Home කාලීන පුවත් වැට පනින්න යන පොහොර යුද්ධය

වැට පනින්න යන පොහොර යුද්ධය

by Hela news

රසායනික පොහොර නොමැතිකමින් රට පුරා ගොවියෝ විවිධ පීඩාවන්ට පත්ව සිටිති. මෙරට නිෂ්පාදනය වන කෘෂි නිෂ්පාදන බහුතරයක මිල ඉහළ යෑම හේතුවෙන් පාරිභෝගිකයෝ පීඩාවට පත්ව සිටිති. රසායනික ගොවිතැනට විකල්ප ලෙස කාබනික ගොවිතැන ආරම්භ කළ ද කාබනික පොහොර නිෂ්පාදනයේ සහ ආනයනයේ ගැටලු ඇතිවිය. චීන කාබනික පොහොර ආනයන අර්බුදය පිළිබඳ මේ වන විටත් පාර්ශ්ව කිහිපයක් එකිනෙකට පරස්පර මත ඉදිරිපත් කරමින් සිටියි. සමස්තය ලෙස පෙනී යන්නේ දේශයේ ප්‍රධාන ජීවනාලිය වන කෘෂිකර්මාන්තය සුවිසල් අර්බුදයකට මැදිව ඇති බවයි.

පසුගිය මැයි මාසයේ දී රජය රසායනික පොහොර ආනයනය හදිසියේම නවතා දැමුවේය. රටට අවශ්‍ය කාබනික පොහොර මෙරට තුළම නිපදවා ගොවීන්ට හිඟයකින් තොරව පොහොර ලබාදෙන බව එහිදී ඔවුහු සපථ කර සිටියහ. කෙසේ නමුත් කාබනික පොහොර නිෂ්පාදනය දේශීය වශයෙන් සිදුකිරීම විශාල අභියෝගයක් විය. සැප්තැම්බර් මාසයේ දී ඇරඹෙන මහ කන්නයේ වී වගාව සඳහා පොහොර සැපයීම අර්බුදයක් බවට පත්වූයේ මේ අනුවය. අවසානයේ කාබනික පොහොර ආනයනය කිරීමට බලධාරීහු තීරණය කළහ.

මෙවර රජය චීනය දෙසට අවධානය යොමු කළේය. අගෝස්තු මාසයේ නිකුත් වූ අමාත්‍ය මණ්ඩල සංදේශයකට අනුව, මුහුදු පැළෑටිවලින් නිපදවන කාබනික පොහොර මෙට්‍රික් ටොන් 99,000ක් ‘කින්ඩාඕ සීවින් බයෝ ටෙක් ගෘප්’ නම් චීන සමාගමකින් ගෙන්වීමට තීරණය විය. කෙසේ නමුත් ආරම්භයේදී පාර්ශ්ව රුසක් කාබනික පොහොර ආනයනය භයානක බවත් ඒ හරහා කෘෂිකාර්මික ව්‍යසනයක් සිදුවනු ඇති බවත් කියා සිටියහ. එහිදී ඊට රජය ප්‍රතිචාර දක්වමින් කියා සිටියේ ලොව පිළිගත් ක්‍රමවේද අනුගමනය කරමින් කාබනික පොහොර ආනයනය සිදු කරන බවකි. ඉදිරියේදී මෙරට කාබනික පොහොර අවශ්‍යතාව දේශීය වශයෙන් සපයා ගැනීමට කටයුතු කරන බවත් ඔවුහු කියා සිටියහ. ඒ අනුව මහ කන්නය සඳහා කාබනික පොහොර ආනයනය කිරීමට රජය විසින් අමෙරිකානු ඩොලර් මිලියන 63.6ක් අනුමත කරනු ලැබීය.

ඒ අනුව අගෝස්තු මස 31දා මෙම ආනයනික පොහොර සාම්පල දෙකක් ජාතික පොහොර ලේකම් කාර්යාලයට ලැබිණි. අනතුරුව එම සාම්පල පරීක්ෂාව සඳහා ජාතික ශාක නිරෝධායන සේවයට වෙත යවනු ලැබීය. මේ හා සමඟම දේශීය කෘෂිකර්මාන්තයට අහිතකර ලෙස බලපෑම් එල්ල කළ හැකි ක්ෂුද්‍රජීවීන් සහ බැක්ටීරියා මෙම සාම්පලවල අන්තර්ගත බවට වාර්තා පළවන්නට විය. පළමු අවස්ථාවේදී කෘෂිකර්ම අමාත්‍යවරයා මේ චෝදනා ප්‍රතික්ෂේප කළේය. ක්ෂුද්‍රජීවීන් හමුවූයේ තම දෙපාර්තමේන්තුව විසින් අවිධිමත් ක්‍රමයකින් ගෙන්වාගත් පොහොර සාම්පලයකින් යැයි ඔහු සඳහන් කළේය.

