විපක්ෂයේ මන්ත්‍රීවරුන් දඩයම් කරන්න අපට කිසිම වුවමනාවක් නැහැ – ඇමැති ජොන්ස්ටන් ප්‍රනාන්දු

0
45

අනෙක් රටවල විපක්ෂය ජාතික ආරක්ෂාව සම්බන්ධ ප්‍රශ්නවලදී බෙදී ආත්මාර්ථකාමීව දේශපාලන අරමුණුවලට වැඩ කරන්නේ නැති බවත්, ලෝකයේ අනෙකුත් ප්‍රජාතන්ත්‍රවාදී රටවල විපක්ෂය ජාතික ආරක්ෂාව සම්බන්ධ ප්‍රශ්නයකදී හැසිරෙන ආකාරය අපේ විපක්ෂය අධ්‍යයනය කරනවා නම් වඩා හොඳ බවත් ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක, මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පැවසීය.

අමාත්‍යවරයා මෙසේ පැවසුවේ ඊයේ කුරුණෑගල විල්ගොඩ කාර්යාලයේ පැවති කුරුණෑගල දිස්ත්‍රික්කය තුළ තෙවැනි කොවිඩ් අවදානමට මුහුණ දීමට ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳ සාකච්ඡාවෙන් අනතුරුව මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමිනි.

එහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා- විපක්ෂයේ මන්ත්‍රීවරු දඩයම් කරන්න අපට කිසිම වුවමනාවක් නැහැ. අපේ රජය බලයට පත්වුණ දා සිට කිසිදු විපක්ෂයේ මන්ත්‍රීවරයෙක් දඩයම් කර නැහැ. නමුත් පාස්කු ප්‍රහාරය සම්බන්ධව වින්දිතයන් වෙනුවෙන් ජනාධිපතිතුමා ඇතුළු ආණ්ඩුව පෙනී සිටිනවා.

අපට කැලෑ නීතිය ක්‍රියාත්මක කරන්න බැහැ. නිදහස් වන්න තියෙනවා නම් කවුරුහරි කෙනෙක් නිදහස් වෙයි. වැරදි කර තියෙනවා තියෙනවා නම් වැරදි කරුවන්ට දඬුවම් ලැබෙයි. අප උසාවියට ඉදිරිපත් කරන්න තියන අයව උසාවියට ඉදිරිපත් කරනවා. නීතිය ක්‍රියාත්මක කරන අංශ ස්වාධිනව වැරදිවලට නීතිය ක්‍රියාත්මක කරයි.

රන්ජන් රාමනායකගේ නීතිය, ප්‍රේමදාසගේ නීතිය අපේ ආණ්ඩුව යටතේ ක්‍රියාත්මක වන්නේ නැහැ. ඒ නිසා අපේ ආණ්ඩුව කිසිම සන්දර්ශනයක් කරන්නේ නැහැ. ඒක අමු පට්ටපල් බොරුවක්. පෙබරවාරි මාසයේ පළමු සතියේ පාස්කු ප්‍රහාරයේ කොමිසම් වාර්තාව ආවා. සති තුනක් යන්න කලින් සිංහලට පරිවර්තනය කර අදාළ තැන්වලට ඉදිරිපත් කළා. නීතිපතිතුමා යටතේ ක්‍රියාත්මක කළ යුතු දේවල් ක්‍රියාත්මක කරන්න ඒවා නීතිපතිතුමාට යැව්වා. සීඅයිඩි, ඩීඅයිඩී. වැනි ඒවාට යැව්වේ පරීක්ෂණ පවත්වා ඒ අනුව නීතිය ක්‍රියාත්මක කරන්නයි.

පෙබරවාරි මාසයේ තුන්වැනි සතිය ඇතුළත සිංහල පරිවර්තනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා. නීතිපති තුමා වෙනම නීති කණ්ඩායමක් දමා ඒ සම්බන්ධ සම්පූර්ණ අධීක්ෂණයක් කර, දැන් වැඩ කටයුතු කරගෙන යනවා. දැන් සති හය හතක් විතර ඒ වැඩකටයුතු කෙරීගෙන යනවා. එහෙම නැතිව සංදර්ශන අප පවත්වන්නේ නැහැ. ගෝඨාභය ජනාධිපතිතුමා හැර මොන ජනාධිපති කොමිසම් වාර්තාද පාර්ලිමේන්තුවට එවා තියෙන්නේ?. ලලිත් ඇතුළත්මුදලි මහත්තයගෙ, ඩෙන්සිල් කොබ්බෑකඩුව මහත්මයගෙ කොමිසම් වාර්තා කෝ? මේ වැඩේ හරියට කරගෙන යද්දි මඩ ගසා, අවමන් කර, අගෞරව කර විපක්ෂය කරන්න හදන්නේ මේක වෙන පැත්තකට අරගෙන යන්නයි. විපක්ෂයෙන් කිසිම සහයෝගයක් මේ දෙයට දෙන්නේ නැහැ. එදා කළේත් පාස්කු ප්‍රහාරය වෙන්න ඉඩ දුන්න එකයි. මිනිස්සු මැරෙන්න ඉඩ හැරියා, හිනා වුණා. මේ සම්බන්ධ පරීක්ෂණ ඔක්කොම යට ගැහුවා. පාර්ලිමේන්තුවේ තේරීම් කමිටුවක් දැම්මා. සීඅයිඩියට හොයන්න දුන්නේ නැහැ. බුද්ධි අංශයේ අයව හිරේට දමා ඒ අයට ක්‍රියා කරන්න දුන්නේ නැහැ. තමන්ගේ ඡන්ද පදනම තියා ගන්න මිනිස් ජීවිත බිල්ලට දුන්න ආණ්ඩුවක් තමයි යහපාලන ආණ්ඩුව. අප අකුරටම නීතිය ක්‍රියාත්මක කරනවා. රිෂාද් බදියුදීන් හෝ හරීන් හෝ වේවා, වෙන කවුරු උනත් වැරදි කර තියෙනවා නම් ඒකට නිසි දඬුවම් ලැබිය යුතුයි. මේ රටේ ජනතාගේ බලාපොරොත්තුවත් එයයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here