Home ගොසිප් පුවත් වසර තුනකට පසු එළියට ඇදුණු ගුලාම් හුසේන් ඝාතනය

වසර තුනකට පසු එළියට ඇදුණු ගුලාම් හුසේන් ඝාතනය

by Hela news

ඇඩම් එක්ස්පෝර්ට් පෞද්ගලික සමාගමේ හිමිකාර ගුලාන් හුසේන් මියගොස් තිබුණේ 2017 වසරේ මැයි 9 වැනිදාය. තේ කොළ, කුළුබඩු ඇතුළු අපනයන බෝග පිටරට යවන ප්‍රසිද්ධ ව්‍යාපාරිකයකු වූ ඔහුගේ මරණයෙන් දෙවසරකට පසුව ඇතිවූ සැකයක් මත මළසිරුර ගොඩගෙන විමර්ශනය කිරීමට අධිකරණය නියෝග කරනු ලැබීය. එහිදී හෙළි වී ඇත්තේ මළසිරුරේ හකු ඇට හා ඉල ඇට පිපිරී ඇති බවය. වැඩිදුර විමර්ශනයේදී මොට ආයුධයකින් පහර දී ගෙල සිරකිරීමෙන් මරණය සිදු කර ඇති බව හඳුනාගෙන තිබිණි. එම මරණය ඝාතනයක් බවට අනාවරණය වීම නිසා ඊට සැකපිට ඔහුගේ බාල පුත්‍රයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගනු ලැබීය.

පියා සතු ව්‍යාපාරය හා දේපල තමන් සතු කර ගැනීමේ අදහසින් ව්‍යාපාරිකයාගේ පුත්‍රයා මෙම ඝාතනය සිදු කර ඇතැයි සැකයෙන් වැඩිදුර විමර්ශන සිදු කරයි.

පියාගේ මරණයෙන් දෙවසරකට පමණ පසුව ව්‍යාපාරිකයාගේ බාල පුත්‍රයා එම ව්‍යාපාර සියතට ගනිමින් කටයුතු කරමින් සිටියේය. එම ආයතනයේම අධ්‍යක්ෂකවරයකු වශයෙන් කටයුතු කළ ව්‍යාපාරිකයාගේ වැඩිමහල් පුත්‍රයා හා විදේශ රටක අධ්‍යාපනය ලබමින් සිටි ව්‍යාපාරිකයාගේ බාල දියණියන් දෙදෙනා එක්ව පවුලේ දේපල සම්බන්ධයෙන් කරුණු සොයාගෙන තිබිණි. එහිදී මියගිය ව්‍යාපාරිකයාගේ අවසන් කැමැති පත්‍රය හමුව ඇති අතර එහි සටහන්ව ඇත්තේ සියලු ව්‍යාපාර හා දේපල බාල පුත්‍රයාට පවරා ඇති බවකි. මේ සම්බන්ධයෙන් ඇතිවූ සැකය මත පියාගේ මරණය සැක සහිත බව කියමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඔවුහු පැමිණිල්ලක් ඉදිරිපත් කළහ.

ඒ අනුව විමර්ශන ඇරඹූ නිලධාරීන් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ නියෝග මත විශේෂ අධිකරණ වෛද්‍ය නිලධාරීන් තිදෙනකුගේ අධීක්ෂණයෙන් පශ්චාත් මරණ පරීක්ෂණය පවත්වනු ලැබීය. එය අරඹා තිබුණේ සිරුර ගොඩගත් 2019 ජනවාරි 10 වැනිදා සිටය. 

කොළඹ 14 ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ ඇඩම් එක්ස්පෝර්ට් සමාගම පිහිටා තිබිණි. ප්‍රථමයෙන් තේ අපනයනය කළ ගුලාන් හුසේන් මහතා පසු කලෙක සෙසු ව්‍යාපාර ආරම්භ කොට සිය පුතුන් දෙදෙනාද එහි සේවයට එක් කරගෙන තිබිණි. බාල දියණියන් දෙදෙනා තවමත් අධ්‍යාපනය ලබන බැවින් ඔවුන් ඊට සබඳතාවක් දක්වා නොමැත