එහෙත් අවසානයේ තත්ත්වය කණපිට පෙරළමින් චීන සමාගමෙන් ගෙන්වූ පොහොරවල නව සාම්පලයක් පරීක්ෂා කිරීමෙන් අනතුරුව සැප්තැම්බර් 28 වැනිදා කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය අජන්ත ද සිල්වා නිල වශයෙන් හෙළිදරව්වක් සිදු කළේය. එහි අහිතකර ක්ෂුද්‍රජීවීන් සිටිතැයි නිශ්චිතවම පැවසිය හැකි බව ඔහු ප්‍රකාශ කළේය.

පොහොර සාම්පල පරීක්ෂාවේ දී “Erwinia” සහ “Bacillus” නම් ගණයන්ට අයත් ක්ෂුද්‍රජීවීන් ඇතැයි ආරම්භයේ දී වූ හෙළිදරව්ව නිශ්චිතවම තහවුරු කිරීමට ශ්‍රී ලංකා රජය කටයුතු කර නොතිබිණි. කෙසේ වෙතත් Erwinia ගණයේ ක්ෂුද්‍රජීවීන් විශේෂයෙන්ම කෘෂිකාර්මික බෝගවලට විශාල හානියක් සිදු කළ හැකි ජීවීන් බව විද්වත්හු කියා සිටියහ. මේ අතර චීන සමාගමෙන් පොහොර ආනයනය කිරීමට ඉඩ දිය නොහැකි බව කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල්වරයා අවධානය කර තිබිණි. කෙසේ වෙතත් දේශපාලන අධිකාරිය මෙම අර්බුදය හමුවේ නිරුත්තර විය.

අවසානයේ දේශීය විද්වතුන්ගේ නියමයන් පිළිගැනීමට රජයට සිදුවිය. ඒ අනුව සැප්තැම්බර් මස අවසානයේ දී කෘෂිකර්ම ඇමැති මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවසුවේ මෙවර මහ කන්නය සඳහා චීනයෙන් ආනයනය කිරීමට නියමිතව තිබූ නයිට‍්‍රජන් කාබනික පොහොර ආනයනය නොකිරීමට තීරණය කළ බවයි. වගකිව යුතු රජයක් ලෙස මෙරට භූමියට, ශාකවලට හා සත්ත්වයන්ට අහිතකර කිසිදු පොහොර වර්ගයක් ආනයනය නොකරන බවට මෙයට පෙර ලබාදුන් සහතිකය ඒ ආකාරයෙන්ම ක‍්‍රියාත්මක කරන බවද ඔහු පැවසීය.

කෙසේ වෙතත් ශ්‍රී ලංකා රජයේ මෙම තීරණය චීන සමාගමට මෙන්ම චීන රජයට ද බලපෑම් සහගත විය. ඒ අනුව චීන තානාපති කාර්යාලය පොහොර ගැටලුවට මැදිහත් විය. චින්දාවෝ සීවින් බයෝටෙක් ආයතනයේ පොහොර සාම්පලවලින් අර්විනියා හඳුනා ගනිමින් ශාක නිරෝධායන ආයතනය කළ හෙළිදරව්වට කිසිදු විද්‍යාත්මක පදනමක් නොමැති බව ඔවුහු කියා සිටියහ. රජයේ පොහොර ටෙන්ඩරය ලබාගත් සීවින් බයොන් ටෙක් සමාගම ජාත්‍යන්තරය පිළිගත් ඉහළම මට්ටමේ සමාගමක් බවත් එහි කීර්තිනාමයට මෙම අනාවරණය හේතුවෙන් බලපෑම් එල්ල වී ඇති බවත් එම නිවේදනයේ සඳහන් විය.

