Home කාලීන පුවත් වස-විසෙන් තොර ආහාර වේලක් සඳහා වූ ජනතා අයිතිය

වස-විසෙන් තොර ආහාර වේලක් සඳහා වූ ජනතා අයිතිය

by Hela news

කෘෂිකර්මාන්තය සඳහා ශ්‍රී ලංකාව සාඩම්බර ඉතිහාසයකට උරුමකම් කියන රටක් ලෙස ලොව ප්‍රකට ය. එනමුත් 21 වැනි සියවස ඇරඹෙන විට වස විස ආහාරයට ගන්නා රටවල් අතර ශ්‍රී ලංකාව ද පෙරමුණ ගෙන තිබිණි. 1960 හරිත විප්ලවයෙන් පසු රසායනික ද්‍රව්‍ය භාවිතය තුළින් ප්‍රමාණාත්මක අස්වැන්නක් ලබා ගැනීමට ගොවීන් උත්සාහ කළ ද එම අස්වැන්න ගුණාත්මක තත්ත්වයේ තිබෙනවා යන්න ගැන සාමාන්‍ය ජනතාවට පවා අවබෝධයක් නොවීය.

වර්තමානයේ බොහෝ පිරිස් වස විස නොමැති ආහාර වේලක් ලබා ගැනීම සඳහා වැඩි අවධානයක් යොමු කර ඇත. එයට හේතුව වී ඇත්තේ රසායනික ද්‍රව්‍ය භාවිත කරමින් ගන්නා අස්වැන්න ආහාරයට ගැනීමෙන් වැලඳෙන රෝග පිළිබඳව ඇති දැනුවත් භාවයයි. නූතන තරුණ පරපුර ක්ෂණික ආහාර, කෘත්‍රිම කල්තබා ගත හැකි ආහාර, රසායනික ද්‍රව්‍ය භාවිත කිරීමෙන් වගාකර ගන්නා ලද එළවළු පලතුරු ආදියට වඩා ශරීරයට හිතකර ස්වාභාවික කාබනික ආහාර වේලක් ලබා ගැනීම සඳහා උනන්දුවක් දක්වනු දැකිය හැකිය.

කාබනික එළවළු පලතුරු වගාකරන ප්‍රමාණයේ ඇති හිඟ බව නිසා දැනට මේ සඳහා ඉහළ ඉල්ලුමක් ඇත. නමුත් රටක සෑම පුද්ගලයකුම වස විසෙන් තොර ආහාර වේලක් ලබා ගැනීම ඉතාමත් වැදගත් වේ. එය වක්‍රව රටේ ආර්ථිකයට බලපානු ඇත.

වැඩි ප්‍රමාණයක් විෂ සහිත ආහාර ගැනීම තුළින් සමාජය රෝගාතුර කළ හැකි අතර එය රටේ ආර්ථිකය කඩා වැටීමට ද හේතුවක් වෙයි. යුද්ධයකට අවි ආයුධ වලින් එක්වර සමූහයක් ඝාතනය කළ හැකි වන්නාසේම, රසායනික ද්‍රව්‍ය ශරීරගත වීම තුළින් ජනතාව ටිකෙන් ටික සාමූහිකව ඝාතනය වේ. රටක බුද්ධිමත් ජනතාවක් ලෙස අපට සිතීමට කාලය එළැඹ ඇත. දිගින් දිගටම රසායනික පොහොර, රසායනික ද්‍රව්‍ය භාවිත කරමින් ආහාර ප්‍රමාණාත්මකව නිෂ්පාදනය කර ගන්නවාද? එසේත් නැතිනම් ජෛව විද්‍යාත්මකව කාබනික ආහාර නිෂ්පාදනය කිරීමෙන් ගුණාත්මක මෙන්ම ප්‍රමාණාත්මක ආහාර නිෂ්පාදනයක් රටට එක් කරනවාද යන්නයි.

කෙසේ වුවත් ජනගහනය වැඩිවත්ම එයට විසඳුමක් ලෙස වැඩි අස්වනු ප්‍රමාණයක් නෙළා ගැනීමේ අරමුණින් විවිධ බෝග ප්‍රභේද හඳුන්වා දීමත් සමඟ රසායනික පොහො⁣⁣ර යෙදීමේ දැඩි උනන්දුවක් දක්නට ලැබුණි. මෙහි අවසාන ප්‍රතිඵලය වූයේ වගා කටයුතුවල දී ගොවීන් රසායනික පොහොර පමණක් භාවිත කරන තත්ත්වයකට පත්වීමයි⁣. මෙමඟින් රටේ කෘෂිකර්ම පද්ධතියට හා ආහාර පද්ධතියට විශාල හානියක් සිදුවිය.

