Home ව්‍යාපාර පුවත් වාහන ආනයනයට ඉඩ දෙන දවස ගැන රාජ්‍ය ඇමති සේමසිංහගෙන් ඉඟියක්

වාහන ආනයනයට ඉඩ දෙන දවස ගැන රාජ්‍ය ඇමති සේමසිංහගෙන් ඉඟියක්

by Hela news

වාහන ආනයන සඳහා පනවා ඇති සීමා ඉදිරියේ දී ආර්ථිකය ශක්තිමත් වූ පසු ලිහිල් කිරීමට බලාපොරොත්තු වන බවත් වාහන සඳහා ආනයන සීමා පනවා තිබුණ ද වාහන අමතර කොටස් ආනයනය සඳහා සීමා පනවා නොමැති බව සමෘද්ධි, ගෘහ ආර්ථික, ක්ෂුද්‍ර මූල්‍ය, ස්වයං රැකියා හා ව්‍යාපාර සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පවසයි.

පාර්ලිමේන්තුවේ දී රාජ්‍ය අමාත්‍යවරයා මේ බව අනාවරණය කර සිටියේ, පාර්ලිමේන්තු මන්ත්‍රී මොහොමඩ් මුසම්මිල් මහතා යොමුකළ වාචික ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමිනි.

මෙහිදී අදහස් දැක්වූ සමෘද්ධි, ගෘහ ආර්ථික, ක්ෂුද්‍ර මූල්‍ය, ස්වයං රැකියා හා ව්‍යාපාර සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා,

“මේ වෙන කොට වාහන එකලස් කිරීම අපේ රටේ ආරම්භ කරලා තියෙනවා. ඒ සඳහා අවශ්‍ය බදු සහන සහ අනෙකුත් පහසුකම් සියල්ල අපි මේ වෙන කොට සකස් කරලා තියෙනවා. ඉදිරියේ දී තවත් ආයතන කිහිපයක් මුදල් අමාත්‍යාංශයත් රජයත් සමඟ සාකච්ඡා කරනවා.  ඔවුන්ගේ එකලස් කිරීමේ ප්ලාන්ට්ස් ලංකාවේ පිහිටුවන්න. අපි බලාපොරොත්තු වෙනවා. එක පැත්තකින් මේ වාහන ආනයන කිරීමට පවතින සීමාවන්, මේක ස්ථිරවම අපි පනවපු සීමාවක් නෙමෙයි. නමුත් ඒ අතරතුර අපි එකලස් කිරීමට අවශ්‍ය දිරිගැන්වීම ලංකාව තුළ සිදුකරනවා. ඉදිරියේදී නැවතත් ආර්ථිකය ශක්තිමත් වුණාට පස්සේ අපි පනවලා තියෙන සීමා ලිහිල් කරන්නත් බලපොරොත්තු වෙනවා. හැබැයි ඒ එක්කම මේ වෙනකොටම ආයෝජකයන් කිහිප දෙනෙක් අපිත් එක්ක එකලස් කිරීමේ කටයුතු සඳහා සාකච්ඡා කරමින් පවතිනවා.“

“වාහන ආනයන සම්බන්ධයෙන් සීමා පනවලා තිබ්බාට අමතර කොටස් ආනයනය සම්බන්ධයෙන් සීමා පැනවීමක් සිදුකරලා නැහැ. හැබැයි ඒ එක්කම විවිධ කණ්ඩායම් විසින් අසීමිත ලෙස මිල ගණන් ඉහළ නැංවීමක් සිදුකරලා තියෙන කාරණාවක් අපිට පේන්න තියෙනවා. ඒ වගේම අපි ඉතා මහන්සියෙන් කටයුතු කරනවා මේ වෙලාවේ හැකි ඉක්මනින් මේ කොවිඩ් 19 ලෝක වසංගත තත්ත්වය තුළ ඇතිවෙලා තියෙන බලපෑම අපේ රටේ ආර්ථිකය ශක්තිමත් කරන්නේ කොහොමද කියන කාරණාව පිළිබඳව. මේ තත්ත්වය තුළ ආර්ථිකය නැවත සක්‍රීය වීමත් සමඟ අපිට පුළුවන් වේවි මේ සඳහා, විශේෂයෙන්ම රුපියලේ අගය ස්ථාවර කර ගැනීමත් සමඟ අපට පුළුවන් වේවි මේ තත්ත්වය පාලනය කරගන්න. නමුත් වාහන ආනයනයට සීමා පැනවිලා තිබ්බාට අමතර කොටස් සඳහා අපි සීමා පනවලා නැහැ.“

0 comment
0

Related Posts

Leave a Comment