Home කාලීන පුවත් වසංගත කාලයේදී වැඩිහිටි පෝෂණය ගැනත් හිතන්න

වසංගත කාලයේදී වැඩිහිටි පෝෂණය ගැනත් හිතන්න

by Hela news

මහාචාර්ය රනිල් ජයවර්ධන කොළඹ වෛද්‍ය විද්‍යාලය

  • වැඩිහිටියන් එන්නත්කරණය පළමු රාජකාරිය කර ගන්න
  • ප්‍රධාන ආහාර වේල් මඟහරින්න එපා
  • සුව නින්ද මේ කාලයේ අත්‍යවශ්‍යයි

පවුලේ සියලු දෙනාම නිවෙසේ රැඳී සිටින මේ කාලයේ ඔබ නිරතුරුවම ඔබේ දරුවන් වෙනුවෙන් වෙහෙසෙන බවට සැකයක් නැත. ඒ අතරම ඇතැම් විට දැනුම්වත්ව හෝ නොදැනුම්වත්ව හෝ ඔබේ වැඩිහිටියන් ඔබට මඟහැරී යා හැකියි. කොවිඩ් වසංගත තත්ත්වය යටතේ වැඩිහිටියන්ගේ සුරක්ෂිතතාව මෙන්ම ආහාරපාන රටාව කෙසේ විය යුතු ද? යන්න පිළිබඳ කොළඹ වෛද්‍ය විද්‍යාලයේ පෝෂණය සම්බන්ධයෙන් මහාචාර්ය රනිල් ජයවර්ධන සමඟ ‘දිනමිණ’ කළ කතාබහකි.

 කොවිඩ් වසංගතය නිසා අපේ රට තුළ මියගිය සංඛ්‍යාවෙන් වැඩිම ප්‍රතිශතය වයස අවුරුදු 60ට වැඩි කාණ්ඩය බව ඔප්පු වී තිබෙනවා. මේ සම්බන්ධයෙන් ඔබේ අදහස කෙබඳු ද?

අවුරුදු 60ට වැඩි පුද්ගලයන් කොවිඩ් ආසාදනය වීමෙන් ජීවිතක්ෂයට පත් වීමට සහ සංකුලතාවලට ලක් වීමට දැඩි අවදානමක් තිබෙනවා. මේ නිසා මේ කාලය අතරතුර ඔබේ වැඩිහිටියන් පිළිබඳ වැඩි අවධානයක් යොමු කළ යුතුයි. ඔවුන්ගේ ආරක්ෂාව වගේම, පෝෂණ අවශ්‍යතා පිළිබඳ සැලකිලිමත් විය යුතුයි.

වැඩිහිටියන්ගේ ප්‍රතිශක්තිය ප්‍රශස්ත මට්ටමක පවත්වා ගැනීම, මේ කාලයේදී වැදගත් වන්නේ කොහොම ද?

කොවිඩ් කියන්නේ වයිරස ආසාදනයක්. ඒ නිසා අපගේ ප්‍රතිශක්තිය ප්‍රශස්ත මට්ටමක පවත්වා ගැනීම මේ රෝගයෙන් ආරක්ෂා වීමට වගේම, යම් හෙයකින් ආසාදිතයකු බවට පත් වුව හොත්, ඉන් ඇති වන සංකුලතාවලින් ආරක්ෂා වීමටත් ඉතා වැදගත්. ඒ නිසා මේ කාලයේ අවදානම් කාණ්ඩයක් වන වැඩිහිටියන්ගේ ප්‍රතිශක්තිය ප්‍රශස්ත මට්ටමක පවත්වා ගැනීමට අනිවාර්යයෙන්ම අප අවධානය යොමු කළ යුතුයි.

මේ කාලයේ ඔවුන් වෙනුවෙන් ඉටු කෙරෙන ඔබේ පළමු රාජකාරිය විය යුත්තේ, වැඩිහිටියන් එන්නත්කරණය සඳහා යොමු කිරීම සහ නිසි සෞඛ්‍ය පිළිවෙත් පිළිපැදීමට හුරු කිරීමයි. ඔවුන්ගේ ප්‍රතිශක්තිය ප්‍රශස්ත මට්ටමක පවත්වා ගැනීමේදී, නිසි පිළිවෙළට ආහාර ගැනීම, සජලීකරණය වී සිටීම, ක්‍රියාශීලි ජීවන රටාවකට අනුගතව සිටීම, ප්‍රමාණවත් සුව නින්දක් ලැබීම වගේම, යහපත් මානසික සෞඛ්‍ය තත්ත්වයක් පවත්වා ගැනීම වැනි දේ ඉතා වැදගත්.