කාබනික ද්‍රව්‍ය සියල්ලම පසෙන් ඉවත්ව ගොස් පස සෝදා පාළුවට ලක්වීමත් සමඟ පසෙහි පැවති පෝෂණ ගුණය ඉන් ඉවත් විය. රසායනික ද්‍රව්‍ය තුළින් පසෙහි ඇති ක්ෂුද්‍ර ජීවීන් විනාශ කරයි. පළිබෝධ නාශක හා රසායනික පොහොර ජලයට මුසුවීමෙන් එම ජලය පානය කරන ජනතාවට ද වකුගඩු රෝග, පාචනය, පිළිකා වැනි රෝග තත්ත්වයන්ට ගොදුරුවන්නට සිදුවිය.

රසායනික පොහොර යෙදූ වගාවලින් බැහැරව යන ජලය ගංගා ඇළ දොළවලට එකතුවීමෙන් පරිසර දූෂණය මෙන්ම සෞඛ්‍ය ගැටලු රාශියකට ම මුහුණදීම දැනට ද සිදුවෙමින් පවතී. ගොවීන් අතර බහුලව දක්නට ලැබෙන වකුගඩු රෝගය ද මෙම අහිතකර ද්‍රව්‍යවල බලපෑමේ ප්‍රතිඵලයකි.

ජෛව විද්‍යාත්මක කාබනික ගොවි රටාවක ට නැවත රට හුරු කිරීමේ අවශ්‍යතාවයක් පැන නැඟී ඇත. ශ්‍රී ලංකාව තුළ කාබනික ගොවිතැන නැවත ස්ථාපනය කිරීම සඳහා භූගෝලීය වශයෙන් හිතකර සාධක ගණනාවක් තිබේ.

ශ්‍රී ලංකාවේ භූගෝලීය පිහිටීම

ශ්‍රී ලංකාවේ මධ්‍යම කඳුකරයේ සිට වෙරළ තීරය දක්වා පිහිටීම බෑවුම් සහිතය.

නිරිත දිග මෝසම් සුළං මගින් හා ඊසානදිග මෝසම් සුළං මඟින් ලැබෙන වර්ෂාපතනය සහ ඒ අතරමැද කාලයේ දී අන්තර් මෝසම් සුළං මගින් ලැබෙන වර්ෂාපතනයෙන් වගාවන්ට අවශ්‍ය ජලය ලැබේ.

මේ වැටෙන වර්ෂාපතනය මධ්‍යම කඳුකරයේ සිට පොළොව මතුපිටින් ගංගා 147 කින් හා අතු ගංගා 53 ක් ඔස්සේ ගමන් කරන අරීය ජලවහන පද්ධතියකින් පිහිටා තිබේ.

මතුපිටට අමතරව පොළොව අභ්‍යන්තරයෙන් පස් අංශුවෙන් අංශුවට ජල තටාක නිර්මාණය කරමින් මුහුද දෙසට ජලය ගලාගෙන යයි. මෙලෙස පොළොව අභ්‍යන්තරයෙන් ගලාගෙන යන ජලය මුහුද ආසන්නයේ වගුරුබිම් ආකාරයට රැඳී සිට ජල අතිරික්ත කාලවල මුහුදට ගලාගෙන යයි.

වසරේ සෑම දිනකම පැය 12ක් රාත්‍රී කාලය සහ පැය 12ක දහවල් කාලය නිසා ශාක වර්ධනයට අවශ්‍ය ආලෝක ප්‍රතික්‍රියාව හා අඳුරු ප්‍රතික්‍රියාව නිසි ආකාරයට ලැබේ.

මෙරට ඇති අසීමිත ජෛව විවිධත්වය හේතුකරගෙන කාබනික කෘෂිකර්මාන්තය සඳහා අවශ්‍ය වන සියලුම ස්වාභාවික සාධක නිර්මාණය කර ගැනීමට හැකියාව.

