Home කාලීන පුවත් විමල්, උදය, වාසු ගැටලුවක…

විමල්, උදය, වාසු ගැටලුවක…

by Hela news

ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණු ආණ්ඩුව ඇතුළේ සිටින සෙසු පක්ෂ සමග ජනාධිපතිවරයා කළ සාකච්ඡාව අසාර්ථක වන බව පෙනෙනවාත් සමග විමල් වීරවංශ දුරකථන ඇමතුමක් ගත්තේය.

”මේ වැඬේ හරියන්නෑ… හෙට වැඬේ අපි කරමු…” කී විමල් වීරවංශ දුරකථනය විසන්ධි කළේය.

දුරකථනය අනිත් කෙළවරේ සිටියේ ජයන්ත සමරවීර, පත්ම උදයශාන්ත ඇතුළු ජාතික නිදහස් පෙරමුණේ ක‍්‍රියාකාරිකයින් පිරිසකි. සැබැවින්ම ඔවුන් ඒ වනවිටත් පසුගිය 27 වන සිකුරාදා ආණ්ඩුවේ සිටින පක්ෂ 11ක නායකවරුන්ගේ මූලිකත්වයෙන් කොළඹ සෝලිස් හෝටල් ශාලාවේදී වෙනම හමුවක් පවත්වන්නට සියලූ කටයුතු සංවිධානය කර අවසන්ව තිබිණි.

ජනාධිපතිවරයා සමඟ කළ සාකච්ඡාව අසාර්ථක වීමෙන් පසුව පක්ෂ එකොළහේ නියෝජිතයෝ වෙනම එකතු වී සාකච්ඡා කළේ පසුවදා කොළඹ සෝලිස් හෝටලයේ දී පවත්වන්නට යෙදෙන විශේෂ රැස්වීම ගැනය. ඒ සඳහා ඒකරාශි වන එකමුතුවට ඔවුන් වෙනම නමක්ද යොදාගෙන තිබිණි. ‘මහජන මන්ත‍්‍රණ සභාව’ නමින් එය නම් කර තිබුණු අතර එහිදී යුගදනවි එල්.එන්.ජී. බලාගාරය හා එයට ගෑස් සැපයීමේ අයිතිය ඇමෙරිකානු සමාගමකට හොර රහසේ පවරාදීම සම්බන්ධයෙන් තම කණ්ඩායමේ විරෝධය හා මතය මහජනතාවට ප‍්‍රකාශ කිරීම අරමුණ විය.

සිකුරාදා හවස සෝලිස් ශාලාවට විශාල පිරිසක් පැමිණ සිටියහ. සියලූම ජනමාධ්‍ය මහත් උනන්දුවෙන් එම අවස්ථාව ආවරණය කරන්නට බලා සිටියහ. විශේෂයෙන්ම මුළු දේශපාලන කරළියම බලා සිටියේ විමල් වීරවංශ හා උදය ගම්මන්පිල මෙහිදී මොනවා කියාවි ද කියාය.

කෙසේ හෝ එදින විමල්, ගම්මන්පිල, වාසු ඇතුළු කථිකයෝ ඉදිරිපත් කළ අදහස් දේශපාලන කරළියේ ලොකු උණුසුමක් ඇති කරන්නට සමත් විය.

යුගදනවි බලාගාරය හා ඊට ගෑස් සැපයුම ඇමෙරිකානු සමාගමකට පවරා දීම සම්බන්ධයෙන් ඔවුන්ට ලොකු ප‍්‍රශ්න නොවීය. එහෙත් එම ගනුදෙනුව සඳහා ආණ්ඩුව ක‍්‍රියා කළ ආකාරය සම්බන්ධයෙන් විශාල විරෝධතාවයක් ඔවුන් සතු වූහ.

කෙසේ වෙතත් මෙම යුගදනවි බලාගාරය ගනුදෙනුවෙන් පසුව ලංකාවට ලැබීමට යෝජිත ප‍්‍රතිලාභ සම්බන්ධයෙන් ලොකු ගැටලූවක් නොවීය. මෙම ක්‍ෂේත‍්‍රය පිළිබඳ අවබෝධයක් ඇති සමහරකුගේ මතය වූයේ විදුලි ඒකකය රුපියල් 12 ක් බඳු අඩු මුදලකට ලබා දෙන්නට ගිවිසුම් අත්සන් කරන මෙම ගනුදෙනුව තුළ අනාගතයෙහි දී විදුලි බල මණ්ඩලය සතු මුළු ණය බරම සැහැල්ලූ වී යනු ඇති බව ය. කෙසේ වෙතත් මේ කතාවේ දෙපැත්තක් ඇති බව පැහැදිලි විය.

විමල්, උදය, වාසු ගැටලුවක…අගමැතිත් කලකිරිලා සතුටින් කවුද…?

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඔක්තෝබර් මාසයේ අවසාන දින කිහිපය ගත කළේ තරමක් අවිවේකී පරිසරයක ය.

ආණ්ඩුව අභ්‍යන්තරයේ ඇති වී තිබෙන විසංවාද සමථයකට පත්කර ගැනීම සඳහා ඔහු වැඩි කාලයක් මිඩංගු කළ අතර එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස පිළිබඳ රාජ්‍ය නායක සමුළුවට සහභාගි වීමට ලක ලෑස්ති වීම නිසා ද ඔහුට විවේකයක් නොවීය.

මුළුමහත් ලෝකයම මුහුණ දෙන දේශගුණික විපර්යාස හා පාරිසරික ගැටලූ සාකච්ඡා කිරීමට එක්සත් ජාතීන්ගේ සංවිධානය යටතේ සිටින රටවල් 197 ක ලෝක නායකයින් සහභාගි වන අන්තර්ජාතික සමුළුව මෙවර පවත්වන්නට නියමිතව තිබුණේ ස්කොට්ලන්තයේ ග්ලාස්ගෝ නුවර ය.

”දේශගුණික විපර්යාස, සෞඛ්‍ය, ජෛව විවිධත්ව සහ චක‍්‍රීය ආර්ථිකය සඳහා විසඳුම් සහ ක‍්‍රියාකාරීත්වය” මෙවර එම සමුළුවේ තේමාව විය. එම තේමාව මත තමන්ගේ අදහස් ඉදිරිපත් කිරීම කෙරෙහි ජනාධිපති ගෝඨාභයගේ මුඛ්‍ය අවධානය යොමුව තිබිණි යැයි කීම නිවැරදිය.

සමුළුවට සහභාගිවීම සදහා ජනාධිපතිවරයා 30 වැනිදා රාත‍්‍රියේ දිවයිනෙන් බැහැරව යෑමට නියමිතව තිබුණි.

ඊට පෙර පසුගිය සිකුරාදා දහවල් කොවිඞ් මර්දනය පිළිබඳ කාර්ය සාධක බලකායේ රැස්වීම පැවැත්වූ ජනාධිපතිවරයා රට හමුවේ ඇති අභියෝග කීපයක් පිළිබඳව විශේෂයෙන් සාකච්ඡා කළේය.

පාසල් ළමුන් එන්නත්කරණය හා තුන්වන මාත‍්‍රාව ලබාදීම කෙරෙහි මෙහිදී කමිටුවේ වැඩි අවධානයක් යොමු විය.

