Home කාලීන පුවත් වැලි කඳුවල විස්කම් පා රටම කතා කරන පද්මලතා

වැලි කඳුවල විස්කම් පා රටම කතා කරන පද්මලතා

by Hela news

කහ පැහැති සාරියකින් සැරසී, කහ පැහැති ATV රථයක නැගී වැලිපරයක ගමන් කරන කාන්තාවක් පසුගිය දිනවල කාගේත් අවධානයක් දිනා ගත්තාය. ඒ පසුගියදා විවෘත කෙරුණු ශ්‍රී ලංකාවේ ප්‍රථම වැලි කඳු මත වාහන ධාවනපථය විවෘත කෙරුණු දිනයේ සමාජ මාධ්‍ය වෙත මුදා හැරුණු පින්තූරයකි. ධාවන පථය විවෘත කිරීමට පැමිණ සිටියේ ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ සහ සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංගයි. ක්‍රීඩා අමාත්‍යවරයා පළමුව ATV රථයක නැගී ගමන් කළේය. සංචාරක අමාත්‍යවරයාට ද ATV රථයක නැග, එම අත්දැකීම ලබා ගන්නා ලෙස මේ කාන්තාව ඉල්ලා සිටියාය. සංචාරක අමාත්‍යවරයා එම ඉල්ලීම ප්‍රතික්ෂේප කරන විට නාමල් රාජපක්ෂ අමාත්‍යවරයා වහාම ඉදිරිපත් වී “මගෙත් එක්ක යමු.“ කීවේය. අමාත්‍යවරු දෙපළ ATV රථයට නගින විට එම කාන්තාව ද එතැන තිබූ තවත් ATV රථයකට නැගී අමාත්‍යවරුන්ට ඉදිරියෙන් රථය ධාවනය කරමින් මග පෙන්නුවාය.

ශ්‍රී ලංකාවේ ප්‍රථම වැලි කඳු මත වාහන ධාවනපථය විවෘත කිරීමේ සිදුවීමට වඩා අවධානය යොමු වුයේ මේ කාන්තාව කෙරෙහිය.

ඇය ඇද සිටි සාරිය බාධාවක් ලෙස නැසැළකුවාය. මෙම විවෘත කිරීමට මාධ්‍යවේදීන් පැමිණ සිටීම පිළිබඳව නොතැකුවාය. අවස්ථාවට අනුව ක්‍රියාත්මක වූවාය. මුව වැසුම් පැලඳ සිටීම නිසා ඒ කවුදැයි හදුනාගැනීම අපහසු විය. සමහරෙක් සිතුවේ පවිත්‍රා වන්නිආරච්චි ඇමතිවරිය කියායි. සමාජ මාධ්‍ය ඔස්සේ ඇයව බොහෝ විවේචනය විය. බොහෝ විවේචන කාන්‍තාවක් වීම නිසාම වූ ගතානුගතික සාම්ප්‍රදායික සිතුවිලිවලින් යුක්ත ඒවා විය.

මේ අතර ඇය කවුදැයි හෙළිකරමින්, වෙනත්ම ආකාරයේ පෝස්ටුවක් සමාජ මාධ්‍ය පළවිය. 

මේ සමග පද්මලතා අභයසිංහ කවදැයි සෙවීමට බොහෝ අය උනන්දු විය. ඇය ක්‍රියේට් ඇඩ්වෙන්චර් සමාගමේ අධ්‍යක්ෂකවරියයි. වරාය නගරයේ ATV රථ ධාවන වැලිකදු ව්‍යාපෘතිය ක්‍රියේට් ඇඩ්වෙන්චර් පුද්ගලික සමාගමේ ආයෝජනයකි. ඉකුත් ඔක්තෝම්බර් 28 වැනිදා වැලිකදු මත වාහන ධාවන පථය විවෘත කෙරෙන ස්ථානයට ඇය පැමිණෙන්නේත්, එතැන ප්‍රධාන භූමිකාවක් ඇයට හිමිවන්නේත් ඒ ආකාරයටයි.

හොරණ තක්ෂිලා මධ්‍ය මහා විද්‍යාලයෙන් පාසැල් අධ්‍යාපනය ලැබූ ඇය, කැලණිය විශ්ව විද්‍යාලයේ ලලිත කලා උපාධිධාරිනියකි. සංගීත විශාරදවරියකි. බෙල්ලන ශ්‍රි ඥානවිමල හිමියන් යටතේ ජ්‍යෝතිෂ්‍ය පර්යේෂකයෙකු ලෙස කටයුතු කර ජ්‍යෝතිෂ විද්‍යාධාරී උපාධිය ලබා ඇත. ඇයත්, ඇගේ ස්වාමි පුරුෂයා වූ අනුර තන්තිලගේත් 1983 වර්ෂයේ සිට මාධ්‍යවේදීන් ලෙස කටයුතු කර තිබේ.