අප වැඩිහිටියන් පිළිබඳ විශේෂ අවධානයක් යොමු කළ යුත්තේ කුමක් නිසා ද?

ඕනෑම අයකු ක්‍රමයෙන් වයස්ගත වෙද්දී, ඔවුන්ගේ ප්‍රතිශක්තිය අඩු වීම සාමාන්‍ය දෙයක්. කොවිඩ් වැනි වයිරස ආසාදනයකදී පවා වැඩි ම අවදානමක් ඇති කාණ්ඩය වෙන්නෙ වයෝවෘද්ධ කාණ්ඩයයි. එනිසා වැඩිම අවධානයක් යොමු කළ යුත්තේ මේ අය වෙනුවෙනුයි.

වැඩිහිටියන්ගේ පෝෂණ ගැටලු ඇති වීමට බලපාන ප්‍රධාන හේතු මොනවා ද?

ඔවුන්ට ඇති නිදන්ගත රෝග මෙහිදී විශේෂයෙන්ම බලපානවා. රුධිරගත මේදය (කොලෙස්ටරෝල්) හේතුවෙන් ඔවුන්ට දෙන තෙලෙන් සැකසූ ආහාරත්, අධිරුධිර පීඩනය හේතුවෙන් ලුණු කෑමත්, දියවැඩියාව හේතුවෙන් පලතුරු කෑමත් මේ වන විට නැවතී තිබෙන්න පුළුවන්. මේ කණ්ඩායම නිදන්ගත රෝගවලින් පෙළීමට ඇති හැකියාව වැඩි නිසා, බොහෝ දුරට මොවුන්ගේ ආහාර පුරුදු පාලනය වී තිබෙන්න පුළුවන්. මේ නිසාම ඔවුන්ගේ ශරීරයට ලැබෙන පෝෂණ සංඝටකවල ද අඩුවක් විය හැකියි. දෙවැනි හේතුව: ක්‍රමයෙන් වයස්ගත වන විට ගන්නා ආහාර ප්‍රමාණය අඩු වීමයි. ආහාර රුචිය අඩු වීම, දත්තවල ගැටලු මතු වීමත් සමඟ හැපීමේ හැකියාව අඩු වීම වැනි තවත් කාරණා මේ සඳහා බලපානවා. වයෝවෘද්ධ පුද්ගලයන් තනිව සිටින නිවෙස්වල ආහාර පිස ගැනීමේ හැකියාව සහ ආහාර ද්‍රව්‍ය මිලට ගැනීමේ හැකියාව අඩු වීම, ආර්ථික ප්‍රශ්න, දරුවන් මත යැපීමට සිදු වීම වැනි සියලු හේතු මුල් කර ගෙන වැඩිහිටියන් ආහාර පාන ගැනීමේ අඩුවක් දැකිය හැකියි.

එසේම ශ්‍රී ලංකාව වැනි රටවල ඇතැම් කාන්තාවන් වයස්ගත වෙද්දී, ආගමට දහමට වැඩිපුර නැඹුරු වීම නිසා, මස් මාංස ආහාරයට ගැනීම අවම කිරීම සහ සම්පූර්ණයෙන් ම නවතා දැමීමත් මේ සඳහා බලපාන හේතුවක්. මීට අමතරව වයස්ගත වන විට ශරීරයේ සිදු වන යම් යම් වෙනස් වීම් හේතුවෙන් ආහාරයට ගන්නා දේ නිසි ලෙස ශරීරයට උරා නොගැනීමේ සහ නිසි ලෙස ජීරණය නොවීමේ ගැටලු ඇති වීම හේතුවෙන්, වැඩිහිටියන් මන්දපෝෂණ තත්ත්වයට යෑමේ හැකියාව ඉතා ඉහළයි. මන්දපෝෂණ තත්ත්වයක් මත ඔවුන්ගේ ප්‍රතිශක්තිය තවත් අඩු වනවා. එමඟින් කොවිඩ් ආසාදනය වීමටත්, ආසාදනය වීමෙන් සංකුලතා ඇති වීමට සහ ජීවිතක්ෂයට පත් වීමටත් ඇති හැකියාව ඉහළ යනවා.