රට විවෘත කිරීම හමුවේ මහජනතාව තැනින් තැන යමින් විනෝද වෙමින් නිදහස භුක්ති විඳිමින් හැසිරෙන ආකාරය පිළිබඳ විශේෂඥ වෛද්‍යවරුන්ගේ සතුටක් තිබුණේ නැත.

  • දෙසැම්බර් මැද
    තවත් රැල්ලක්

සෞඛ්‍ය බලධාරීන් පවසා සිටියේ මෙසේ ඇතිව තිබෙන තත්ත්වය පාලනය කර ගත්තේ නැතිනම් නිසැක වශයෙන් ම දෙසැම්බර් මාසයේ මැද වන විට තවත් කොවිඞ් රැල්ලක් හිස එසවීම අනිවාර්ය බවයි. තත්ත්වය පාලනය කිරීමට යෑම තුළ මහජනයා අපහසුතාවයට පත්වීම ගැන ද කතා බහක් ඇති විය. ජනතාව මත නීති රීති බලෙන් පටවා පාලනය කරනවා වෙනුවට අභියෝගය හා අවදානම පිළිබඳ හොඳ අවබෝධයක් ඇති කොට ජනතාව ස්වයං සංයමයකට හා ස්වයං වාරණයකට යොමු කිරීම වඩාත් වැදගත් බව ජනාධිපතිවරයාගේ අදහස විය.

දීර්ඝ කාලයක් වසා දමා තිබුණු රට නැවත විවෘත කර ජන ජීවිතය යථා තත්ත්වයට පත් කරවමින් පාසල්වල අධ්‍යාපන කටයුතු ආරම්භ කිරීමට ගත් පියවර ගැන මහජනතාව ඉතා සතුටින් පසුවන බව මෙහිදී දේශපාලනඥයෝ පෙන්වා දුන්හ.

”ගුරු වර්ජනය අසාර්ථක වුණා. ගොවියෝ දැන් ටික ටික කරුණු අවබෝධ කරගනිමින් වර්ජන, විරෝධතා, උපවාස අත්හැර දමමින් නැවත වගාබිම්වලට ගිහින් වැඩ කරන්න පටන් ගන්නවා…” දේශපාලනඥයෝ කීහ.

මේ අයුරින් කොවිඞ් රැස්වීමේ වැඩකටයුතු ඉතා ඉක්මනින් නිමාවට පත්විය. ඉන් පසුව ජනාධිපතිවරයා තමන්ට ඉතිරිව ඇති කාලය ඉතා හොඳින් කළමනාකරණය කර ගනිමින් ඊළඟට ගියේ අපවත් වී වදාළ වැලමිටියාවේ කුසලධම්ම නාහිමියන්ගේ දේහයට අවසන් ගෞරව දැක්වීමට පෑලියගොඩ විද්‍යාලංකාර පිරිවෙන වෙතය. මෙම ගමනට ජනාධිපතිවරයා සමඟ අමාත්‍ය ප‍්‍රසන්න රණතුංග, රාජ්‍ය අමාත්‍ය ප‍්‍රසන්න රණවීර එක්ව සිටියහ.

පළමුවෙන්ම දේහයට අවසන් ගෞරව දැක්වූ ජනාධිපතිවරයා ඉනික්බිතිව එතන වැඩ සිටි තරුණ භික්ෂුන් වහන්සේලා පිරිසක් සමඟ ඉදිරි වැඩ කටයුතු ගැන කතාබහක නිරතව සිටියේය. වැලමිටියාවේ කුසලධම්ම හිමියන්ට මහා විශාල ගෝල පරම්පරාවක් සිටි බැවින් එම පරපුර නියෝජනය කරමින් නිරතුරුවම ශ‍්‍රී දේහය වටකරගෙන භික්ෂූන් වහන්සේලා වැඩ සිටියහ.

”ගරු සිරිමාවෝ මැතිනියගේ කාලේ ඉඳලම අපේ නායක හාමුදුරුවෝ අපේ කඳවුර එක්ක හොඳ අවබෝධයක් ඇති කරගෙන වැඩ කරමින් හිටියා.” ප‍්‍රසන්න රණතුංග කීවේය.

”මට කඹුරුගමුවේ වජිර ලොකු හාමුදුරුවෝ හමුවෙන්නත් ඕන…” ජනාධිපතිවරයා කීවේය.

ඒ අනුව ඉන් පසුව ඔවුන් ගියේ විද්‍යාලංකාර බිමේම වැඩ වාසය කරන සබරගමුව විශ්වවිද්‍යාලයේ කුලපති, මහාචාර්ය කඹුරුගමුවේ වජිර නායක හාමුදුරුවන් වහන්සේ මුණගැසෙන්නට ය.

උන්වහන්සේ ජනාධිපතිවරයා ඉතා උණුසුමින් පිළිගෙන කතාබහ කරන්නට වූහ. මෙවන් ඉහළ ගනයේ උගත් පැවිදි මිණිපහන් ජාතියෙන් සමුගැනීම ගැන මහත් විස්සෝපය පළ කරමින් වජිර හාමුදුරුවෝ ජනාධිපතිතුමා ඉදිරියේ අදහස් දැක්වූහ.

එම සාකච්ඡාවෙන් පසුව පෑලියගොඩ විද්‍යාලංකාර පිරිවෙනේ වැඩබලන පරිවේණාධිපති වැලමිටියාවේ ඥානරතන ස්වාමීන් වහන්සේ මුණගැසෙන්නට ගිය ජනාධිපතිවරයා ආදාහනෝත්සවයේ වැඩකටයුතු සහ පිරිවෙනේ ඉදිරි වැඩ කටයුතු ගැන ඉතා වැදගත් කරුණු රාශියක් හුවමාරු කරගත්හ. ඥානරතන හිමියන් සමඟ පිරිවෙනේ වගකීම් දරන ස්වාමීන් වහන්සේලා පිරිසක් ද වැඩ සිටියහ.

මෙම සාකච්ඡාවේදී ස්වාමීන් වහන්සේලා ඉතා වැදගත් කරුණු කීපයක් මතු කර සිටියහ.

”අපේ රට ලෝකයෙන්ම ථෙරවාදී බුදු දහම ඉතිරිවෙලා තිබෙන ප‍්‍රමුඛ රට. ඒත් අපිට තවම අපේ රටේ ථෙරවාදී දහම ඉගෙන ගන්න කියලා විශේෂ තැනක් නැහැ. ථෙරවාදී දහම ලෝකයටම උගන්නන්න අපිට ශාස්ත‍්‍රාලයක් අවශ්‍යයි.” ස්වාමින් වහන්සේලා කීහ.

”ඒ විතරක් නෙවෙයි. ථෙරවාදී දහම උගන්වන්න ශාස්ත‍්‍රාල බිහිකරන අතර ත‍්‍රිපිටකය ඇතුළු ථෙරවාදී පතපොත සංරක්ෂණය කරන්නත් අපිට වැඩපිළිවෙළක් තියෙන්න ඕන. ඒ සඳහා පතපොත ලියන්න, පත පොත මුද්‍රණය කරන්න මුද්‍රණාල පහසුකම් ඇති කරගන්නත් ඕන. මේ පතපොත ඉංග‍්‍රීසියට පරිවර්තනය කරලා ලෝකය පුරා බෙදා හරින්නත් වැඩපිළිවෙළක් තිබුණ නම් තමයි හොඳ…”

මේ සම්බන්ධයෙන් ඉතා ඉක්මනින් අවශ්‍ය ඉදිරි පියවර ගන්නට පොරොන්දුවක් දුන් ජනාධිපතිවරයා එම සාකච්ඡාවෙන් නික්ම ආවේ එදින රාත‍්‍රියේ තමන්ට යෙදී තිබෙන නොවැළැක්විය හැකි ලෝක නායක සමුළුව ගැන ද කරුණු කාරණා කීපයක් මතක් කරමිනි.

