Home කාලීන පුවත් විශ්වකර්ම වැඩකරන කරන්දෙණිය රෝහලේ හිතහොඳ දොස්තර

විශ්වකර්ම වැඩකරන කරන්දෙණිය රෝහලේ හිතහොඳ දොස්තර

by Hela news

කරන්දෙණිය දිස්ත්‍රික් රෝහලේ ඩී.එම්.ඕ. මහතා හරි අපුරු වෛද්‍යවරයෙකි. ඔහු හිතහොඳ දොස්තර කෙනෙකි. හේ වෛද්‍යවරයකු ලෙස මිනිසුන්ට අසීමිත සේවාවක් කරන්නේය. හේ කරන්දෙණිය දිස්ත්‍රික් රෝහලේ දිස්ත්‍රික් වෛද්‍ය නිලධාරී ප්‍රනීත් තොම්මාදුරය. මෙකී වෛද්‍යතුමන් විටෙක පෙදරේරුවෙකි. තවත් විටෙක වඩු කාර්මිකයෙකි. වැද්දුම්කරුවෙකි. තවත් අවස්ථාවක හේ ජලනල කාර්මිකයෙකි. කම්කරුවාගේ කටයුතුද ඔහුට හොඳට හුරුපුරුදුය. කොටින්ම කිවහොත් කරන්දෙණිය රෝහලේ ඩී.එම්.ඕ. මහත්තයා තුන් ඉරියව් ක්‍රීඩකයෙකි.

ඔහුට දොස්තර රුකියාව පමණක් නොව කම්කරු, වඩුකාර්මික, වැද්දුම්ශිල්පය, වාස්තු විද්‍යාව, පේදරේරු යකඩ වැඩ, කාර්මික යන වෘත්තීන් හොඳට හුරුපුරුදුය. හේ වෛද්‍යවරයකු පමණක් නොව මෙකී වෘත්තීන් පිළිබඳ ඇති හසල දැනුම රෝහලේ භෞතික කටයුතු සංවර්ධනය කිරීම සඳහා රෝහලට ලබාදෙයි.

ඇතැමුන්ට වෘත්තීය ගරුත්වයෙන් මහන්තත්ත්වයෙන් ඉදිමුණු අයකුට කරන්දෙණිය රෝහලේ ඩී.එම්.ඕ. මහත්තයා විකෘතියක් ලෙස පෙනෙන්නට පුළුවන. ඔහු විසින් මේ කරනු ලබන කාරියන් පිළිබඳ ඇතැම්විට සමාජයේ බෝහෝ දෙනෙකුට නොයෙකුත් විවේචන පවා තිබෙන්නට පුළුවන. ප්‍රනීත් වෛද්‍යතුමාගේ උපන්ගම මාදම්පාගමය. ඔහු ඌරුබොක්ක රෝහල, ඇල්පිටිය, අම්බලන්ගොඩ, යන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලවල වෛද්‍ය නිලධාරිවරයා වශයෙන් සේවය කොට ඇත්තේය. 49 හැවිරිදි වියේ පසුවන  ප්‍රනීත් වෛද්‍යතුමන් දෙදරු පියෙකි. බිරිඳ වන ඩී.එල්. සුරවීර ගුරුවරියකි. පුතු ටී. සහන් ප්‍රනීත් හා දියණිය වන ටී. සචිනි තාරුකා අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයේ ඉගෙනුම ලබති.
ප්‍රනීත් වෛද්‍යතුමා සමඟ අපි කථාබහට වැටුණෙමු. වෛද්‍යතුමාගෙන් ඇසිය යුතු ප්‍රශ්න ගොන්නක් මා සතුව තිබුණි. වෛද්‍යතුමනි, ඔබතුමාට හොඳට බදාම අනන්න පුළුවන්, පැස්සුම් වැඩ පුළුවන්, වඩු වැඩ පුළුවන් මේවා කොහොමද ඉගෙන ගත්තේ. මගේ පළමු  ප්‍රශ්නය විය.