“Erwinia” බැක්ටීරියාව හඳුනා ගැනීමට ජාත්‍යන්තර ශාක ආරක්ෂක සම්මුතියට අනුව දින 6 ක් ගතවන අතර මෙරට ශාක නිරෝධායන ආයතනය එම 
පර්යේෂණ දින 3කින් නිම කර ඇතැයි මේ හරහා තානාපති කාර්යාලය චෝදනා කර සිටියේය. මෙම සිදුවීමෙන් සමාගමට විශාල මූල්‍ය අලාභයකට ද මුහුණ දීමට සිදුව ඇති බවද ඔවුහු කියා සිටියහ. ඒ අතර පොහොර තොගය ආනයනය අත්හිටුවීම ශ‍්‍රී ලංකාව සහ චීනය අතර ද්වීපාර්ශ්වික සබඳතාවයට බලපෑ හැකි බවට ද චීන තානාපති කාර්යාලය අනතුරු අඟවා ඇතැයි රාවයක් පැතිර ගියේය. කෙසේ වෙතත් පොහොර තොගය ආනයනය කිරීම අත්හිටුවීමට ගත් තීරණය ශ‍්‍රී ලංකාව සහ චීනය අතර මිත‍්‍රත්වයට කිසිදු බලපෑමක් ඇති නොකරන බව, මෙරට චීන තානාපති කාර්යාල ප‍්‍රකාශක Luo Chong ඉංග්‍රීසි පුවත්පතට පවසා තිබිණි.

ද්වීපාර්ශ්වීය සබඳතා පිළිබඳ සංවාදය කෙලෙස අරුත් ගැන්වුණද චීනය එල්ල කරන චෝදනාව සුළු කොට තැකීමට මෙරටට නොහැකි විය. මෙය කෘෂි විද්‍යාව සම්බන්ධව දේශීය විද්වතුන් සැහැල්ලුවට ලක් කිරීමකට සමානය. ඒ අනුව ජාතික ශාක නිරෝධායන සේවය පෙරට පැමිණියේය. චීන පොහොර සාම්පල පරීක්ෂාව විවිධ මට්ටමින් සිදු කළ අතර එය දින තුනකින් පමණක් අවසන් නොකළ බව ඔවුහු කීහ. මූලික පරීක්ෂණවලින් පසුව සිදු කළ පරීක්ෂණ තොරතුරුද ඇතුළත් සම්පූර්ණ වාර්තාව මේ වන විට කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල්වරයාට යොමු කර ඇති බවද එම ආයතනය සඳහන් කළේය.

දේශීය විද්වතුන් රුසක් මේ සම්බන්ධව ප්‍රසිද්ධ මාධ්‍යයේ අදහස් දක්වා තිබිණි. මේ පරීක්ෂණය නිසි ලෙස සිදු කර නොමැති බව ඔවුහු පෙන්වා දුන්හ.
පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කෘෂි විද්‍යා පීඨයේ ශාක ආරක්ෂණය පිළිබඳ මහාචාර්ය දේවිකා ද කොස්තා:
”මේ පරීක්ෂණය හරියට කරලා නැහැ කියන්න කිසිම විද්‍යාත්මක පදනමක් නැහැ. වගා මාධ්‍යවල වගා කරලා තියෙනවා. ඒ වගේම බැක්ටීරියා කොලනි වෙන වෙනම අරගෙන ඒවාට අවශ්‍ය වර්ණ ගැන්වීමේ පර් යේෂණ කරලා තියෙනවා. ඒ බැක්ටීරියාවන් බැසිලස් ද අර්වීනියාද කියන මූලික හඳුනාගැනීම කරන්න සියලුම සම්මත ක්‍රමවේද කරලා තියෙනවා. විශේෂයෙන්ම අර්වීනියා කැරටකෝරා විශේෂය ද කියලා හඳුනාගන්න කරන කැරට් ඩිස්ක් ටෙස්ට් එක කරලා තියෙනවා.”
රුහුණු විශ්වවිද්‍යාලයේ කෘෂි ජීව විද්‍යා පීඨයේ මහාචාර්ය නාලිකා රණතුංග මෙසේ පවසයි.