සාකච්ඡාව නිමවා එළියට බැස්සත් ජනාධිපතිවරයාට එකපැහැර එතනින් නික්ම එන්නට හැකි වූයේ නැත. මන්ද කුසලධම්ම හිමියන්ගේ ගමේ ළඟම ඥාතීන් පිරිසක් පැමිණ ජනාධිපතිවරයා හා කතා බහ කරන්නට රැඳී සිටීම නිසාය. ඔවුන් සමග ද මද වේලාවක් රැඳී සිටිමින් කතාබහ කරන්නට ද ජනාධිපතිවරයා උනන්දු විය.

”කුසලධර්ම හාමුදුරුවෝ වගේ උගත් පැවිදි මිණි පහනක් පුංචි කාලේ ඉඳලම රැකබලාගෙන ශාසනයට දායක කරපු ඔබතුමන්ලා ඔක්කොම කරලා තියෙන්නේ සුළුපටු පුණ්‍යකර්මයක් එහෙම නෙමෙයි. ඒ ගැන මුළු ජාතියම ඔබතුමන්ලාට ස්තුතිවන්ත වෙන්න ඕන.” ජනාධිපතිතුමා ඉතා ප‍්‍රසන්න ලීලාවෙන් පවසා සිටියේය.

එම ඥාතීන්ට ජනාධිපතිවරයා සමඟ කතාබහ කිරීමට පමණක් නොව, සමූහ ඡායාරූපයකට පෙනී සිටින්නට ද අවශ්‍යව තිබිණි, ජනාධිපති ගෝඨාභය ඉතා ඕනෑකමින් ඊට ද අවස්ථාව සලසා දෙමින් ඉක්බිති විද්‍යාලංකාර බිමෙන් පිටත්ව ආවේය.

පහුවදා එනම් තිස්වැනි සෙනසුරාදාට පහන් වන මොහොතේ ජනාධිපතිවරයා දේශගුණික විපර්යාස පිළිබඳ ජගත් සමුළුවට සහභාගි වීම සඳහා කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර ගුවන්තොටුපළින් ස්කොට්ලන්තය බලා පිටත්ව ගියේය.

ජනාධිපති ගෝඨාභය ඇතුළු දූත පිරිස ස්කොට්ලන්තයේ ග්ලාස්ගෝ ගුවන් තොටුපළින් එරටට ගොඩ බසින විට එරට වේලාවෙන් දහවල් 12. 30 පමණ වී තිබිණි. බි‍්‍රතාන්‍යයේ ශ‍්‍රී ලංකා මහ කොමසාරිස් සරෝජා සිරිසේන මහත්මිය විසින් ජනාධිපතිවරයා ඇතුළු දූත පිරිස එහිදී උචිත හරසරින් යුතුව පිළිගනු ලැබුවා ය.

ඉනික්බිති ජනාධිපතිවරයාටත් සමුළුව සඳහා සූදානම් වීමට වැඩි කාලයක් නොවීය.

රටවල් 197 රාජ්‍ය නායකයනුත් එම රටවල්වලින් පැමිණි ඉහළ පෙළේ ව්‍යාපාරිකයින්, බුද්ධිමතුන්, පරිසර විද්‍යාඥයන්, මෙන්ම ප‍්‍රාමාණික උගතුන් 25,000ක් පමණ මෙම සමුළුවට සෘජුවත් වක‍්‍රවත් සහභාගිවීමට නියමිත වූහ.

ශ‍්‍රී ලංකාව නියෝජනය කරමින් මහාචාර්ය ජී. එල්. පීරිස්, පරිසර අමාත්‍ය මහින්ද අමරවීර, සූර්ය බලය සුළං හා පුනර්ජනනීය බලශක්ති පිළිබඳ රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක, ජනාධිපති විශේෂ උපදේශක ලලිත් වීරතුංග, විදේශීය ලේකම් අද්මිරාල් ජයනාත් කොළඹගේ ඇතුළු තවත් කීප දෙනෙක් ජනාධිපතිවරයාගේ මෙම විශේෂ දූත පිරිසට අයත් වූහ.

  • මෛත‍්‍රී මහින්දට කනට කර කී රහස

ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක මුදල් ඇමැති බැසිල් රාජපක්ෂට පසුගිය සතිය අතිශයින් කාර්ය බහුල දින කීපයක්ම විය. ඊට ප‍්‍රධාන හේතු දෙකක් තිබිණි. එකක් 2022 සඳහා වන අයවැය ඉදිරිපත් කිරීමට දිවා රැයේ වෙහෙස වෙමින් සූදානම් වීමයි. දෙවැන්න ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ 05 වන ජාතික සමුළුවයි.

පොහොට්ටුව යනුවෙන් රටේ ප‍්‍රචලිත වූ ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ නමැති අලූත් දේශපාලන පක්ෂයක් දහසකුත් එකක් ප‍්‍රශ්න හා අභියෝග මැද බිහිකරමින් වසරක් ඇතුළත රටේ ප‍්‍රධානම දේශපාලන පක්ෂය බවට මහා ජන බලවේගයක්ද සහිතව සංවිධානය කිරීම එතරම් ලෙහෙසි පහසු කාර්යයක් නොවීය.

මීට වසර පහකට පෙර බැසිල් රාජපක්ෂ එය සිදුකළේ මහින්ද රාජපක්ෂ නමැති මහ පොළොවේ පය ගැසූ නායකයා වටා ගෙතුණු ජන බලය හරි අතට සංවිධානය කරමිනි.

එවන් පක්ෂයක් බිහි කර වැඩිකලක් යන්නට මත්තෙන් ජාතික මැතිවරණ එකක් පසුපස එකක් ජයග‍්‍රහණය කරමින් මේ රටේ ජනාධිපතිවරයෙක් හා ආණ්ඩුවක් පිහිටුවීමට සමත්වූ සුවිශේෂී පක්ෂයට වසර පහක් සපිරීමද විශේෂ සිද්ධියකි.

මෙම අවස්ථාව සැමරීම සඳහා උත්සවයක් පවත්වන්නට ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ කටයුතු සංවිධානය කළේ කලබලකාරී පරිසරයක් මධ්‍යයේය. ජනාධිපතිවරයා රටේ නොවීය. කොවිඞ් වසංගතය නිසා පනවා තිබූ සංචරණ සීමා යන්තමින් ඉවත් කළා පමණි. රෝග පැතිරීම හා මරණ පිළිබඳ සෞඛ්‍ය අංශ නිර්දේශද රාශියකි. අයවැය කටයුතු නිසා තිබූ අවිවේකී බවේ අඩුවක්ද නොවීය. ඒ සියල්ල මධ්‍යයේ වුව සාර්ථක සමරු උත්සවයක් පක්ෂ සම්මේලනයක් පවත්වන්නට ලහි ලහියේ කටයුතු සූදානම් කරන්නට බැසිල් රාජපක්ෂට සිදුවිය.