මා සාමාන්‍ය පෙළ විභාගයට පෙනී ඉඳලා ප්‍රතිඵල එනතෙක් වඩු මඩුවක වැඩකළා. පාසලේදීත් වඩු වැඩ කළා. වෛද්‍ය පිඨයට ඇතුළත් වෙනකම් පෙදරේරු වැඩකළා.  මාර්ග අලුත්වැඩියා කරන පුද්ගලික සමාගමක කාලයක් වැඩකළා. කම්කරු වැඩකළා.  වැද්දුම් වැඩ කළා. පින්තාරු කිරීම, වාහන අලුත්වැඩියාව, වාස්තු විද්‍යාව ඇතුළු හැම දෙයක්ම කරන්න පුළුවන්. ඇතැම් දේවල් යුටියුබ් එකෙන් ඉගෙන ගත්තා. කොහොම හරි මා වෛද්‍යවරයකු ලෙස පත්වීමට පෙර රැකියාවල් 11ක් විතර කරලා තියෙනවා. ප්‍රනීත් වෛද්‍යතුමා කථාවට මුලපුරමින් එසේ කීවේය. 
වෛද්‍යතුමන් රෝහලේ ප්‍රධාන පරිපාලකයා වුවද එම කටයුතු මෙහෙයවන්නේ නැතිව අධීක්ෂණය කරන්නේ නැතිව රෝහලේ කාර්ය මණ්ඩලය සමඟ එකතු වී කම්කරුවාගේ භුමිකාවද සිදුකරනවා. මාගේ දෙවැනි ප්‍රශ්නය විය. ඔහු සිනහසුණේය.
මේකත් එක් පරිපාලන ක්‍රමවෙදයක්. ආයතන ප්‍රධානියා වශයෙන් මගේ අරමුණ තමයි රෝගී ජනතාවට හොඳ රෝගී සත්කාරක සේවාවක් ලබාදීම සඳහා රෝහලේ ඇති අඩුපාඩු සම්පූර්ණ කොට ලබාදීම. ඇත්තටම ඉතා සුළු වියදමකින් මේ කටයුතු කරන්න පුළුවන්. ඒ නිසා රෝගින්ට ප්‍රතිකාර කිරීමටත් වඩා රෝහලේ පරිපාලනමය කටයුතු සඳහා මා ප්‍රායෝගිකව මැදිහත් වෙනවා. ඒවා ක්‍රියාවෙන් ඔප්පුකරලා පෙන්වනවා. මේ හැමදෙයක්ම කරන්නේ ආත්ම තෘප්තිය වෙනුවෙන්. ප්‍රනීත් වෛද්‍යවරයා කියන්නේය.

ප්‍රනීත් මහතා කරන්දෙණිය රෝහලේ වෛද්‍ය නිලධාරිවරයා ලෙස පත්වී එන්නේ මීට වසර දෙකකට පමණ ඉහතදීය. ඔහු රෝහලේ වැඩභාරගත් පසු ඔහුගේ පළමු කාරිය වූයේ රෝහලේ පවතින අඩුපාඩු පිළිබඳ සොයා බැලීමය.
අපි හැමදෙයක් පිළිබඳ ධනාත්මක විදියට හිතන්න ඕන. රෝහල් කාර්ය මණ්ඩලය සමඟ මම ඉතා සුහදව කටයුතු කරනවා. මම එනවිට රෝහලේ 02 වාට්ටුව වසා දමලා තිබුණේ.  ඒ සඳහා හේතුවෙලා තිබුණේ වැසිකිළි පද්ධතිය අවහිරවීමයි. මා ඇතුළු කාර්ය මණ්ඩලය එක්වෙලා පැය 03ක් 04ක් වගේ ඇතුළත එම ගැටලුවට විසඳුම් ලබාදුන්නා. ළමා වාට්ටුවේ වහලයේ සෙවිලි තහඩුවක් රෑටා ගිය නිසා ළමා වාට්ටුව වසා දමලා තිබුණේ. එක අලුත් වැඩියා කළා. බෙහෙත් ගබඩාවේ සිවිලිම කඩාගෙන වැටිලා බෙහෙත් ගබඩාව ප්‍රයෝජනයට ගන්න බැරි විදියට තිබුණේ. අපි එකතුවෙලා සිවිලිමක් ගහලා ඒක නැවත ප්‍රයෝජනයට ගත්තා. කොවිඩි වාට්ටුව ආරම්භ කිරීමට ඒ කටයුතු සඳහා රුපියල් ලක්ෂ 40ක් විතර ඇස්තමේන්තු කරලා තිබුණා.
නමුත් රෝහලේ සේවකයන්ගේ ශ්‍රම දායකත්වය හා පරිත්‍යාගශීලීන්ගේ උදව් උපකාර ඇතිව  කොවිඩ්  වාට්ටුවේ වැසිකිළි 12ක් අලුත්වැඩියා කිරීමට කටයුතු කළා. වාට්ටුවේ  බිමට ටයිල් ඇල්ලීමට කටයුතු කළා. පරිත්‍යාගශීලීන්ගේ උදව් උපකාර ඇතිව. දානපතියන්ගේ උදව් උපකාර ඇතිව අපේ ශ්‍රමදායකත්වය ලබාදෙමින් එම අඩුපාඩු සපුරාලීමට කටයුතු කළා. කොවිඩ් වසංගතය නිසා රජයට විශාල වශයෙන් ආදායම් මාර්ග අහිමිවෙලා තියෙනවා. ඒ නිසා රජයට බරක් නොවී දානපතියන්ගේ සහයෝගය ඇතිව රෝහලේ අඩුපාඩු සපුරාගැනීමට කටයුතු කිරීම තමයි අපේ බලාපොරොත්තුව. අපිට තියෙන සම්පත්වලින් රෝගීන්ට උපරිම සත්කාරක සේවාවක් ලබාදීම තමයි අපේ  අරමුණ රෝහල ඉදිරිපිට මෙම වැසි ආවරණය ඉදිකිරීම සඳහා අවශ්‍ය භාණ්ඩ මිලදී ගන්න ලක්ෂ දෙකහමාරක මුදලක් දානපතියකුගෙන් ලැබුණා. මා ඇතුළු රෝහල් කාර්ය මණ්ඩලයේ සේවකයන් අපේ ශ්‍රමය මුදල් බවට පත්කරගෙන ඒ කටයුතු කරගෙන යනවා. රෝහලේ ආරක්ෂිත වැටක් ඉදිකළා. ඒ සඳහා ශ්‍රම දායකත්වය ලබාදුන්නේ රෝහල් සේවකයන් විසින්.