ව්‍යාපාරයේ සියලු කටයුතු සම්බන්ධයෙන් දැනුමක් තිබූ බාල පුත්‍රයා සිය පියාට නොකියා ඔහුට අයත් අක්කර තුනක වත්තක් පෞද්ගලික බැංකුවකට උකසට තබා බැංකු ණයක් ලබාගෙන තිබිණි. ඒ පිළිබඳව ව්‍යාපාරිකයා දැනගත් පසු ඒ පිළිබඳව පුත්‍රයාගෙන් විමසා තිබුණේ 2017 මැයි 8 වැනිදාය. මේ ක්‍රියාව පිළිබඳව වැඩිමහල් සහෝදරයාට පියා කරුණු කියා තිබුණහොත් තමා ආයතනයෙන් නෙරපා හරිනු ඇතැයි ඔහු විශ්වාස කර තිබිණි. එසේ නොවන්නට නම් පියාගේ කට වැසිය යුතු බව ඔහු තරයේම විශ්වාස කළේය.

ඊට පිළියමක් කල්පනා කළ ඔහු තනිවම අන්තර්ජාලය පිරික්සමින් තොරතුරු සොයා තිබිණි. එහිදී හදිසියේ ගත යුතු ක්‍රියාමාර්ගයක් වශයෙන් ඔහුට ගෙල සිරකර ඝාතනය කිරීමට අදාළ වීඩියෝ දර්ශනයක් නැරඹීමට හැකිවිය. ඒ අනුව සැලසුම හෙළි නොවන ලෙස රහසේ තබාගැනීමට අපේක්ෂාවෙන් ඒ සඳහා සහායට කෙනකු හෝ යොදාගෙන නොමැත.

මේ වනවිට ව්‍යාපාරිකයා තම පුත්‍රයා අක්කර තුනක ඉඩම උකස් කිරීම හා ඒ පිළිබඳව තොරතුරු දැනගැනීම සඳහා අදාළ බැංකුවෙන් විමසීමට කටයුතු කර තිබිණි. ඒ සම්බන්ධයෙන් සාකච්ඡාවක් සඳහා බැංකුවේ නිලධාරීන් පසු දින කාර්යාලයට පැමිණෙන බවද දන්වා ඇත. ඊට පෙර තමා ක්‍රියාත්මක විය යුතු බව ඔහුගේ බාල පුත්‍රයා කල්පනා කරමින් සිය සැලසුම ක්‍රියාත්මක කරන්නට සිතුවේය.

නෝම්බි දිනයක් වූ එදින පෙරවරුවේ පල්ලියට ගොස් කාර්යාලයට පැමිණි ව්‍යාපාරික ගුලාන් හුසේන් මහතා පුවත්පතක් බලමින් සිට කාර්යාලයේ පිළිගැනීමේ නිලධාරියා වෙත දන්වා තිබුණේ තමා මුණගැසීමට බැංකුවක පිරිසක් එන බවත් ඔවුන් වහාම කාර්යාලය තුළට එවන ලෙසත්ය.

ඊට පෙරාතුව ඔහුගේ බාල පුතා එතැනට පැමිණ පියා සමඟ වාදයක පැටලිණි. ඒ වන විටත් එක් හිතවත් සේවකයකු කාර්යාලයේ දොර අබියස රුඳවීමට පුතා කටයුතු කර තිබිණි. එහිදී බැංකු නිලධාරීන් පැමිණි අතර ඔවුන්ට පෙර කී තැනැත්තා මග අහුරා ඇත. කෙසේ වෙතත් විනාඩි 25ක පමණ කතාව අතරතුර නිලධාරීන් බලහත්කාරයෙන් මෙන් ව්‍යාපාරිකයා අසලට ගිය බව පැවසේ. එතැනදී පුතා හා ව්‍යාපාරික පියා වෙනසක් නොපෙන්වා කතා කරමින් සිටි බව කියයි. බැංකු නිලධාරීන් එතැනින් පිටව ගිය වහාම ව්‍යාපාරිකයා හා බාල පුතා අතර ගැටුමක් ඇතිව පහර දීමක්ද සිදුව තිබිණි. බාල පුතාගේ සහායකයාද එහි පැමිණ යම් සහායක් ලබා දී ඇතැයි කියැවේ. මේ අතර බාල පුත්‍රයා කෑගසා තිබුණේ &තාත්තා මැරුණා.. උදව් කරන්න* යනුවෙන් කියමිනි.