උත්සවය පසුගිය 02 වැනි අඟහරුවාදා කොළඹ නෙළුම්පොකුණ රඟහලේදී පැවැත්වුණේ අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙනි. මේ සඳහා ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ හා මේ ආණ්ඩුවේ සියලූම පක්‍ෂ නායකයන්ට ආරාධනා කර තිබිණි.

පසුගිය දිනවල ආණ්ඩුව අභ්‍යන්තරයේ පැවැති දේශපාලන අලකලංචි නිසාදෝ ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මෙම උත්සවයට සහභාගිවී සිටියේ නැත. එහෙත් එම පක්ෂය මෙම උළෙල නියෝජනය කර තිබිණි. ඒ හරුණු විට සියලූම ආරාධිතයන් මේ සඳහා පැමිණ සිටියහ.

උත්සවය සඳහා විමල් වීරවංශ සහභාගි නොවීම යම් යම් අයගේ කතාබහට මාතෘකා වූ කාරණාවක් වුවත් ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් මෛත‍්‍රිපාල සිරිසේන හිටපු ජනාධිපතිවරයාත්, මහ ලේකම් දයාසිරි ජයසේකරත් ඇතුළු අනෙකුත් නායකයනුත් පැමිණ සිටීම තුළ අඩුපාඩුවක් නොවීය.

පස්වන සංවත්සර උළෙලේ කැපී පෙනෙන කාරණාව වූයේ එහිදී අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා කරනු ලැබූ සුවිශේෂී කතාවයි. මෙම කතාව වර්තමාන ආණ්ඩුවේ ක‍්‍රියා පිළිවෙත හා දේශපාලන උපායමාර්ග සම්බන්ධයෙන් හොඳ පසුවිපරමක් හා ආපසු හැරී බැලීමක්ම විය. ඇතැමුන්ගේ මතය වූයේ මෙය හොඳ දේශපාලන පාපොච්චාරණයක් බවය.

අග‍්‍රාමාත්‍යවරයා මෙම සංවත්සරයේදී කවර අන්දමේ කතාවක් පවත්වනු ඇද්දැයි කියා රජයේම ඇතැම් අය, මැති ඇමැතිවරු ලොකු අවධානයකින් සිටියහ.

අගමැතිවරයාට එම කතාව ලියා දෙන්නට පවා සමහරු සූදානම් වුවත් අගමැතිවරයාට අවශ්‍ය වූයේ තමන්ට අවශ්‍ය පරිදි කාගේවත් උපදෙස් නැතිව එම කතාව හෘද සාක්ෂියට එකඟව පෙළ ගස්වා ගැනීමටය. ඒ නිසා අගමැතිවරයා එම කතාව සැකසීම සම්බන්ධ කාරණාව අවාසන මොහොත දක්වා රහසක් ලෙස තබා ගන්නට කල්පනා කළේය.

මේ අතර අගමැතිවරයාගේ කතාව කල් තියා ගෙන්වා ගැනීමට ඇමැතිවරු කිහිප දෙනෙක්ම අග‍්‍රාමාත්‍ය මාධ්‍ය ලේකම් විජයානන්ද හේරත්ට කතා කරමින් විමසා සිටියහ.

ඒ කතාව නම් තවම හදල ඉවර නෑ….. ලේකම්වරයා කීවේද බොරුවක් නොවීය. ඔවුන් ඒ කතාව දුටුවේ උත්සවයට දවසක් තිබියදී පසුගිය සඳුදා දිනයේය.

අගමැති මහින්දගේ එම කතාව නිසා වඩාත්ම සතුටට පත්වුණේ ආණ්ඩුව ඇතුළේ සිටින සෙසු දේශපාලන පක්ෂයි. දේශපාලන පක්ෂවලින් අපරිමිත ලෙස වැඩගෙන බලයට ආපසු එම පක්ෂ අමතක කර එම පක්ෂ නොතකා හැර වැඩකිරීම ගැන පශ්චාත්තාපයක් එම කතාව ඇතුළේ අන්තර්ගත විය.

කොටින්ම කිවහොත් අගමැතිවරයාගේ මුළු කතාව පුරාම වූයේ කළගුණ අමතක කළ යුතු නැති බවයි. මුල අමතක කළ යුතු නැති බවයි. ඉහළට නගින්නට උපකාර කළ හිණිමගට පයින් ගැසිය යුතු නැති බවයි. ඔරුවෙන් ගඟ තරණය කළ පසු හබල අතහැර දැමිය යුතු නැති බවයි.

අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා කතාව අවසන් කර පහළට පැමිණි විට හිටපු ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා ඔහුගේ අතින් අල්ලා ඔහුගේ කනට කර මොන මොනවාදෝ පවසනු බොහෝ දෙනෙක් දුටු දර්ශනයක් විය.

ඔහු මොනවාද ඒ කනට කර කීවේ යැයි අගමැතිතුමාට හිතවත් බොහෝ දෙනෙක් ඒ මොහොතේම විමසා සිටියහ.

කතාවට ප‍්‍රශංසා කළා. අගය කළා එච්චරයි. අගමැති සිනහසෙමින් කියා සිටියේය.

එහෙත් මෛත‍්‍රිපාල සිරිසේන ඔහුට පවසා තිබුණේ ඊටත් වඩා වටිනා දෙයකි. එනම් ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය මතක් කිරීම හා අගය කිරීම ගැන ප‍්‍රශංසාවකි. මුළ අමතක නොකර සියල්ල මතක්කර කීම ගැන ලොකු ප‍්‍රශංසාවකි.

  • සමුගන්නා හරීන් ප‍්‍රනාන්දුට
    සජිත්ගෙන් ලැබුණු තෑග්ග

වත්තල ආසනයේ නව සංවිධායක ලෙස හරින් ප‍්‍රනාන්දු මහතා පත් කරන්නට සජිත් පේ‍්‍රමදාස තීරණය කළේ පසුගිය දිනකය. නව පත්වීමෙන් පසුව හරීන් වත්තලදී තම ප‍්‍රචාරක කාර්යාලය විවෘත කළේ පසුගිය සඳුදාය.

වත්තල නගර මධ්‍යයේ සුවිසල් තට්ටු හතරක ගොඩනැගිල්ලක ඉහළ සිට පහළටම ඔහුගේ කාර්යාලය පිහිටා තිබුණේය. තොරතුරු සන්නිවේදන ශාලාවක්, රැස්වීම් ශාලා කිහිපයක්, කාර්යාල කාමර කිහිපයක්, සම්මන්ත‍්‍රණ ශාලාවක් ඇතුළු පක්ෂ කාර්යාලයක දකින්නට නොමැති තරම් අපූරු සහ නවීන අංගෝපාංගයන්ගෙන් සමන්විතව ඔහුගේ කාර්යාලය සකසා තිබුණි.

