එවීන් ලෙවිස් කෙළින්ම පන්දුව කඩුල්ලේ දැවටීමට සැලැස්වීමෙන් ලකුණු 8ක් ලබා සිටියදී දවා ගැනීම ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ට මහත් අස්වැසිල්ලක් විය.

මෙවර ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ දක්නට ලැබුණු අලංකාර උඩ පන්දු කිහිපයෙන් එකක් වූ භානුක රාජපක්ෂ ඊයේ රැකගත් උඩ පන්දුව මේ තරගයේ හැරවුම් ලක්ෂ්‍යයක් විය. චාමික කරුණාරත්නගේ පන්දුවකට රොස්ටන් චේස් ලකුණු 9ක් ලබා සිටියදී පැයට කිලෝමීටර් 108ක පමණ වේගයෙන් එල්ල කළ උඩ පන්දුව ෂෝට් මිඩ්විකට් හී සිටි භානුක රාජපක්ෂ රැක ගැනීම කාගේත් සිත් පැහැරගත් අපූර්ව අවස්ථාවක් විය.

කොදෙව් පිලේ භයානකම පිතිකරු වූ නිකොලොස් පූරාන් පන්දු 34කදී ලකුණු 46ක් ලබා සිටියදී හා නායක කිරාන් පොලාඩ් ලකුණු නොලබාම දවා ගැනීම පිළිවෙලින් දුෂ්මන්ත චමීරගේ හා වනිඳු හසරංගගේ පන්දුවලින් දවා ගැනීම කොදෙව්වන්ට පිටුපසට යෑමේ ප්‍රධාන සිදුවීම් විය.

බිනුර ප්‍රනාන්දු, වනිඳු හසරංග හා චාමික කරුණාරත්න කඩුලු දෙක බැගින් දවාගත් අතර, දුෂ්මන්ත චමීර හා දසුන් ශානක කඩුල්ල බැගින් බිඳ හෙළා ගැනීමට සමත් වූහ.

0 comment
0

Related Posts

Leave a Comment