Home දේශීය පුවත් විපක්ෂයේ සිටිද්දී හැමෝම බෝසත් ආණ්ඩුව ගත්තාම දේවදත්ත වෙනවා, ජනමාධ්‍ය ඇමැති.

විපක්ෂයේ සිටිද්දී හැමෝම බෝසත් ආණ්ඩුව ගත්තාම දේවදත්ත වෙනවා, ජනමාධ්‍ය ඇමැති.

by Hela news

හැම පක්ෂයක්ම විපක්ෂයේ සිටින විට බෝසතුන් වන බවත් ආණ්ඩුව ගත්තාම දේවදත්ත වෙන බවත් ජනමාධ්‍ය ඇමැති ඩලස් අලහප්පෙරුම මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (19) පැවසුවේය. 

අයවැය පිළිබඳ දෙවැනි වර කියවීමේ පස්වැනි දින විවාදයට එක් වෙමින් ඇමැතිවරයා එසේ ප්‍රකාශ කෙළේය.

එහිදී තවදුරටත් කථා කළ ජනමාධ්‍ය ඇමැති ඩලස් අලහප්පෙරුම මහතා මෙසේද පැවසීය.

ඉතිහාසයේ සිට සිදු වුණේ මෙයයි. අපි ඇඟිල්ල දිගු කරන්නේ අප්‍රසන්න වගකිම් විරහිත ඉතිහාසයකට විනා අනාගතයට නොවේ. දින පහක් අයවැය සම්බන්ධයෙන් විවාද කර ගත් අපි මේ දින පහ තුළම සිදු කළේ එකිනෙකාට ඇඟිල්ල දිගු කර ගැනීම හැර වෙන කුමක්දැයි ද.