පක්ෂ නායක කාරකාදීන් විශාල පිරිසක් එම අවස්ථාවට එක්ව සිටි අතර රැස්වීම පැවතියේ පක්ෂ කාර්යාලයටම යාබදව පිහිටා තිබූ බිම් මහලේ විශාල ඉඩක ය. ශාලාව පිරි ඉතිරී ගොස් තිබිණි. උත්සව සභාව ආරම්භ වූයේ වෙනත් උත්සවවලට වඩා වෙනස් මුහුණුවරකිනි.

සජිත් සහ හරින් නිවේදකයාගේ ආරාධනාවෙන් වේදිකාවට ගොඩ වුණු අතර එම ස්ථානයේදීම සජිත් හරින්ට අදාළ වත්තල ආසන සංවිධායක ලිපිය අත්සන් කොට ඔහු අතට පිරිනැමීය. හරින් ඉන් අනතුරුව සිය නායකයා අතට තවත් ලිපියක් භාර දුන්නේය. ඒ ලිපිය කුමක්දැයි බොහෝ දෙනා අතර කසුකුසුවක් ඇති විය. නිවේදකයා ඒ කසුකුසුව දුරු කළේ ය.

”වත්තල ආසන සංවිධායකකම භාරගත්ත හරින් ප‍්‍රනාන්දු මහතා විපක්ෂ නායකතුමා අතට ලබා දුන්න ලිපියෙහි තියෙන්නෙ ඔහු දේශපාලනයෙන් සමුගන්නා බවට වන ප‍්‍රකාශය.”

නිවේදකයා එහෙම කියද්දී මුළු සභාවම එකවිටම තුෂ්ණිම්භූත වූහ.

”ඇත්තටම ඔහු සමුගන්නේ ඔහුට අවුරුදු හැටක් පිරුණම. ඒ කියන්න තව දශක දෙකක් ඔහුට දේශපාලනය කරන්න පුළුවන්.”

පසුගිය සතියට යෙදී තිබුණු හරින්ගේ උපන්දින කේක් ගෙඩිය ද කපනු ලැබුවේ ඒ වේදිකාවේ සිට ම සජිත් සහ හරින් එකතුවය.

කැපූ කේක් කැබැල්ලේ පළමු කොටස හරින් කවනු ලැබුවේ සිය නායකයා වන සජිත්ට ය.

එය බෙහෙවින්ම සංවේදී මොහොතක් විය.

මෙහිදී සභාව ඇමතූ චම්පික රණවක කීවේ හරින්ගේ තීරණයට අනුව තමන්ට තව දේශපාලනය කරන්නට සිදු වන්නේ අවුරුදු හතරක් පමණයි කියාය.

මහ ලේකම් රංජිත් සභාව අමතමින් කියා සිටියේ හරින් හැටෙන් සමු ගන්නව කියල කිව්වට පස්සේ මට ලැජ්ජා හිතුනා. හැබැයි ආපහු බලනකොට රටේ ලොකුම පුටුවල ඉන්න කීපදෙනෙක්ම මට වඩා වයස නිසා ඒ ලැජ්ජාව නැති වුණා යැයි කීවේය.

ඉන්පසු සජිත් සභාව අමතමින් දීර්ඝ කතාවක් කළ අතර එහිදී හරීන්ගේ අවුරුදු හැටේ තීන්දුව ගැන ද සජිත් කතා කළේය.

”ජේ. ආර්. ජයවර්ධන මහත්මයාගේ සංවත්සරය අපි අද සැමරුවා. එතුමා රටේ ජනාධිපති වෙන්නේ අවුරුදු හැත්තෑ දෙකේ දී. මම දැන් ටිකකට කලින් හරින්ට ඔපරේෂන් එක කරපු ඩොක්ටර්ට කතා කළා. එයාටත් අවුරුදු 60ට වැඩියි. හරින් කියන විදිහට හැටෙන් සමු ගත්තා නම් ජේ. ආර්. කියලා ජනාධිපතිවරයෙකුත් නෑ. හරින්ගේ ඔපරේෂන් එක කරන්න ඒ ඩොක්ටත් නෑ. ඇත්තටම වැදගත් වෙන්නේ වයස කියන අංකය නෙමේ. වැදගත් වෙන්නේ හැකියාව, කුසලතාවය සහ දක්ෂතාවය” සජිත් කීවේය.

උත්සවය හමාර වී යන සියලූ දෙනාටම කුඩා පෝච්චියක සිටවූ පිච්ච පැළයක් බැගින් ලබා දෙන්නට ද හරින්ගේ කාර්ය මණ්ඩලය සංවිධානය කොට තිබුණේ ය.

  • කුලපති කැරට් අල හා
    ආනන්ද හිමිගෙ සටන

අපවත් වී වදාළ වැලමිටියාවේ කුසලධම්ම හිමිපාණන් වහන්සේගේ ශී‍්‍ර දේහය පිළිබඳ අවසන් කටයුතු සිදු වූයේ සියලූ රාජ්‍ය ගෞරව සමාචාර මැද කොළඹ නිදහස් චතුරස‍්‍රයේදීය.

අවසන් මොහොත ආගමික වතාවත්වලට අමතරව ගිහි පැවිදි උගතුන්ගේ සහ දේශපාලනඥයින්ගේ සීමිත කතා කීපයකින් පමණක් ඉතා චාම් අන්දමින් පවත්වන්නට උළෙල සංවිධායක මණ්ඩලයට අවශ්‍ය විය. ඒ අනුව උත්සවය ගරු ගාම්භීර එහෙත් චාම් එකක් වූහ. මේ උත්සවය අමතා දේශපාලනඥයින් කීප දෙනෙක්ම කරන ලද ගුණ ගායනා කැපී පෙනෙන ඒවාම විය.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මේ අවස්ථාව සඳහා විශේෂ ශෝක පණිවිඩයක් ඒවා තිබූ අතර අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ සහ විපක්ෂනායක සජිත් පේ‍්‍රමදාස විශේෂ ගුණකථන කිහිපයක් කරනු ලැබූහ.

පසුගිය සතියේ කැපී පෙනෙන දේශපාලන කාරණාව වූයේ රට පුරා ඇතිව තිබූ උද්ඝෝෂණවල හිඟයක් නොවීමය. එහෙත් එම උද්ඝෝෂණවල අප දුටු විශේෂත්වයක් විය.

රජයට එරෙහි උද්ඝෝෂණ මුලින්ම සංවිධාන කළ ගුරුවරු දැන් පාසල්වල වැඩට පැමිණ හමාරය. මුලින්ම පාසල්වල බාලාංශ පන්තිවල ළමුන් ගෙන්වා ගැනීමට රජය ගත් තීන්දුව තුළ වර්ජනය කළ ගුරුවරු මහත් අපහසුතාවට ලක්වූහ. විශේෂයෙන් ම පහළ බාලාංශ පන්තිවල ඉගැන්වීම් කරන ගුරුවර ගුරුවරියන්ට හිත්පිත් නැති වෘත්තීය සමිති නායකයන්ගේ බස් අසා අහිංසක නොදරුවන් ගැන අවධානය යොමු නොකර සිටින්නට බැරි වූයේ ඔවුනුත් අම්මලා තාත්තලා නිසාය. අවසානයේ අම්මලා තාත්තලා නොවන වෘත්තීය සමිති නායකයන්ගේ අණදීම් හා තීන්දු තීරණ කුමක් වුවත් ගුරුවරු තම පණ මෙන් කුඩා දරුවන්ගේ ආරක්‍ෂාව දෙස බලන්නට පටන් ගත්හ.