මගේ අරමුණ රජයට දෙනවා මිසක ආණ්ඩුවෙන් දෙයක් ගැනීම නෙවෙයි. පසුගිය කාලයේ වෛද්‍යවරුන්ගේ ඕ.ටී. පැය ගණන පැය 180 දක්වා වැඩිකළා. මේ පිළිබඳ ලොකු ආන්දෝලනයක් පවා ඇතිවුණා. නමුත් මා වැඩියෙනුත් වැඩකරලා ඕ.ටී. පැය 120යි ගත්තේ. රජයට බරක් වෙන්න මා කැමති නැහැ. කොවිඩි අරමුදලටත් මගේ පුද්ගලික මුදලින් රුපියල් ලක්ෂයක මුදලක් පරිත්‍යාග කළා* වෛද්‍ය ප්‍රනීත් කීවේය.

ඉන්පසු ප්‍රනීත් වෛද්‍යවරයා වහළය මත නැගී යකඩ බටයක් කපන්නට විය. ඔහු කඩියකු මෙන් වැඩය. රෝහලේ කනිෂ්ඨ කාර්යමණ්ඩලයේ තවත් සේවකයන් පිරිසක්  රෝහලේ කැඩීගිය තාප්පයක් අලුත්වැඩියා කරමින් සිටියහ. වහළයෙන් බැසගත් ප්‍රනීත් මහතා සවලක් ගෙන බදාම ඇනීමට පටන් ගත්තේය. හේ  සවලෙන් බදාම අනනු ලැබුවේ පළපුරුදුකාරයකු මෙනි. ඉන්පසු කැඩීගිය ජලනළ පද්ධතියක් අලුත් වැඩියා කිරීමට  පටන් ගත්තේය. එම කාරිය අවසන් වී බිත්තියක් බැඳීමට පටන් ගත්තේය. මිනිසුන් කියන්නේ කරන්දෙණිය රෝහලේ ඩී.එම්.ඕ. මහත්තයා හරි අපූරු වෛද්‍යවරයකු බවය. රෝහලට පැමිණෙන රෝගීන් සමඟ ඉතා සුහදව කථාබස් කරමින් රෝගීන්ගේ අවශ්‍යතාවයන් ඉටුකිරීමට කටයුතු කරන්නේය.
සර් රෝගීන් දෙදෙනෙකුගේ රුපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ කරන්න තියෙනවා සුළු සේවකයෙක් පැමිණ කීවේය. මිනිස්සු රස්තියාදු කරන එක හොඳ නැහැනේ. ඒ පරීක්ෂණ දෙක කරලා මම එන්නම්.* එසේ කියමින් වෛද්‍යවරයා කඩිසර ගමනින් රෝහලේ කොරිඩෝව දෙසට ගමන් කළේය. එහි සිටි රෝගීන් දෙදෙනාගේ රුපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ සාම්පල් ලබා ගැනීමට කටයුතු කළේය. ඒ අතර ප්‍රතිකාර ගැනීම සඳහා පැමිණි රෝගින් දෙතුන් දෙනෙකුද වෛද්‍ය ප්‍රනීත් මහතා පරීක්ෂා කිරීමට කටයුතු කළේය.