ඉතිහාසයේ ඛේදවාචකයන් ගණනාවක් සිදු වුණා. 88, 89 තරුණ නැඟීටීම, ලක්ෂ ගණනක් ඉන් ජීවිත බිලි ගත්තා. උතුරු නැඟෙනහිර යුද්ධය නිසා තවත් ලක්ෂ ගණනකගේ ජීවිත බිලි ගත්තා. සුනාමිය ඇති වුණා. මහා ඛේදවාචකයක්. වසංගත තත්ත්වයක් ආවා දැන්. මෙරට නිදහසෙන් පසුව ඇති වූ දරුණුම වසංගත තත්ත්වය මෙය. කොවිඩ් වසංගතය. දශක පහක් තිස්සේ ස්වාභාවික හා වෙනත් විපත්වලට ජනතාව මුහුණ දුන්නා. වසංගතය හේතුවෙන් එහි උච්චතම අවස්ථාවට අපි පැමිණියා. ආර්ථිකය, අධ්‍යාපනය පමණක් නොව ජනතා ජීවිත අඩාළ වුණා. අපේ රටට පමණක් නොව ලෝකයම අක්‍රීය කළ බිහිසුණු වසංගතයකට අපි මුහුණ දෙමින් සිටිනවා. මේ පසුබිම තුළ අයවැය ඉදිරිපත් කරනවා. අවාසිදායක තත්ත්වයක් යටතේ අගුලු දැමූ ආර්ථිකයක් තුළ ඔත්පළ වූ අධ්‍යාපනයක් තුළ මේ අය-වැය ඉදිරිපත් කරනවා. ඒ නිසා මේ දුෂ්කරතාව තේරුම් ගන්න. එය විවේචනය කළාට කමක් නැහැ. චරිත ඝාතනය කරන්න එපා. ඉතිහාසයත් සමඟ මේ අය-වැය සන්සන්දනය කරන ලෙස ඉල්ලා සිටිනවා. වසංගත අර්බුදයෙන් වර්තමානය බැට කාලා තිබෙනවා. අනෙක් පැත්තෙන් රටක් ලෙස ජාත්‍යන්තරය තුළ අපි ඉන්නේ කොහේද. මේ අය-ට ජාත්‍යන්තරයේ තිබෙන පිළිගැනීම මැනිය හැකි දර්ශක කිහිපයක් තිබෙනවා. පාස්පෝට් ශ්‍රේණිගත කිරීම එක් දර්ශකයක්. ඒ දර්ශකය අනුව අපි සිටින්නේ පහළම තත්ත්වයක. අපට යටින් සිටින්නේ රටවල් 17 යි. අපේ රටේ අයකුට යා හැකි රටවල් තිබෙනුයේ 41 යි. ලෝකයේ පාස්පෝට් ශ්‍රේණිගත කිරීම හරහා එක දෙක තුන තත්ත්වයේ සිටිනුයේ ජපානය, සිංගප්පූරුව, දකුණු කොරියාව. අමෙරිකාව, කැනඩාව පවා පහළින් සිටින්නේ. වීසා නැතිව රටවල් 191ක සංචාරය කිරීමට එම රටවල පුරවැසියන්ට පුළුවන්. අපි සියලු දෙනා ජනතාව ඉදිරියේ විත්තිකරුවන් වෙලා සිටිනවා. විත්තිකරුවන් නොවනවා නම් නොවන්නේ පාර්ලිමේන්තුව පළමුවරට නියෝජනය කරන නවක මන්ත්‍රීවරුන් 58 දෙනා පමණයි. ප්‍රශ්නය හඳුනාගෙන වගකීම බාර ගත යුතුයි. විසඳුමේ ආරම්භය එයයි. නිහතමානීව මේ ප්‍රශ්න බාර ගත යුතුයි. අනාගතයේ නාමයෙන් 225 ම රටේ ජාතික අධ්‍යාපනයත් සමඟ එකට සිට ගත යුතුයි. අය-වැය දින පහක් තිස්සේ විවාද කරනවා. මේ දින පහ තුළ එකිනෙකාට ඇගිල්ල දිගු කරනවා හැර අපි කළේ කුමක්ද. හැම පක්ෂයම විපක්ෂයේ සිටින විට බෝසතුන් බවට පත්වෙනවා. ආණ්ඩුව ගත්තාම දේවදත්ත වෙනවා. ඉතිහාසයේ සිට වුණේ එහෙමයි. අපි ඇඟිල්ල දිගු කරන්නේ අප්‍රසන්න වගකීම් විරහිත ඉතිහාසයට විනා අනාගතයට නොවේ. අධ්‍යානය හා අධිකරණ ක්‍රියාවලියට. වසංගත තත්ත්වයක් තුළ ඇති වූ දරුණුම ඛේදවාචකය වනුයේ දරුවන්ගේ අධ්‍යාපනයට පාඩු සිදුවීමයි. මිලියන සංඛ්‍යාත දරුවන් මේ ගැටලුවට මුහුණ දුන්නා. මේ ඛේදවාචකයේ ලොකුම වින්දිතයන් බවට ඔවුන් පත් වුණා. ගුරු විදුහල්පති ගැටලුවත් ඛේදවාචකයක්. එය උග්‍රම වූයේ පාසල් දරුවන් අසීරුම අවස්ථාවකට මුහුණ දෙමින් සිටියදීයි. මාස නවයක් වැනි කෙටි කාලයක් වුවත් වසර 24ක ගුරු විදුහල්පති ගැටලුව විසඳීම සඳහා රුපියල් බිලියන 30ක මුදලක් මේ දුෂ්කර අවස්ථාවේ වෙන් කළා. ඒ සම්බන්ධයෙන් ජනාධිපතිවරයාට, අගමැතිවරයාට, මුදල් ඇමැතිවරයාට සහ කැබිනට් මණ්ඩලයට අවංකවම ස්තුති කළ යුතුයි. ගුරු සේවයට හිමි වෘත්තීය ගරුත්වයත් ලබා දිය යුතුයි. මෙවැනි තත්ත්වයක් තවත් කිසිදාක ඇති නොවන ලෙස කටයුතු කළ යුතයි. එම ඛේදවාචකය විසඳාලීමට ආණ්ඩුව කටයුතු කළා.