මේ ආකාරයට බලන කල නැවත කාබනික බෝග වගා කිරීම සඳහා හිතකර ජෛව විද්‍යාත්මක සාධකවලින් පිරි, ශාක වර්ධනය සඳහා අවශ්‍ය සංඝටක පරිසරයෙන් ම ලබාගත හැකි, අපූරු පිහිටීමක් අප සතුය. එසේනම් මීළඟට අප කළ යුත්තේ වසර ගණනාවක් පුරා රසායනික පොහොර, රසායනික ද්‍රව්‍ය භාවිතය මඟින් නිසරු වූ පොළොව නැවත යථා තත්ත්වයට පත්කර ගැනීම සඳහා කටයුතු ආරම්භ කිරීමය. ඒ සඳහා නවීන ජෛව විද්‍යාව උපයෝගී කරගත හැකි වේ.

අද වන විට ලෝකයේ බොහෝ දියුණු රටවල් කාබනික කෘෂිකර්මාන්තය සඳහා යොමුව සිටින අතර ඔවුන් මෙම කාබනික කෘෂිකර්මාන්තය වාණිජමය මට්ටමින් පවත්වාගෙන යාම සඳහා නවීන ජෛව විද්‍යාව උපයෝගී කොට ගෙන ඇත. නවීන ජෛව විද්‍යාත්මක ගොවිතැනේ දී සිදු කරනු ලබන්නේ අප වගාකරනු ලබන බෝගයන්ගේ උපරිම අස්වැන්නක් ලබා ගැනීමට හැකිවන පරිදි ගොවි බිම මතුපිට ඇති සජීවී පස් තට්ටුව වැඩි දියුණු කර ගැනීමය. මෙහි දී බෝගයට හිතකර වන්නා වූ ඇසට පෙනෙන හා නොපෙනෙන සියලු ජීවීන් හට උපරිම ලෙස බෝවීමට සුදුසු පරිසරයක් පාංශු ජෛව ගෝලයෙහි නිර්මාණය කෙරේ.

කාබනික කෘෂිකර්මාන්තයට ක්ෂුද්‍ර ජීවීන්ගේ දායකත්වය

ජෛව විද්‍යාත්මක ක්‍රමයට පොහොර හදන්නේ ඇසට නොපෙනෙන, ඒ වෙනුවෙන් සුවිශේෂී හැකියාවක් ඇති ක්ෂුද්‍ර ජීවීන්ය. “යූරියා” වැනි රසායනික පොහොර හදන්නේ 78%ක් පමණ වූ නයිට්‍රජන් වායුවෙනී. නවීන විද්‍යාත්මක ගොවිතැනේ දී ද ක්ෂුද්‍ර ජීවීන් ට අවශ්‍ය කරන නයිට්‍රජන් ලබා දෙන්නේ වායුගෝලයේ ඇති නයිට්‍රජන් වායුව භාවිතයෙනි. ඒ නිසා කිසිදු ලෙසකින් නයිට්‍රජන් හිඟයක් ඇති වන්නේ නැත. කාබනික පොහොරවල කිසිදු හිඟයක් ඇති නොවන අතර හිඟයක් ඇත්තේ ක්ෂුද්‍ර ජීවීන්ගේ ය. පසුගිය දශක පහක් පුරා කෘෂි රසායන ද්‍රව්‍ය මඟින් පස සරු කරන මෙම සුවිශේෂී හැකියාවන් ඇති ක්ෂුද්‍රජීවී විශේෂයන් සහමුලින්ම විනාශ කර ඇත. ජෛව පොහොර සමාගම් විසින් සිදු කරන්නේ එම සුවිශේෂී හැකියාවන් ඇති ක්ෂුද්‍ර ජීවී විශේෂයන් වෙන් වෙන්ව රැගෙන රසායනාගාර තුළ මහා පරිමාණයෙන් බෝකර ගොවිබිම්වලට සැපයීමය. එමෙන්ම එම ජීවීන්ට වාසය කිරීමට සුදුසු පරිසරයක් නිර්මාණය කර දීමය. යම් හෙයකින් පොස්පරස් හෝ පොටෑසියම් ගොවිබිමේ හිඟ නම් ඒවා නිපදවීම සඳහා ක්ෂුද්‍ර ජීවීන්ගේ ආහාරය සඳහා ශ්‍රී ලංකාව සතු ස්වභාවික සම්පත් වන රොක් පොස්පේට් හා ‍ෆෙල්ස්පා යොදා ගත හැකිය.