ඇගේ ස්වාමියා ශ්‍රී ලංකා රූපවාහීනි සංස්ථාවේ ආරම්භක සාමාජිකයෙකි. ගලා හැලෙන රිදී නදී, අවාරේ සිරිපා ගමන, සිංහරාජය, දුම්බර, ප්‍රදීපාගාර වැනි දෙස් විදෙස් සම්මානලාභී වාර්තා වැඩසටහන් රැසක් නිෂ්පාදනය කර ඇත. මේ අතරතුර ඇමරිකාවේ ස්ථිර පදිංචිය සඳහා ඇයගේ පවුලට අවස්ථාව ලැබෙයි. ගහකොළ, ඇළ දොළ සමඟ ලංකාවේ ජීවත් වූ ඔවුන්ට අ‍ෙමරිකානු ජීවන රටාව එතරම් ප්‍රියමනාප නොවීය. බැලු බැලු අත ගහක් කොළක් නැති කොන්ක්‍රීට් වනාන්තරයක ජිවත් වනවා මෙන් ඔවුන්ට දැනිනි. නැවත ලංකාවට ගොස් සුපුරුදු ජීවන රටාවට යොමු වීමට ඔව්න් කතිකා කරගනී. ඒ අනුව මෙරටට පැමිණෙන ඔවුන් සතුන් ගැන, පරිසරය ගැන මාධ්‍ය ඔස්සේ කතාකිරීම සඳහා වූ වාර්තාමය වැඩසටහනක් නිෂ්පාදනය කිරයි. ඒ සතුන්ගේ සාමාන්‍ය ජීවනරටාවට කිසිදු බලපෑමක් නොකර, ඔවුන්ගේ ස්වාභාවික හැසිරීම් නිරික්ෂණය කිරීමටයි. වනාන්තරවල කැමරා සවිකර සජීවීව විකාශනය කිරීම මෙම වැඩසටහන හරහා සිදු කෙරිණ. වයිල්ඩ් ඒෂියා නමින් ආරම්භ කෙරුනු ම්ම වැඩසටහන මෙරටට අලුත් නිර්මානාත්මක වැඩසටහනක් වූ අතර බොහෝ දෙනකුගේ අවධානය දිනා ගත්තේය.

එම වැඩසටහන තුළින් ඔවුන් බලාපොරාත්තු වූයේ පරිසරයට ආදරය කරන සමාජයක් බිහිකිරීම සඳහා හැකි පමණින් දායකවීමයි.

මේ අතරතුර ගම්පහ මාළිගාතැන්නේ අක්කර 40ක භූමිභාගයක කලම්බු මව්න්ටන් නමින් දකුණු ආසියාවේ පළමු ATV ධාවන පථය නිර්මාණය කරන්නේත් ඔවුන්ය. ස්වභාවික පරිසරයේ ආශ්වාදය විදගනිමින් ATV රථයක් ධාවනය කිරීම සදහා එහි පහසුකම් සලසා ඇත. ඊට අමතරව පැය තුනක පමණ කාලයක් නිදහසේ ඇවිද ගොස් පරිසරයේ සොභාව සෞන්දර්යය විදගැනීමටද එහි අවකාශය තිබේ. කොළඹ සිට මෙම ස්තානයට පැමිනීමට ගතවන්නේ විනාඩි 40ක පමණ කාලයකි. මෙම මනස්කාන්ත අත්දැකීම විදගැනීම සඳහා බොහෝ දෙස් විදෙස් පැමිනෙයි.

සංචාරකයින්ගේ සිත් ඇදගත් මෙම ව්‍යාපෘතිය තව තවත් පුළුල් කරමින්, කොළඹ මුහුද ගොඩකෙරෙමින් ඉදිවූ නව වරාය නගර භූමියේ ද එවැනි ධාවන පථයක් ඉදිකිරීම කෙරෙහි ඔවුන්ගේ අවධානය යොමු වෙයි.

මෙහිදී ඔවුහු ඩුබායි හී පැමිනෙන සංචාරකයින්ගේ ආකර්ෂණය දිනාගත් වැලිපර මත ATV රථ ධාවනය මෙරටට හදුන්වා දීමට තිරණය කරයි.

ඒ අනුව ඩුබායි ආභාසය සහිතව ත්‍රාසජනක අත්දැකීමක් ලැබීමට හැකිවන ලෙස වරාය නගරයේ වැලිපර මත ධාවන පථය ඉදිකෙරෙයි. මෙහි ධාවන මාර්ග තුනක් ඇත. පළමුවැන්න ATV රථයක් වැලිකදු මත ධාවනය කිරීමට අත හුරු කර ගැනීමටත්, එම අත්දැකීම විඳගැනීමට ප්‍රවේශය ලබා ගැනීමටත්ය. දෙවැනි මාර්ගය ඉදිවන්නේ PORT CITY යන අකුරුවල හැඩයටයි. මෙම අකුරුවල හැඩයෙන් නිර්මාණය කළ මාර්ගය ඔස්සේ වාහනය ධාවනය කිරී­‍ෙමන් පසුව පහසුවෙන් ATV රථයක් ධාවනය කිරීමේ හැකියාව ලැබේ. තුන්වැනි මාර්ගය ඉදිකර ඇත්තේ පළමු මාර්ග දෙකේ හොදින් ගමන් කිරීමේ හැකියාව ඇති, බියක් සිතෙහි නැති, හොද මානසික හා කායික ශක්තියකින් යුක්ත අයට රථ ධාවනය කිරීම සදහා බව ඇය සඳහන් කළාය.