අවසානයේ ගුරු වෘත්තීය සමිති නායකයෝ උත්සාහ කළේ දරුවන්ගේ දෙමාපියන් අතරින් තම තමන්ගේ පක්‍ෂවලට අයත් දෙමාපියෝ සටනට සන්නද්ධ කර පාසල අද්දරට එවන්නටය. එහෙත් එම වෑයම ද බොහෝ තැන්වල ද අසාර්ථක වූයේ පොදු දෙමාපිය එකමුතුවේ ශක්තිය හා ඉදිරිපත් වීම නිසාය.

පසුගිය සතියේ අපට දැකගත හැකි වූ තවත් කාරණාවක් වූයේ රසායනික පොහොර ඉල්ලා උපවාස කළ ගොවි මහතුන් සිය සටන අතහැර යළි ගොවි බිමට යෑමට තීරණය කිරීමය.

රජය වී ගොවිතැන් කරන කුඹුරුවලට නිසි කලට වේලාවට දියවර නිකුත් කර සිටියහ. රසායනික පොහොරට වඩා කාබනික පොහොරවල යම් යම් සාධනීය ලක්‍ෂණ හා හැකියාවන් හඳුනාගෙන සිටි ගොවි මහතුන් කල්තියාම ලැබෙන වර්ෂාවෙන් රජය ලබාදෙන කාබනික පොහොරවලත් පිහිට පතමින් ගොවිතැන සඳහා කෙත්වතු සූදානම් කරන්නට වූහ. අවසානයේ ගොවි මහතුන් රසායනික පොහොර ඉල්ලීම පසෙක තබා ලැබෙන කවර හෝ පොහොරකින් වැඩ පටන්ගන්නට කල්පනා කරමින් ගොවිබිම් වෙත යෑමට පටන් ගත්හ. ගොවියා බළල් අත් කරගත් දේශපාලන පක්‍ෂවල ගොවි සටන ටිකෙන් ටික අවසන් වූයේ ඒ අනුවය. මේ අතර යුගදනවි බලාගාරයේ ප‍්‍රශ්නයට මැදිහත් වන්නට සටන්කාමී දේශපාලන පක්‍ෂ කල්පනා කළහ. ඒ සඳහා හොඳ ප‍්‍රවේශ මාර්ගයක් ද ඒ වනවිට ස්වාභාවිකවම නිර්මාණය වී තිබුණේ යුගදනවි විකිණීමට එරෙහිව විදුලිබල, වරාය, ඛනිජ තෙල් යනාදී සියලූ සේවක බලමුළුවල වෘත්තීය සමිති එකට එක්වී සටන පටන් ගන්නට තීරණය කිරීම තුළය.

මේ අතර මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියෝ ද මේ සටනට ආශිර්වාද කරමින් එක්වන්නට තීරණය කළේය. උන්වහන්සේ කරනු ලැබුවේ වෙන් වෙන්ව සිටිමින් රජයට බලපෑම් කළ මේ වෘත්තීය සමිති කණ්ඩායම් හා එකමුතුවීම් එක වහලක් යටට ගෙන සංවිධානය කරන්නට වේදිකාවක් තනාදීම තුළය. උන්වහන්සේ සටන් පෙරමුණුවලට එක වේදිකාවක් තනා දෙන්නට මූලිකත්වය ගත්හ.

එහෙත් පසුගිය සතියේ උන්වහන්සේගේ එම සටන්කාමී නායකත්වය පිළිබඳව වෘත්තීය සමිතිවලට බලවත් සැකයක් ඇතිවන සිද්ධියක් සිදුවිය. ඒ වූකලී රජය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන්ට කොළඹ විශ්වවිiාලයේ කුලපති පදවිය ලබාදෙන්නට තීන්දුවක් ගැනීමයි. එම තීන්දුවට උන්වහන්සේ එකඟත්වය පළ කිරීමත් සමගම රටේ වෘත්තීය සමිති ක්‍ෂේත‍්‍රයේ නිර්මාණය වූ මතය වූයේ උන්වහන්සේ ඒකාබද්ධ සටන් පෙරමුණ කුලපති නම්බු නාම තාන්න මාන්න ඉදිරියේ පාවාදෙනු ඇතැයි කියාය.

කෙසේ වෙතත් ඒ පිළිබඳ සෑහීමකට පත්විය හැකි උත්තරයක් නම් උන්වහන්සේගෙන් සමාජය වෙත ලැබී තිබුණේ නැත.

  • යහපාලන බිඳවැටීම විමල් පහදා දෙයි

පසුගිය සතියේ අමාත්‍ය විමල් වීරවංශ යුගදනවි පවරා දීමේ සිද්ධියට විරෝධය පාමින් කළ කතාව ගැන හරි අපූරු විග‍්‍රහයක් කළේය.

එය මෙසේය…

”අපි මේ යුගදනවි පවරා දීම ගැන විරෝධය පාන්නේ රජය අපහසුතාවට පත් කරන්න නොවෙයි. නමුත් අපි පත් කරපු රජය, 69 ලක්‍ෂයක ජනතා වරමක් ගත්ත රජය වැරදි පාරක යනවා නම් ඒ වරද පෙන්නා දීල රජය හරි මගට ගන්න අපිට යුතුකමක් තියෙනවා. ඒක අපේ වගකීමක්.”

ඒ කතාව කී විමල් ඊට හොඳ උදාහරණයක් ද අතීතයෙන් ගෙන පෙන්වා දුන්නේ මෙසේය.

”එදා මුදල් ඇමැති යටතේ තිබුණ මහ බැංකුව අගමැති රනිල් වික‍්‍රමසිංහ විශේෂ ගැසට් එකකින් තමන්ගේ අමාත්‍යාංශය යටතට පවරා ගත්තා. ඒ වෙලාවේ ඒ යහපාලන ආණ්ඩුවේ කිසිම කෙනකුට කිසිම ඇමැතිවරයකුට ඒ වැඬේට විරුද්ධ වෙන්න කොන්දක් තිබුණේ නැහැ. ඒක නිසා රනිල් එයාට ඕන විදියට විජාතිකයෙක් ගෙනල්ලා මහ බැංකුවේ මුල් පුටුවට පත්කර ගත්තා. ඊට පස්සේ තමයි ඓතිහාසික මහ බැංකු කොල්ලය සිද්ධ වුණේ. අන්තිමේ ඒ සිද්ධිය තමයි යහපාලන ආණ්ඩුව ගෙදර යවන්න අපිට ලොකුම තුරුම්පුව වුණේ.