ජෛව විද්‍යාත්මක ගොවිතැනේදී ගොවිබිම, පරිසර පද්ධතියක් ලෙස වැඩි දියුණු කෙරේ. බහු බෝග වගාවේ යෙදීමට අවශ්‍ය නවීන ජෛව විද්‍යාත්මක ඝන හා දියර පොහොර නිපදවයි. වල් පැළ වැඩීමට ඇති ඉඩකඩ අහුරයි. පසේ පොහොර විනාශ වී යාමට නොදේ. පලිබෝධ පාලන ක්‍රම සඳහා ජෛව විද්‍යාත්මක ප්‍රයෝග භාවිත කෙරේ. ශාක ශක්තිමත් ලෙස වැඩීමට සැලැස්වීමෙන් කෘමි හා දිලීර උවදුරු අවම කරයි. ජලය සූක්ෂම ලෙස කළමනාකරණය කරමින් බෝග අස්වනු වැඩි කරයි. අඛණ්ඩව වසර පුරාම වගා කළ හැකි තත්ත්වයක් ගොවිබිම නිර්මාණය කරයි. ජෛව විද්‍යාත්මක ගොවිතැනේ අපූර්වත්වය නම් දශක ගණනාවක් තිස්සේ රසායනික ගොවිතැන් ක්‍රම නිසා විනාශ වූ ගොවිබිම්වල පවා ඊළඟ කන්නයේදී ම රසායනික ගොවිතැනට සමාන හෝ වැඩි අස්වැන්නක් ලබාගැනීමට තරම් වර්ධනය කිරීමට ඇති හැකියාවයි.

කාබනික කෘෂි වාණිජකරණය

පසට, ජලයට මෙන්ම මිනිස් ශරීරයට අහිතකර රසායනික ද්‍රව්‍ය භාවිතය තුළින් විශාල අස්වැන්නක් ලබා ගත් ගොවියා කාබනික කෘෂිකර්මාන්තයක් සඳහා යොමුවීමේදී සැලකිලිමත් වන කරුණු කිහිපයක් ඇත. එනම්,

රසායනික ද්‍රව්‍ය භාවිතා කරමින් අක්කරයක් වගා කිරීම සඳහා වන වියදමට වඩා කාබනික පොහොර යොදමින් වගා කිරීමේදී වන වියදම සමාන හෝ ඊට අඩු විය යුතුය.

රසායනික ද්‍රව්‍ය භාවිත කරමින් ලබා ගන්න අස්වැන්නට වඩා, කාබනික පොහොර යොදා ගනිමින් ලබාගන්නා අස්වැන්න සමාන හෝ වැඩි විය යුතුය.

අක්කරයක් වගා කිරීමේදී රසායනික පොහොර භාවිත කරන ප්‍රමාණයට වඩා කාබනික පොහොර භාවිත කරන ප්‍රමාණය සමාන හෝ අඩු විය යුතුය.

මෙම කාරණ මත පදනම්ව ජෛවවිද්‍යාත්මක කාබනික පොහොර භාවිතය තුළින් සාර්ථක අස්වැන්නක් ලබා ගත හැකි බව ජෛව විද්‍යාඥයන් හේතු සාධක ඇතිව පහදා දී හමාරය. එයට කදිම නිදසුන වන්නේ ‘වස විස නැති රටක්’ වැඩසටහන දියත් වූ සමයේ සිට එවක කෘෂිකර්ම අමාත්‍ය දුමින්ද දිසානායක මහතාගේ උපදෙස් පරිදි 2017/18 මහ කන්නයේ දී, කෘෂිකර්ම දෙපාර්තමේන්තුව හා ජනාධිපති කාර්යාලය එක්ව “ජෛව විද්‍යාත්මක” වී ගොවිතැන හා “රසායනික ගොවිතැන” අතර සංසන්දනාත්මක අධ්‍යයනයක් සිදු කරනු ලැබූ අවස්ථාවයි.

කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සතුව ඇති වී පර්යේෂණ මධ්‍යස්ථාන හතරේ පර්යේෂණ ඒකක 5 ක් ස්ථාපිත කර කෘෂිකර්ම දෙපාර්තමේන්තුව රසායනික පොහොර භාවිත කරමින් නිර්දේශ වූ “යාය-2” ත්, ජනාධිපති කාර්යාලය “ජෛව විද්‍යාත්මක” නිර්දේශයන් අනුව සංසන්දනාත්මක පරීක්ෂණයක් සිදු කෙරිණි.

ඒ අනුව දිස්ත්‍රික්ක 9ක, ගොවීහු 151ක් යොදා ගනිමින් සෑම ගොවියකුම ජෛව විද්‍යාත්මකව හා රසායනික ද්‍රව්‍ය භාවිත කරමින් ලියැදි දෙකක් වගා කළහ. සම්පූර්ණ කරන ලද පරීක්ෂණයේ ප්‍රතිඵලය අනුව ගොවීන් 151 දෙනකු ගෙන් 79 දෙනකුගේ අස්වැන්න රසායනික පොහොර භාවිතයෙන් ගත් අස්වැන්නට වඩා වැඩි හා සමාන විය. මෙමඟින් අපට පැහැදිලි කරගත හැකි වන්නේ වාණිජමය කෘෂිකර්මාන්තයෙ හි නියැලෙන ගොවීන්හට කිසිදු ගැටළුවක් නොමැතිව ජෛව විද්‍යාත්මක කෘෂිකර්මාන්තය සඳහා යොමු විය හැකි බවය.

රසායනික පොහොර වගාවන් සඳහා යෙදීමේදී මෙම කන්නයේ ගොවිබිම සඳහා ලබාදෙන පොහොර ප්‍රමාණයට වඩා වැඩි ප්‍රමාණයක් ඊළඟ කන්නයේදී ලබාදිය යුතු වේ. නමුත් ජෛව විද්‍යාත්මකව කාබනික පොහොර භාවිතයෙන් පළමු හා දෙවන කන්නවලදී වැඩිපුර ප්‍රමාණයක් අවශ්‍ය වුව ද, දිගින් දිගටම යෙදිය යුතු පොහොර ප්‍රමාණය අවම වේ. මෙහි වාසිය උකහා ගැනීමට උත්සාහ දරන බහුජාතික රසායන පොහොර සමාගම් කාබනික පොහොර ගොවීන් අතර ප්‍රචලිත කිරීමට කිසිසේත්ම ඉඩ නොතබයි.

ලොව බොහෝ රටවල් වස විසෙන් තොර ආහාර රටාවකට හුරු වෙමින් පවතින නිසා, රට තුළ නිෂ්පාදනය කරන කාබනික ආහාර රටෙහි ජනතාවගේ පරිභෝජනය සඳහා වෙන්කර, එහි අතිරික්තය කාබනික එළවළු පලතුරු සඳහා වැඩි ඉල්ලුමක් ඇති රටවල් සඳහා අපනයනය කිරීම මඟින් රටට විදේශ විනිමය ගෙන ඒම සඳහා කදිම මාවතක් විවර වනු ඇත.

“දේශගුණික විපර්යාසයන්ට තිරසාර විසදුම් සහිත හරිත ආර්ථික රටාවක් කරා” යන්නෙන් අතිගරු ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමන්ගේ යෝජනාවකට අනුව ස්වයංපෝෂිත රාජ්‍යයක්, නිරෝගිමත් ජනතාවක්, ශක්තිමත් ආර්ථිකයක් ගොඩ නැඟීමේ අරමුණු කොටගෙන “වස විසෙන් තොර ශ්‍රී ලංකාවක්” ගොඩනැඟීමේ මුල් අඩිතාලම මේ වන විට වැටෙමින් පවතී. එය මහා යෝධ ප්‍රාසාදයක් වීමට නම් ප්‍රායෝගිකව ක්‍රියාවට නැංවීම සඳහා කාලය එළඹ ඇත.

ශ්‍රී ලංකාව තුළ ‍ජෛව විද්‍යාත්මක දැනුමින් පිරි බොහෝ පිරිස් ඇත. ඒ සඳහා නිරන්තර පරීක්ෂණවල යෙදෙන පර්යේෂණ ආයතන ද තිබේ. ඔවුන් සතුව ඇති ඥානය උපයෝගී කරගනිමින් නිලධාරීන් හා ගොවීන් දැනුවත් කිරීමේ වැඩ පිළිවෙල සංවිධානය කළ හැකිය. එමඟින් ඵලදායි අස්වැන්නක් සඳහා ගොවීන් හුරු කරන්නේ කෙසේද යන්න ගැන දැනුවත් කළ හැකි වේ.

