Home ක්‍රීඩා පුවත් වසර 21කට පසු ශ්‍රී ලංකාවට පාපන්දු කුසලානයක් දිනා ගැනීමේ අවස්ථාව

වසර 21කට පසු ශ්‍රී ලංකාවට පාපන්දු කුසලානයක් දිනා ගැනීමේ අවස්ථාව

by Hela news

සීෂෙල්ස්ට එරෙහි අවසන් ගැටුම අද තුරඟ තරග පිටියේදී

අගමැති මහින්ද රාජපක්ෂ කුසලාන සිව්කොන් පාපන්දු තරගාවලියේ ශ්‍රී ලංකාව හා සීෂෙල්ස් අතර, අවසන් මහා තරගය අද පස්වරු 7ට අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ හා ලෝක පාපන්දු සම්මේලනයේ සභාපති ගිහානී ඉන්ෆැන්ටිනෝ මහතාගේ ප්‍රධානත්වයෙන් රිඩ් මාවත තුරඟ තරග පිටියේදී පැවැත්වෙයි. මේ අවසන් මහා තරගයේ විශේෂ ආරාධිතයන් ලෙස ක්‍රීඩා ඇමැති නාමල් රාජපක්ෂ මහතා ප්‍රමුඛ මැති ඇමැතිවරුන් හා තානාපතිවරුන් ඇතුළු පිරිසක් සහභාගීවීමට නියමිතය.

වසර 21කට පසු ශ්‍රී ලංකා පාපන්දු පිලට ප්‍රධාන ශූරතාවක් දිනා ගැනීමේ අවස්ථාව අද දිනයේ උදා වී තිබේ. වසර 2000දී මාලදිවයිනේ පැවැති මාලදිවයින ජනාධිපති කුසලාන ආරාධිත පාපන්දු තරගාවලියේ ශූරතාව දිනා ගැනීමෙන් පසුව ශ්‍රී ලංකා පිල මේ වන තුරු ප්‍රධාන පාපන්දු තරගාවලියක ශූරතාවක් දිනා නැත.

එමෙන්ම වසර 15කට පසුව අන්තර්ජාතික පාපන්දු තරගාවලියක අවසන් මහා තරගයකට පිවිසීමේ අවස්ථාව දුෂ්කර ගමනකින් පසු ශ්‍රී ලංකා පාපන්දු ක්‍රීඩකයෝ උදා කර ගත්හ. එැබැවින් මේ අවසන් තරගයේදී සීෂෙල්ස් පිල පරාජයට පත් කරනු ඇතැයි විශාල විශ්වාසයක් පවතී. මාලදිවයිනේ පැවැති දකුණු ආසියා ක්‍රීඩා උලෙළේදී ප්‍රබල ඉන්දීය පිල සමඟ තරගය ජය පරාජයෙන් තොරව නිමා කිරීමෙන් හා ශ්‍රී ලංකාවේ පැවැත්වෙන මේ තරගාවලියේදී කැපී පෙනෙන දක්ෂතා දැක්වීමෙන් ශ්‍රී ලංකා පාපන්දු බලාපොරොත්තු කලකට පසු ඉහළ ගොස් ඇත.

ශ්‍රී ලංකාව අවසන් වරට පාපන්දු තරගාවලියක අවසන් මහා තරගයට පිවිස ඇත්තේ වසර 2006දී කොළඹ සුගතදාස පිටියේ පැවැති දකුණු ආසියා පාපන්දු තරගාවලියේදී වන අතර, එහිදී ගෝල් 1-0කින් පාකිස්තානයට ජය හිමි විය. අනතුරුව සහභාගිවූ කිසිදු තරගාවලියක අවසන් මහා තරගයකට හෝ ශ්‍රී ලංකා පාපන්දු පිල සුදුසුකම් ලබා නැත. එබැවින් වසර ගණනාවක් ජයග්‍රහණ සොයමින් එකතැන කල්මැරූ ශ්‍රී ලංකා පාපන්දු පිලට අගමැති මහින්ද රාජපක්ෂ කුසලාන සිව්කොන් පාපන්දු තරගාවලිය ඉතා හොඳ අවස්ථාවක් වී තිබේ. ශ්‍රී ලංකා ක්‍රීඩා ලෝලීන්ගේ ආශිර්වාදය හා ක්‍රීඩා පිටියේදී සංගීත නාද රටා සමඟ ලැබෙන දැවැන්ත සහයෝගය මේ තරගයේදී ශ්‍රී ලංකා පාපන්දු පිලට අමතර වාසියක් වී තිබේ.