මම කියන්නේ එදා රනිල් මහ බැංකුව තමන්ට පවරා ගත්ත වෙලාවේ ඊට විරුද්ධ වෙන්න කොන්දක් තියන එක ඇමැතියෙක්වත් ඒ ආණ්ඩුවේ හිටිය නම් අර්ජුන් මහේන්ද්‍රන් ලංකාවට එන්නෙත් නැහැ, මහ බැංකු කොල්ලය වෙන්නෙත් නැහැ. එහෙම වුණා නම් යහපාලන ආණ්ඩුව ඔය විදියට වැටෙන්නෙත් නැති වෙන්න තිබුණා. කෙසේ වෙතත් රජය තුළ වර්තමානයේ උද්ගතව තිබෙන තත්ත්වය සම්බන්ධයෙන් ආණ්ඩුවේ බහුතර මධ්‍යස්ථ දේශපාලනඥයෝ කනස්සල්ලෙන් පසුවූහ. අගමැතිවරයා පවා මෙම තත්ත්වය සම්බන්ධයෙන් සිටියේ ඒ තරම් හිත හොඳකින් නොවේ. බොහෝ තැන්වලදී අගමැති මහින්ද රාජපක්‍ෂ කළේ කාලයට ඉඩදී බලා සිටීම හා නිහඬව සිටින්නට උත්සාහ කිරීමය. ආණ්ඩුවේ පක්‍ෂ 11 සංධානයේ ඇතැම් නියෝජිතයෝ රජයේ එක්තරා පාර්ශ්වයක් දැඩි විවේචනයට ලක්කරන්නට උත්සුක වූවා සේම නෙළුම් මාවත පාර්ශ්වයේ මන්තී‍්‍රවරු ද පක්‍ෂ 11 මන්තී‍්‍රවරුන්ට දැඩි වාග් ප‍්‍රහාර එල්ල කරන්නට පසුබට නොවූහ.

පුදුමයට කාරණාව වූයේ ජනාධිපතිවරයා ද මේ සම්බන්ධයෙන් මුනිවත රැකීමය. මෙම තත්ත්වය තුළ සැබවින්ම සතුටින් සිටින්නේ කවුදැයි යන්න ආණ්ඩුව ඇතුළේත් පිටතත් බොහෝ දෙනකුට තිබූ පොදු ගැටලූවක් විය.

  • පරිණත රනිල් උපේක්‍ෂාවෙන්ලූ

ආණ්ඩුව ඇතුළේ මේ සිදුවෙන අවුල් වියවුල් දෙස මහත් උපේක්ෂාවෙන් බලා සිටින අයෙක්ද මේ අතර සිටියේය. ඒ එක්සත් ජාතීන්ගේ පක්ෂ නායක රනිල් වික‍්‍රමසිංහයි. රනිල් බොහොම ඉවසිලිවන්ත ලෙස මේ දෙස බලා සිටියේ වැඩි සද්ද බද්ද නොමැතිවයි. මේ අතර රනිල් ඇතුළු පිරිස, සිරිකොත මූලස්ථානයේදී දීපවාලී උත්සවය පවත්වන්නට කටයුතු සංවිධානය කළේ එක්සත් ජාතික පක්ෂ ඇතුළේ දීපවාලී සමරන දෙමළ ජාතිකයන්ද සැළකිය යුතු පිරිසක් සාමාජිකයන් ලෙස සිටින නිසාය. පසුගිය සතිය ආරම්භයේදී මේ පිළිබඳ කථා කරන්නට රනිල්, රන්ජන්, වජිර, පාලිත රංගේබණ්ඩාර ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

අපි මේකට සුළු පක්ෂවල සියලූම දෙනාට ආරාධනා කරන්න ඕන රංගේ බණ්ඩාර කීවේය.

මේ අනුව දීපවාලි උත්සවය 03 වැනිදා පක්ෂ නායක රනිල්ගේ ප‍්‍රධානත්වයෙන් පක්ෂ මූලස්ථානයේ පවත්වන්නට තීරණය විය.

දීපවාලි උත්සවය දේශපාලන උත්සවයක් ලෙස නොව හින්දු චාරිත‍්‍රානුකූලව සංවත්සර උත්සවයක් ලෙස පවත්වන්නට රනිල් උපදෙස් දුන්නේය.

ඒ අනුව පසුගිය 3 වැනිදා දීපවාලි උත්සවය පක්ෂ මූලස්ථානයේ පැවැති අතර නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන, රටේ ජනවාර්ගික සමගිය හා සංස්කෘතිය අගයමින් කරන ලද කතාව කාගෙ කාගේත් පැසසුමට ලක්විය. පසුගිය බ‍්‍රහස්පතින්දා සුපුරුදු පරිදි එජාප ක‍්‍රියාකාරිකයන් පිරිසක් රනිල්ගේ නිවසට එක්රොක් වුණේ පක්ෂයේ ඉදිරි අනාගතය උපායමාර්ගික දේශපාලන සැළසුම් ගැන කතා බහ කරන්නටය. අය වැය ළඟ ළඟම එනවා. අයවැයෙන් පස්සෙ අපි කොහොමද අපේ දේශපාලන ගමන් මග සකසා ගන්නේ කියන එක සඳහා ලබන අවුරුද්දට අපිට සැළැස්මක් තියෙන්න ඕනෑ. රනිල් කීවේය.

මොනවද ඒ ගැන ඔයගොල්ලන්ගේ අදහස්.

‘එක රටක් එක නීතියක්’ කියන ජනාධිපති කාර්ය සාධක බළකාය ගැන අපි අපේ ස්ථාවරය රටට කියන්න ඕනෑ. පාලිත රංගේ බණ්ඩාර කීවේය.

ඔව්… ඔව් ඒක පක්ෂයේ ස්ථාවරය ලෙස කෘත්‍යාධිකාරී මණ්ඩලයට ඉදිරිපත් කරන්න ඕනෑ. වජිර කීවේය. ජනාධිපති කාර්ය සාධක බළකාය කොහොමද නීති ගැන කතා කරන්නේ. නීති හදන්න සැලසුම් කරන්න. එක රටක් එක නීතියක් නම් ඒ නීතිය හැදීම කාර්ය සාධක බළකායට නොවෙයි පාර්ලිමේන්තුවට අයිති රුවන් විජේවර්ධන කීවේය.

ඒක නොවෙයි මොකක්ද අර ඩයනා ගමගේ මන්ත‍්‍රීවරිය ඇවිල්ලා කියන නඩුව ගැන අලූත් තත්ත්වය. විවිධ අය තත්ත්වය පැහැදිලි කරමින් කතා කළහ. ඩයනා ගමගේ සමගි ජනබලවේගයේ සාමාජිකාවක් බැවින් ඇයට මන්ත‍්‍රී ධුරය ලැබුණේ සමගි ජනබලවේගය තුළින් බවට තිබෙන තර්කයට සමහරු විවිධ මත පළ කළහ.

ඔවුන් මොන මොන සන්ධානවලින් මැතිවරණයට තරග කළත් මතක තියාගන්න ඕන කාරණාව තමයි මේ ඔක්කොම එක්සත් ජාතික පක්ෂයේ සාමාජික සාමාජිකාවන් බව. එයාලා තාම අපේ පක්ෂයෙන් අස්වෙලා වත් අපි අයින් කරලවත් නෑ. රනිල් නීති තර්කයක් ඉදිරිපත් කළේය.

ඉන්පසුව ඔවුන් කතාබහ කළේ රටේ පවතින සාමාන්‍ය ප‍්‍රශ්න ගැනය. බඩුමිල වැඩිවීම, ඉන්ධන හා ගෑස් හිඟය, ඩොලර් අර්බුදය වැනි විවිධ මාතෘකා ඔස්සේ කතාබහ තවදුරටත් ඇදී ගියේය….