කාබනික පොහොර නිෂ්පාදනය සඳහා උනන්දුවක් දක්වන ව්‍යවසායකයින් හට ඒ සඳහා අවශ්‍ය දැනුම හා පහසුකම් සපයා දීමට රජය කටයුතු කළ යුතුය. මෙමඟින් නව ව්‍යාපාර ආරම්භ වන්නා සේම රටෙහි දැනට පවතින කසළ ගැටලුවට ද විසඳුම් හිමිකර ගත හැකි බව නිසැකය.

නීරෝගි සහ ඵලදායි පුරවැසියෙක්

“සෞභාග්‍යයේ දැක්ම” ප්‍රතිපත්ති ප්‍රකාරව නිරෝගී සහ ඵලදායී පුරවැසියෙක් බිහි කිරීමට වස විසෙන් තොර ආහාර වේලක් සඳහා වූ ජනතා අයිතිය තහවුරු කළ යුතුය. ත්‍රස්තවාදයට එරෙහිව ක්‍රියාත්මක වීමේදී ලෝකයේ බොහෝ දෙනෙක් එය කළ නොහැක්කක් බව පැවසූහ. කාබනික පොහොර වැඩසටහන කෙරෙහි ඇත්තේ ද එවැනිම මතයකි. එය ජයගැනීම යුගයේ අවශ්‍යතාවක් බව ජනාධිපතිතුමා අවධාරණය කළේය. මෙම වැඩපිළිවෙළ සාර්ථක කරගැනීම උදෙසා ගොවියාට අවශ්‍ය කාබනික පොහොර ප්‍රමාණය හිඟයකින් තොරව ලබාදීම අනිවාර්ය බව ද ජනාධිපතිතුමා සඳහන් කළේය.

ඒ සඳහා අවශ්‍ය සම්පූර්ණ කාබනික පොහොර ප්‍රමාණය මෙරටදී නිෂ්පාදනය කිරීමට අපේක්ෂා කරන බවත්, යම් අඩුවක් සිදු වුව හොත් නිකුත් කිරීමට අවශ්‍ය කාබනික පොහොර ප්‍රමාණය රජය මගින් ගෙන්වා ගබඩා කර තබා ගන්නා බවත් කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පෙන්වා දුන්නේය.

ගොවීන්ට කාබනික පොහොර නිකුත් කිරීමේදී පස පරීක්ෂා කර අවශ්‍ය ප්‍රමාණය පමණක් නිර්දේශ කිරීමට විශේෂ වැඩපිළිවෙළක් සහ ඒ සඳහා පස පරීක්ෂණයට අවශ්‍ය උපකරණ දිවයිනේ සියලුම ගොවිජන සේවා මධ්‍යස්ථාන වෙත ලබාදීමට පියවර ගන්නා බව ද මහින්දානන්ද අලුත්ගමගේ මහතා සඳහන් කළේය.

රසායනික පොහොර සහ කෘෂිරසායන විසින් ලෙඩ කර ඇත්තේ මේ මව් පොළොවේ වෙසෙන අප පමණක් නොවේ. රසායනික පොහොර සහ කෘෂි රසායන මව් පොළොවත් දැඩිව ගිලන් කර ඇත. දැවැන්ත ශිෂ්ටාචාරයක් ගොඩ නැගූ වෙනත් රටවල්වලට පවා සහල් අපනයනය කළ ජාතියක් දණගැස්වූ සතුරා මේ රසායනික පොහොර සහ කෘෂි රසායනයි. අප ජාතියක් ලෙස නැඟී සිටිය යුත්තේ මේ පොදු සතුරා පැරදවීමට විනා දේශපාලනිකව බෙදී යාමට නොවේ.

දිනෙන් දින මොහොතින් මොහොත විෂ බින්දුව බින්දුව අපේ ශරීරයට ඇතුළු කරවමින් අපව මරා දමන, අපේ අනාගත පරපුර අංගවිකල බවට පත්කරන මේ සතුරාට එරෙහිව නැඟී සිටින්නට අපට ශක්තිය තිබේද?

0 comment
0

Related Posts

Leave a Comment