ජාතික පැළෑටි නිරෝධායන සේවය කියලා කියන්නේ ලොවම පිළිගත් රාජ්‍ය ආයතනයක්. එහි සේවය කරන්නේ ඉතාමත් සුදුසුකම් සහිත විද්‍යාඥයන් සහ රාජ්‍ය නිලධාරීන්. ඉතින් ඔවුන් විසින් යම්කිසි විද්‍යාත්මක තොරතුරක් එළියට දෙන්නෙ ඒ සම්බන්ධයෙන් ප්‍රමිතිගත පරීක්ෂණයක් කිරීම මගින්. ඒ වගේම එම පරීක්ෂණ වාර්තා ඔවුන් රඳවාගෙන තිබෙනවා. මෙවන් චෝදනා පදනමෙන් තොරයි.”
මේ අතර පසුගිය සතිය අවසන් වනවිට සමස්තයක් ලෙස පොහොර අර්බුදය පිළිබඳ විවිධ තොරතුරු වාර්තා විය. මහ කන්නයේ වී ගොවීන් සඳහා අවශ්‍ය කාබනික පොහොර බෙදාහැරීමේ වැඩපිළිවෙළ බ්‍රහස්පතින්දා (13) සිට ආරම්භ විය. ඒ අනුව අම්පාර, අනුරාධපුරය, පොළොන්නරුව, මොණරාගල, ත්‍රිකුණාමලය, මඩකලපුව, කුරුණෑගල, හම්බන්තොට හා පුත්තලම යන වී වගාව බහුලව කෙරෙන දිස්ත්‍රික්ක සඳහා කාබනික පොහොර බෙදාහැරීමේ ප්‍රමුඛතාව ලබා දීමට කටයුතු කරන බව කියැවිණි.
එළඹෙන සඳුදා වනවිට මෙම පොහොර ගොවීන් අතර බෙදා දීමේ කටයුතු කරන බව කෘෂිකර්ම අමාත්‍යවරයා සඳහන් කරයි. ඔහු සඳහන් කරන පරිදි මෙහිදී පොහොර වර්ග හතරක් ගොවීන් වෙත ලැබෙනු ඇත. ඒ අනුව නයිට්‍රජන් සීයට එකක් සහිත කොම්පෝස්ට් පොහොර දේශීය නිෂ්පාදනයක් ලෙස ගොවීන්ට ලබා දීමට නියමිතය. ඊට අමරව ජෛව දියර පොහොර සහ බ්‍රසීලයෙන් ආනයනය කරන ලද පොටෑසියම් ක්ලෝරයිඩ් පළමුව ගොවීන් වෙත ලබා දීම සිදුවේ.

චීන පොහොර ගැටලුවට විකල්ප ලෙස ඉන්දීය මහ කොමසාරිස්වරයා සමඟ සාකච්ඡා කොට ඉන්දීය රජයේ සමාගමකින් නැනෝ නයිට්‍රජන් පොහොර මේ මස අවසානය වන විට ලබාගැනීමට බලාපොරොත්තු වන බව කෘෂිකර්ම අමාත්‍යවරයා කියා සිටියි. මේ වන විටත් ඉන්දියාවෙන් එවන ලද කාබනික පොහොර සාම්පල මෙරට භාවිත කිරීමට සුදුසු බව පරීක්ෂණවලින් තහවුරු වී ඇති බව පසුගියදා පාර්ලිමේන්තුවේ දී අමාත්‍යවරයා කියා සිටියේය. එම පොහොර අවශ්‍ය වන්නේ කුඹුරු වැඩ ආරම්භ වී සති දෙකක් ගතවූ පසුවය. එම නිසාවෙන් මෙවර මහ කන්නය පිළිබඳ බියක් ඇතිකරගත යුතු නැති බවද ඔහු පවසයි.

ලැබී ඇති තොරතුරු අනුව මෙවර මහ කන්නයේදී කුඹුරු හෙක්ටයාර් ලක්ෂ 8ක් වගා කිරීමට නියමිතය. එහෙත් පොහොර ඉල්ලා දිවයින පුරා පැවැත්වෙන ගොවි විරෝධතා මෙතෙක් අවසන් වී නොමැත.

දිනපතාම මාධ්‍ය වාර්තා කරන පරිදි දිවයිනේ විවිධ ප්‍රදේශවල ගොවි විරෝධතා පැවැත්වේ. මෙහිදී ගොවීන්ගේ අවේගශීලී ප්‍රතිචාර ද වර්ධනය වෙමින් පවතී. අවසානයේ සියල්ලෝම මතක තබාගත යුතු කරුණ නම් පොහොර යනු ගොවියාගේ අවශ්‍යතාවක් වුවත් බත යනු මේ මිලියන විසි දෙකක ජනතාවගේ අවශ්‍යතාවක් බවයි. එම නිසාම මෙය වූ කලී නිවැරදිව කළමනාකරණය කරගත යුතු ජාතියේ අනාගතය තීරණය කෙරෙන අර්බුදයකි.

0 comment
0

Related Posts

Leave a Comment