මෙම ප්‍රදේශයේ අය කියන්නේ කරන්දෙණිය රෝහලේ කණිෂ්ඨ කාර්ය මණ්ඩලයේ අති බහුතරයකට වඩුවැඩ, පේදරේරු වැඩ, ජලනල කාර්මික වැඩ යන හැමදෙයක්ම පුළුවන් බවය. ඇතමුන් කරන්දෙණිය රෝහල හඳුන්වන්නේ රෝගී සත්කාරක සේවා කටයුතුවලට අමතරව රෝහල් සේවකයින්ට වෘත්තිය පුහුණු මධ්‍යස්ථානයක් ලබාදෙන රෝහලක් ලෙසය. කරන්දෙණිය රෝහලේ කාර්ය මණ්ඩලය 58කි. 
ඒ විතරක් නොව කරන්දෙණිය කොවිඩ් වෛද්‍ය ප්‍රතිකාර මධ්‍යස්ථානයේ නේවාසිකව ප්‍රතිකාර ලබන රෝගීන්ගේ මනස සුවපත් කිරීම සඳහා එම පරිශ්‍රය තුළ සංගීතමය වැඩසටහන් ඇතුළු විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට ප්‍රනීත් මහතා කටයුතු කර ඇත්තේය. කොවිඩ් රෝගීන්ට ක්‍රීඩා කිරීමට අත්පන්දු පිටියක් නිර්මාණය කොට ඇත. ඒ විතරක් නොව කොවිඩ් වෛද්‍ය ප්‍රතිකාර මධ්‍යස්ථානය සඳහා පැමිණෙන කොවිඩි ආසාදිත දරුවන්ට අමතර ආහාර සකස් කරගැනීම සඳහා ගෑස් කුකර් ඇතුළු උපකරණ ලබාදීමටද කටයුතු කර ඇත්තේය.

අපේ රෝහලේ ඩී.එම්.ඕ. මහත්තයා සමග ඉතා සහයෝගයෙන් අපි කටයුතු කරනවා. දානපතියන්ගේ උදව් උපකාර ඇතිව රෝහලේ සියලු නඩත්තු කිරීමේ කටයුතු රෝහලේ කාර්ය මණ්ඩල සේවකයන් තමයි කරන්නේ. මේ නිසා රජයට විශාල මුදලක් ඉතිරිවෙනවා.  ප්‍රනීත් වෛද්‍යතුමා ඒ සඳහා අපිට නායකත්වය ලබාදෙමින් අපිත් සමග හරි හරියට වැඩ කරනවා. රෝහල් සේවිකාවක් වන මාලි කුසුමලතා මහත්මිය එසේ කීවාය.

ගාල්ල දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක වෛද්‍ය කේ.එම්. සෝමරත්න මහතා:
නායකයකු වූ විට වැඩබිමට බහින්න ඕන. එසේ නොමැති වූ විට ප්‍රශ්න හඳුනාගන්න බැරිවෙනවා. වැඩබිමට බැහැලා පොඩි පොඩි දේවල් හඳුනාගන්න පුළුවන්. ඒක නායකත්වයේ ලක්ෂණයක්. නායකයා පහළ ශ්‍රේණියේ සේවකයන් සමග ගැවසෙන්න ඕන. අපි ළඟට ප්‍රශ්නය ඒමට කලින් අපි ගිහින් ප්‍රශ්නය හඳුනාගන්න ඕන. ප්‍රනීත් වෛද්‍යතුමා ඒ කාර්යභාර්ය ඉතා හොඳින් ඉටුකරනවා. ලක්ෂ ගණනින් වියදම් යන ඒවා පොඩි වියදමකින් වෛද්‍යතුමා විසඳලා තියෙනවා. ප්‍රනීත් වෛද්‍යවරයකු පමණක් නෙවෙයි පරිපාලකයෙක්. නායකයෙක්. ඒ විදියට ඔහු වැඩකරනවා. ඒ ගැන සතුටුයි.

0 comment
0

Related Posts

Leave a Comment