මේ තරගාවලියේ වැඩිම ගෝල් රැස් කළ ක්‍රීඩකයා බවට පත්වෙමින් දැනට ගෝල් 6ක් රැස් කර වාර්තා පොත අලුත් කර සිටින වසීම් රසීක් කෙරෙහි වැඩි අවධානයක් යොමුව පවතී. එබැවින් සීෂෙල්ස් ක්‍රීඩකයෝ විසින් වසීම් රසීක්ගේ දක්ෂතා ආවරණය කිරීමට සෑම උත්සාහයක්ම දරනු ඇත. ජර්මනියේ හා ශ්‍රී ලංකාවේ ද්විත්ව පුරවැසි වසීම් රසීක් ශ්‍රී ලංකා පාපන්දු ඉතිහාසයේ අන්තර්ජාතික තරගයකදී ශ්‍රී ලංකා ක්‍රිඩකයකු රැස් කළ වැඩිම ගෝල් ප්‍රමාණය වාර්තා කරමින් මාලදිවයින සමඟ තරගය ගෝල් 4-4කින් සම කිරීමේ පුරෝගාමියා විය. මේ තරගාවලියේ අවසන් මහා තරගයට පිවිසීම උදෙසා ශ්‍රී ලංකා පිලට ලැබුණු පළමු අවස්ථාව එය විය.

වසර 2018දී ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය අතර, තරගයේදී ශ්‍රී ලංකාව ගෝල් 1-0කින් බංග්ලාදේශය පරාජයට පත් කිරීම ශ්‍රී ලංකාව අවසන්වරට අන්තර්ජාතික තරගයකදී ලැබු පාපන්දු ජයග්‍රහණය විය. දිගින් දිගටම ලැබු පාපන්දු පරාජයන්ට ශ්‍රී ලංකාව තිත තබමින් බංග්ලාදේශය සමඟ තරගය ගෝල් 2-1කින් ජයගෙන අවසන් සටනට පිවිසියේය.

එම තරගයේ 90 වැනි මිනිත්තුව දක්වා ගෝල් 1-1ක් ලෙස තරගය සම වී තිබූ හෙයින් ශ්‍රී ලංකාවට අවසන් මහා තරගයට පිවිසීම ගැටලුවක් වී තිබිණි. එම තරගය ජය ගැනීම අනිවාර්ය වී තිබූ අතර, තරගය අවසන් වීමට ඔන්න මෙන්න තිබියදී බංග්ලාදේශ පිලේ ආරක්ෂක පෙළ ක්‍රීඩකයෙකුගේ නීතිවිරෝධී ක්‍රියාවෙන් ශ්‍රී ලංකාවට දඬුවම් පහරක් පිරිනැමී එය සාර්ථක කර ගැනීමට වසීම් රසීක් සමත් විය. එසේ නොවන්නට ශ්‍රී ලංකාවට අවසන් මහා තරගය මඟ හැරීම අනිවාර්ය වී තිබිණි.

සීෂෙල්ස් පිල මේ තරගාවලියේ මූලික වටයේදී ගෝල් 1-0කින් ශ්‍රී ලංකාව පරාජය කළ අතර, එය දඬුවම් පහරකින් වාර්තා විණි. එයට පෙර සීෂෙල්ස් පිල බංග්ලාදේශය සමඟ තරගය ගෝල් 1-1ක් ලෙස ජය පරාජයෙන් තොරව නිමා කර ගත් අතර, කොම්රෝස්හී මොරෝනී නගරයේ පැවැති අන්තර්ජාතික සුහද පාපන්දු තරගාවලියේදී බුරුන්ඩි රාජ්‍යය වෙතින් ගෝල් 8-1කින් හා කොම්රෝස් පිල වෙතින් ගෝල් 7-1කින් සීෂෙල්ස් පිල දැවැන්ත පරාජයන්ට ලක්ව තිබිණි.

සීෂෙල්ස් පිල ලෝක පාපන්දු කණ්ඩායම් ශ්‍රේණිගත කිරීමේ 199 වැනි ස්ථානයේ හා ශ්‍රී ලංකාව 204 වැනි ස්ථානයේ අද වන විට රැඳී සිටියි.

0 comment
0

Related Posts

Leave a Comment