මේ කාල පරිච්ඡේදයේ නිදන්ගත රෝගවලින් පෙළෙන වැඩිහිටියන්ට තිබෙන්නේ වැඩි අවදානමක් නේද?

නිදන්ගත රෝග ඇත් නම් එය කොවිඩ් වැනි රෝග තත්ත්ව හේතුවෙන් ජීවිතක්ෂයට පත් වීමට බලපාන ප්‍රබල හේතුවක්. එබැවින් එවැනි රෝගවලින් පෙළෙන්නන් මේ අවස්ථාවේ තම වෛද්‍යවරයාගේ උපදෙස් මත නිසි ලෙස කලට වේලාවට ඖෂධ ගනිමින් ඒ රෝග පාලනය කර ගැනීම වඩා වැදගත්.

වැඩිහිටියන්ගේ ආහාර පාන සම්බන්ධයෙන් සැලකිලිමත් විය යුත්තේ කෙසේ ද?

වැඩිහිටියන්ට පෝෂ්‍යදායක ආහාර පාන දීම පමණක් ප්‍රමාණවත් නැහැ. ඔවුන් ඒවා ආහාරයට ගන්නවා ද? නැති ද? යන්න පිළිබඳ සැලකිලිමත් විය යුතුයි. ඔවුන් ප්‍රධාන ආහාර වේල් තුන ගන්නවා ද? ඒ ආහාර වේල්වල අවශ්‍ය කරන පෝෂණ සංඝටක තිබෙනවා ද? යන්න නිරතුරුව සොයා බැලිය යුතුයි.

ඔවුන්ගේ ආහාර වේල්වල පිෂ්ටය සහිත ආහාරයක්, මැල්ලුමක් සමඟ එළවළු වර්ග දෙක තුනක් වගේම ප්‍රෝටීන් සහිත ආහාරයක් අන්තර්ගත වීම අතිශය වැදගත්. අතුරු ආහාර ගැනීමේදී බිස්කට්, කේක් වගේ දේ වෙනුවට ගස්ලබු, කෙසෙල් වැනි පලතුරු එක් කර ගැනීම ගුණදායකයි. එහිදී ජමනාරං, දොඩම්, පැණි දොඩම් වැනි දේ ගැනීමෙන් ශරීරයට විටමින් සී හොඳින් ලැබෙනවා. මීට අමතරව අතුරු ආහාර ලෙස කිරි සහ කිරි ආහාර ගැනීම ද වැදගත්. සාමාන්‍යයෙන් වැඩිහිටියකු දිනකට පලතුරු වර්ග දෙක තුනක් සහ කිරි ආහාර වර්ග දෙකක් ගත යුතුයි. එමඟින් අවශ්‍ය කරන විටමින්, කැල්සියම් වැනි දේ ශරීරයට එකතු වනවා. ඒ වගේම ආහාර මාර්ගයේ නීරෝගිකමට ද එය හේතුවක්.

මීට අමතරව හැකි නම් ඇට වර්ග, වියළි පලතුරු වැනි දේ ඔවුන්ට දීම වැදගත්. විජලනයට පත් වීම වැඩිහිටියන් අතර පවතින තවත් ගැටලුවක්. ඇතැම් විට ඔවුන්ට පිපාසය දැනෙන්නේ අඩුවෙන්. ජලය පානය කිරීම සඳහා එතරම් උනන්දුවක් දක්වන්නේ නැහැ. මේ හේතුවෙන් ප්‍රතිශක්තියට ගැටලු ඇති වනවා වගේ ම, මලබද්ධය වැනි ගැටලු ඇති වනවා. ඒ නිසා ඔවුන් සැලකිල්ලෙන් යුතුව දිනකට ජලය ලීටර් දෙක තුනක් පමණ පානය කළ යුතුයි.