මේ අතර සමගි ජනබලවේගයේ නායකයෝද අද රටේ පවතින දැවෙන ප‍්‍රශ්න හා අර්බුද පිළිබඳ හොඳ අවධානයක සිටියහ. රට තුළ විවිධ දුෂ්කරතා විඳිමින් යන්තමින් ජීවත්වන පොදු ජනතාව වෙනුවෙන් විපක්ෂ දේශපාලනඥයාට කළ හැකි කාර්ය භාරය ගැන ඔවුන් ලොකු සංවාදයක සිටියහ.

මේ අතරතුර සමගි ජනබලවේගයේ මන්ත‍්‍රීවරයෙක් වෙනුවෙන් විශේෂ නායකත්ව පුහුණු වැඩසටහනක් සංවිධානය කරන්නට පක්ෂ නායකයාට අවශ්‍ය විය.

අපි මේක පවත්වන්න ඕන අපේ මන්ත‍්‍රීවරු…. කාලීන සමාජ හා සාමාජික ප‍්‍රශ්න ගැන දැනුවත් කරවන්න. මෙම වැඩමුළුව සංවිධානය කිරීමේ වගකීම සජිත් විසින් පවරා තිබුණේ රවී ජයවර්ධනටය, විපක්ෂ නායක ලේකම් පසුගිය සෙනසුරාදා උදෑසන 9.00 ට කලගරි හෝටලයේදී මෙම වැඩමුළුව ආරම්භ කළ අතර ජනබලවේගය ඉදිරිපත්වී රටේ පවතින මැතිවරණවලදී ජයග‍්‍රහණ සඳහා මෙහෙයවන උපායමාර්ග කවරේදැයි කරුණු කාරණා රැසක් මෙහිදී සාකච්ඡාවට ලක්විය.

එදින රාත‍්‍රියේ මන්ත‍්‍රීවරු අතර සුහදතාව සහ සහජීවනය වර්ධනය කිරීමේ අරමුණ ඇතිව විශේෂ සුහද හමුවක් සංවිධානය වී තිබිණි.

විපක්ෂ නායකතුමන් මේසයක් මේසයක් ගානේ යමින් සියලූම දෙනා හා මෙහිදී ඉතා පුද්ගලික මට්ටමින් කතා බහ කිරීම කැපී පෙනෙන සිදුවීමක් විය.

නායකතුමා අන්න එහෙමයි ඉන්න ඕන…. අපි කවුරුත් අපේ පුද්ගලික මට්ටමට ළංවෙලා අපේ නායකයා කතා බහ කරනවාට තමයි වඩා කැමැති… මන්ත‍්‍රීවරයෙක් කීවේය.

කතාබහ මේ අයුරින් ඇදී යද්දී මුජිබර් රහුමාන් මයික‍්‍රෆෝනය අතට ගෙන කතා කරන්නට පටන් ගත්තේය.

වචන කිහිපයක් කතා කළ මුජිබර් කවුරුත් පුදුම කරවමින් ගුණදාස කපුගේ ගායනා කරන ගීතයක් ගායනා කළේය. ගීතය ‘දෑස නිලූපුල් තෙමා’ ගීතයයි.

මෙයා දැන් හරි දියුණු වෙලානෙ. සජිත් කීවේය.

එහෙම තමයි වයසට යනකොට තමයි පරිනත වෙන්නේ. කපුගේ මහත්තයාගේ සින්දුවක් තෝරා ගැනීම ලොකු දෙයක්නේ…ගීතය නිමා කළ මුජිබර් ඊළඟට ගී ගයන්නට ආරාධනා කළේ සජිත් පේ‍්‍රමදාසටය….සජිත්ද සුපුරුදු පරිදි ගීත කීපයක්

ගයා මයික‍්‍රෆෝනය තවත් සුවිශේෂී පුද්ගලයකු අතට පත් කළේය.

මේ සුවිශේෂී පුද්ගලයා සරත් ෆොන්සේකාය. ෆොන්සේකා ගීත දෙකක් ගායනා කළේය.

කොහොමද හඬ පෞරුෂය…. මොකද කියන්නේ…. අපි මෙයාව දෙවැනි වටයට යවමුද කිංස් නෙල්සන් ඇසීය.

පසුගිය සතියේ මහත් ආන්දෝලනයකට හා කතාබහකට ලක්වූ හේෂා විතානගේ හා චමින්ද විජේසිරි වාඩිවී උන්නේ එක ළඟ එකටය. ඉන්පසුව මයික‍්‍රෆෝනය හිමිවුණේ ඒ දෙදෙනාටය.

හේෂයි, චමින්දයි සින්දු කියාවි….අපි නටමු කියා නලින් බණ්ඩාර සුපුරුදු දඟර නැටුම පටන් ගත්තේය. අශෝක් අබේසිංහ, ජේ. සී. අලවතුවල තුෂාර ඉඳුනිල් මේ ජවනිකාවට එක්වීම කාගේත් හිත සතුටින් හා සිනහවින් පිනවන කාරණාවක් විය.

මනුෂටත් කියමු සින්දුවක් කියන්න…

මට සින්දු කියන්න විතරයි බැරි… මනුෂ යෝජනාව ප‍්‍රතික්ෂේප කරද්දී තුෂාර ඉඳුනිල් කීවේ… අද හරින් යාලූවා ළඟ නැති නිසා මනුෂට සින්දු කියන්න පිට් එකක් නැහැ කියාය.

කෝ ගයන්ත මන්ත‍්‍රීතුමා… එතුමා කවි කියන්න දක්ෂයා කියමින් මුජිබර් ගයන්තව සොයද්දී ගයන්ත සජිත්ට මුවාවෙමින් සැඟවෙන්නට උත්සාහ කළේය.

මේ අතර ජේ. සී. අලවතුවල වීඩියෝ කෝල් එකක් ගනිමින් මෙතන වෙන දේ කාටදෝ පෙන්වනු දුටු මන්ත‍්‍රීවරු කිහිප දෙනෙක් ඔහු වට කර ගත්තේය.

කාටද ඔය මේ ඔක්කොම වීඩියෝ කර කර පෙන්වන්නේ.

මගේ වයිෆ්ට. හිතුවද වෙන වෙන නෝනලාට අපි මෙතෙන වෙන දේවල් පෙන්වනවා කියලා අලවතුවල කීවේය.

එහෙනම් කමක් නැහැ… අපි බැලූවේ මේ…. කියමින් මන්ත‍්‍රීවරු ඇති තරම් විනෝද වූහ. ඒ සඳහා අවශ්‍ය උණුසුම් පාන වර්ග හා රස මසවුළු ඇති තරම් සපයන්නට සංවිධායක රවී ජයවර්ධන පියවර ගෙන තිබීම කැපී පෙනෙන කාරණයක් විය.

අනේ නායකතුමා… අපට මේ වාගේ වැඩමුළු මුළු මාසයක් ගානේ සූදානම් කරලා දෙන්න. අපි ආණ්ඩුව අනිත් පැත්තට පෙරළලා දෙන්නම් පදමට රත්ව සිටි අශෝක් අබේසිංහ කීවේය.

හරි හරි පරිස්සමින්… පරිස්සමින් අශෝක්ගේ මිතුරන් විහිළු කළහ.

මේ අයුරින් එදා ඒ වැඩමුළුව තරමක් ? බෝවී අවසන් විය.

0 comment
0

Related Posts

Leave a Comment