එහිදී තවත් අයගේ සහාය මත ව්‍යාපාරිකයා පිටතට ගෙන රෝහල් ගත කිරීමට ක්‍රියා කර තිබිණි. එහෙත් එම ආසන්නයේ රෝහල් තිබියදී ඊට ඇතුළු නොකර කල් යවමින් සිටි ව්‍යාපාරිකයා රුගෙන ගොස් තිබුණේ නාරාහේන්පිට ලංකා රෝහල වෙතය. ඒ වන විටත් ජීවිතක්ෂයට පත් ව්‍යාපාරිකයාගේ සිරුර සම්බන්ධයෙන් හිතවත් වෛද්‍යවරයකු ලවා ව්‍යාජ වාර්තාවක් සකස් කර රුධිර පීඩනය ඇතුළු රෝග කිහිපයකට දීර්ඝ කාලීනව ප්‍රතිකාර ලබන බව දක්වමින් ස්වභාවික මරණයක් බවට පෙන්වා කොළඹ හදිසි මරණ පරීක්ෂක වෙතින් නිදහස් කොටගෙන මරදාන කුප්පියාවත්ත බෝරා මුස්ලිම් කනත්තේ මිහිදන් කර තිබිණි.

අනතුරුව කාලයක් ගෙවීමෙන් පසුව ඇඩම් එක්ස්පෝර්ට් ආයතනයේ පරිපාලනය හා දේපල පරිහරණය වැඩි වශයෙන් ව්‍යාපාරිකයාගේ බාල පුතා විසින් සිදු කරන්නට විය. එම කටයුතුවල නිරත වැඩිමහල් පුත්‍රයාට හෝ එහි අයිතියක් නොමැති බව දැනී තිබිණි. මේ නිසා බාල නැගණිය හා සමඟ සිදු කළ සොයා බැලීමේදී පියාගේ අවසන් කැමැති පත්‍රය මගින් සියලු වත්කම් බාල පුතාට පවරා ඇති බව දැනගෙන තිබූ අතර එම ලේඛනය පිළිබඳව ඔවුන් සැකකර ඇත. තවදුරටත් සිදු කළ සොයා බැලීමේදී එම ලේඛනය ව්‍යාජව සකසන ලද්දක් බව හඳුනාගෙන තිබිණි. සිදුවීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කර ඇත්තේ ඒ අනුවය.

එහිදී 2019/01/10 වැනිදා මළසිරුර ගොඩගෙන සිදු කළ පරීක්ෂණයේ වාර්තාව 2019/09/02 වැනිදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලැබී තිබිණි. එය 2019/09/08 වැනිදා අධිකරණයට ඉදිරිපත් කර ඇත. එම වාර්තාව පෙන්වා දෙන්නේ මියගිය අයගේ හකු හා ඉල ඇටයක් කැඩී ඇති බවය. එය මොට ආයුධයකින් කළ පහර දීමකින් සිදුව ඇති බව අනාවරණය වී තිබේ. තවදුරටත් එම මරණය ගෙල සිර කිරීමෙන් සිදු කර තිබේද ඒ සඳහා ගෙල බැඳි ටයි පටිය යොදාගනු ඇතිදැයි සෙවීමට විමර්ශන ක්‍රියාත්මකය.

මුස්ලිම් ජාතිකයන් පැය 24ක් තුළ මළසිරුරු භූමදානය කිරීම නිසා බොහෝ අබිරහස් මරණ පිළිබඳව තොරතුරු වැළලී පවතී. ඊට සහාය දක්වන මුස්ලිම් ජාතික වෛද්‍යවරුන් සිටින බවද පැවසෙන අතර මේ කරුණු කොළඹ නාගරික හදිසි මරණ පරීක්ෂණ කාර්යාලයේ හා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු ආරංචි මාර්ගවලින් වාර්තා වේ.

0 comment
0

Related Posts

Leave a Comment