පාසලක ගේට්ටුව වැහෙනවා කියන්නේ පාසල් දරුවන්ට පාසල් භූමියට ඇතුළු වීමට තිබෙන අවස්ථාව නැති වීම පමණක් නොව සංස්කෘතියක දොරගුළු දමනවා කියන එකයි. ශිෂ්ටාචාරයක දොරගුළු වැසීමක්. ප්‍රතිපත්ති සම්පාදකයන් විදියට මේ ගැන නිසිලෙස අවධානය යොමු කළ යුතුයි. අය-වැය කියන නම ඇසූ පමණින් මතකයට පැමිණෙනුයේ භෞතික දේවල්. දරුවන්ගේ දෑස් පෑදීම රටටම ආයෝජනයක්. ගුරු අධ්‍යාපන පීඨ 19 ඊළඟ අයවැයේදී විශ්වවිද්‍යාල බවට පත් කිරීමට මුදල් ඇමැතිවරයාගේ අවධානය යොමු වන බවට මට විශ්වාසයි. එදා කළ සැලසුම් විදිහටම වසර 2027 වන විට සියලු ගුරුවරුන් පුහුණු උපාධිධාරීන් බවට පත් කරන පරිසරය නිර්මාණය කළ යුතු බවට අධ්‍යාපන ඇමැතිවරයාගෙන් ඉල්ලා සිටිනවා. පාසල් දරුවන් මිලියන 4කට වැඩි වුවත් ඉන්ටර්නෙට් පහසුකම තිබෙනුයේ මිලියන 1 කට පමණයි. රටක් විදියට ස්ටාර් ලින්ක් වගේ සැටලයිට්, ඉන්ටර්නෙට් සේවාවක් ලබාගෙන රටම ආවරණය කළ නොහැකියි. සම්ප්‍රේෂණ කුළුණු 998ක් ඉදි කිරීමට ප්‍රතිපාදන ඉදිරිපත් කර තිබෙනවා. සෑම පාසලකටම බ්‍රෝඩ් බෑන්ඩ් පහසුකම් ලබාදීමට තීරණය කර තිබෙනවා. එය හොඳ ආයෝජනයක්. මේ වසංගතය තුළදී ඉගෙනීම සඳහා නව මානයක් විවෘත වුණා. ගුරුවරුන්, දරුවන් පමණක් නොව දෙමාපියන් ද එයට යොමු වුණා. වසංගතය තුළ ඇති වූ රිදී රේඛාව එයයි. ඔන්ලයින් අධ්‍යාපනය මෙරට ඔත්පල වූ ගිලන් වූ හොඳ එන්නතක්. උසාවි, විනිසුරුවරුන්, රජයේ නීතිඥයන් සැලකිය යුතු වැඩි කිරීමක් කර තිබෙනවා අයවැය තුළින්. එය සමාජයට වැදගත්. ලංකාවේ මිනිමැරුම්වලට වැඩිම බලපෑමක් ඇති හේතුව වනුයේ ඉඩම් නඩු. ඉඩම් ආරවුල් නිසා මරණයට පත්වීම් වැඩියි. පරම්පරා දෙක තුනක් ගත වන තෙක් ඇදෙන නිසා ආරවුල් විසඳීම තමන්ගේ අතට ගෙන විසදන්න යනවා. අනියම් සම්බන්ධතා නිසා ද වන මිනිමැරුම් ඉහළ ගොස් තිබෙනවා. වාසනාවට අපේ පාර්ලිමේන්තුවේ කිසිදු මන්ත්‍රීවරයෙක් ඒ සම්බන්ධයෙන් ඝාතනයට ලක්වෙලා නැහැ. අධිකරණ ක්‍රියාවලියේ කාර්යක්ෂමතාව සංවර්ධනයට බලපානවා.

අධිකරණ පද්ධතිය තුළ යල් පැන ගිය නීති රීති තිබෙනවා. ඒවා සංශෝධනය කළ යුතුයි. මේ අය-වැය අධිකරණ ඇමැති අලි සබ්‍රි මහතාට යෝධ ශක්තියක් වනු ඇති. වර්තමානයට ගැළපෙන ලෙස නීති සැදිය යුතුයි. සිරකරුවන් ද මනුෂ්‍යයන් ය. ඔවුන්ට මිනිසුන් ලෙසද සලකන්නේ. ශිෂ්ටාචාරයක් මැනිය හැක්කේ සිරකරුවන් තුළින්. අයවැයක් කී සැණින් සිහියට එනුයේ භෞතික දේවල්. එතැනින් එහාට ගිය ආකල්පමය වශයෙන් ගුණාත්මක දේවල් ඇති කළ යුතුයි. ළමා අපචාරත් සිදු වෙනවා. ශාරීරික මානසික ලිංගික වශයෙන් ළමා අපචාර සිදු වෙනවා. සෑම පැයකට වරක්ම ළමා අපචාර සම්බන්ධයෙන් පැමිණිල්ලක් ඉදිරිපත් වෙනවා. සමාජයේ දරුවන් ආරක්ෂා කර ගන්නා ආකාරය, දරුවන්ට සලකන ආකාරය යනාදිය වර්තමානයේ ශිෂ්ට සමාජ පදනම් කර ගන්නා දර්ශක වී තිබෙනවා. දරුවන් දැනුම්වත් කිරීම මඟින් දරුවන් ආරක්ෂා කර ගත හැකියි. ඒ තුළින් සමාජ ව්‍යසනවලින් දරුවන් බේරා ගත හැකියි. ආකල්පමය වෙනසක් ඇති කිරීම අයවැයෙන් සිදු කළ යුතු වෙනවා. මේ අයවැය ඉතිහාසයත් සමඟ සන්සන්දනය නොකර වර්තමානය සමඟ ගැළපීමක් කරන ලෙස මා ඉල්ලා සිටිනවා.

0 comment
0

Related Posts

Leave a Comment