වැලිපර මත රථ ධාවනය කරමින් නවමු අත්දැකීමක් ලබා ගැනීමේ හැකියාව ඇති පළමු ආසියානු රට ශ්‍රී ලංකාව බවට පත්වන්නේ මේ ආකාරයටයි. මේ ව්‍යාපෘතිය වඩාත් වැදගත් වන්නේ බිඳවැටුණු සංචාරක ව්‍යාපාරය නැංවීම සඳහායි. කොරෝනා වයිරසය හේතුවෙන් ලෝකය පුරා සංචාරක ව්‍යාපාරය බිදවැටිණි. එන්නත්කරණ වැඩපිළිවෙළ සමග සෞඛ්‍ය මාර්ගෝපදේශ යටතේ සංචාරක ව්‍යාපාරය නැවත නඟා සිටුවීම සඳහා ලෝකයේ සෑම රටක්ම විවිධ උපායශීලී ක්‍රමෝපායන් අනුගමනය කරමින් සිටින අවස්ථාවක මෙය ශ්‍රී ලංකාවට විදේශ විනිමය උපයන පෞද්ගලික ආයෝජනයකි. යුරෝපීය රටවලට, අ‍ෙමරිකාවට යන සංචාරකයින්ට මේ අත්දැකීම විඳ ගැනිම සඳහා අවශ්‍ය පරිසරය එම රටවල සැකසී ඇත. ශ්‍රී ලාංකිකයෙක් මෙවැනි අත්දැකීමක් ලබා ගත්තා නම් නම් ඒ ඩුබායි වැනි රටක සේවයට ගිය අයෙක් හෝ සංචාරයට ගිය අයෙකි. දැන් ආසියානු රටවල සංචාරකයන්ට තමන්ගේ කලාපයේ රටකදීම මෙම අත්දැකීම විඳ ගැනීමේ හැකියාව හිමිවෙයි.

සංචාරකයන් සොබා සෞන්දර්යය විදගැනීමට මෙන්ම මෙවැනි ත්‍රාසජනක අත්දැකීම් ලබා ගැනීමට දක්වන කැමැත්ත මෙරට සංචාරක ව්‍යාපාරය නැංවීමට භාවිතා කිරීමේ අවස්ථාව හිමිවන්නේ මෙවැනි නව අදහස් ක්‍රියාවට නැංවීම හරහායි. දෙස් විදෙස් සංචාරක සැමට මෙම නවමු අත්දැකීම විදගැනීමට ඇරයුම් කරන ඇය “අපිට නිර්මාණ හැකියාව තියෙනවා නම් ඕන දෙයක් කරන්න පුළුවන්. අපි හැමදාම අභියෝග ජය ගත්ත අය. හරි දේ හරි විදියටත් වැරදි දේ වැරදි විදියටත් දකින්න පුළුවන් අය. තම තමන්ගේ මානසික මට්ටම් අනුව මේ දේවල් සම්බන්ධයෙන් විවිධ මත දරන්න පුළුවන්. මනස දියුණු අය අලුත් වන ලෝකයත් එක්ක ඉදිරියට යනවා. මනසේ දියුණුව අඩු අය ඒක වෙනත් විදියකට දකින්නත් පුළුවන්. ඕන දෙයක දෙපැත්තක් තියෙනවා. තමන් බලන කෝණයයි, මනසේ දියුණුවේ තරමයි අනුව ඕනෑම දෙයක් දිහා බලන විදිය තීරණය වෙනවා.“ යි කිවාය.

ලෝකයේ පළමු අගමැතිවරියත්, ජනාධිපතිවරියත් බිහි කළේ ශ්‍රී ලංකාවයි. ලාංකීය කාන්තාව අභියෝගවලට මුහුණ දීමට නොපැකිළිව ඉදිරිපත්වෙයි. කාන්තා අනන්‍යතාව වූ සාරිය ඇය බාධාවක් නොගෙන අවස්ථාවට අනුව අපූරුවට කටයුතු කළාය. මේ ධාවන පථය කාන්තාවන්ට ද විවෘත බව ඇය ක්‍රියාවෙන්ම පෙන්නූම් කළාය. සැබැවින්ම ඇය දිරිය කතකි.

0 comment
0

Related Posts

Leave a Comment