ජලය පානය කිරීමට ඇති කැමැත්ත අඩු නම්, තේ, පොල්පලා, රණවරා, බෙලි මල්, කොත්තමල්ලි වැනි ඔසු පැන් පානය කළ හැකියි. මේවායෙන් සජලීකරණයට වාසියක් තිබෙනවා. පැණි බීම වර්ගවලින් ඈත්ව සිටීම වැදගත්. මේ නිරෝධායන ඇඳිරිනීති කාල සීමාව තුළ, ඇතැම් වයස්ගත මව්පියන් නිවෙස්වල තනිව සිටිනවා. දූදරුවන් සිටින්නේ දුර බැහැර හෝ එතෙර. එවැනි මව්පියන් වෙනුවෙන් විශේෂ සැලකිල්ලක් දැක්විය යුතුයි. ඔවුන් රැක බලා ගැනීමට දූදරුවන් හෝ වෙනත් ඥාතියකු විසින් වැඩපිළිවෙළක් යෙදීම මහත් පුණ්‍යකර්මයක්. මේ අය කුඩා දරුවො වගේ. තමන්ගෙ දරුවන්ගෙන් හෝ ඥාතීන්ගෙන් ආහාර පාන ඉල්ලා සිටින්නේ නැහැ. ඇති හැටියට කා බී ජීවිතය ගැටගසා ගන්නවා පමණයි. ඔවුන් ඉල්ලා නොසිටියත්, ඔවුනට අවශ්‍ය දේ හැකි පමණින් හෝ සපයා දීම දූදරුවන්ගේ යුතුකමක්.

අතීතයේදී වයිරස රෝග වැලඳුණ විට, ඒවා ‘දෙයියන්ගේ ලෙඩ’ යැයි හඳුන්වමින්, මස්, මාළු කෑ විට ‘කිලි’ යැයි කියමින් මස් මාළු කෑමෙන් වැළකී සිටියා. කොවිඩ් හමුවේත් එසේ කළ යුතු ද?

එය සම්පූර්ණයෙන් ම වැරැදි මතයක්. මෙවැනි අවස්ථාවක අවශ්‍ය ප්‍රමාණයට ප්‍රෝටීන් ගැනීම වැදගත්. විශේෂයෙන් ම වැඩිහිටියන් මේ අවස්ථාවේ මස්, මාළු, බිත්තර, කරවල වැනි දේ ආහාරයට එක් කර ගත යුතුයි. එසේම සෝයා මීට්, කඩල, මුංඇට වැනි දේ යම්කිසි ප්‍රෝටීන ප්‍රමාණයක් ගත හැකියි. මස් මාළු ආහාරයට ගැනීම නවතා දැමීමට මෙය සුදුසු අවස්ථාව නොවෙයි.

මින් පෙර මස්, මාළු ආහාරයට ගත් වැඩිහිටියන් අනිවාර්යයෙන් ම ප්‍රධාන ආහාර වේල් තුනට ම මස්, මාළු ඇතුළු ප්‍රෝටීන් අඩංගු ආහාර හැකි පමණින් එක් කර ගැනීම වටිනවා. තරුණයකු මස්, මාළු ආහාරයට නොගත්ත ද, ඔහුගේ ශරීරයේ සවි ශක්තිය තිබෙනවා. එහෙත් ක්‍රමයෙන් වයෝවෘද්ධ වන විට ශරීරයේ සවි ශක්තිය හීන වනවා. එහෙත්, ප්‍රෝටීන් සහිත ආහාර අවශ්‍ය පරිදි ගන්නවා නම්, වයෝවෘද්ධ වන විට ශරීර ශක්තිය යහපත් මට්ටමක පවත්වා ගැනීමට පුළුවන්. ප්‍රෝටීන්, ශරීර ශක්තිය ඇති කිරීමට පමණක් නොවෙයි, ප්‍රතිශක්තියටත් ඉතා වැදගත්. සෑම ආහාර වේලකට ම ප්‍රෝටීන් එක් කර ගත යුත්තේ ඒ නිසයි.

ලැබෙන ආහාර කළමනාකරණය කර ගැනීම මේ අවස්ථාවේ ඉතා වැදගත් නේද?

හැකි අවස්ථාවලදී වැඩිහිටියන්ට ආහාරයට ගැනීම සඳහා එළවළු, පලතුරු තරමක් වැඩිපුර මිල දී ගෙන ශීතකරණයේ තැබිය හැකියි. ශීතකරණයේ තැබූ විට ආහාරවල පෝෂණ සංඝටක අඩු වන බවට ඇති මතය අරුත්සුන් එකක්. මේ නිරෝධායන කාල සීමාව තුළ සියලු දෙනාට හොඳ එළවළු, පලතුරු අවශ්‍ය පමණට සොයා ගැනීම අපහසු නිසා, ලැබෙන හැම අවස්ථාවක ම එම ආහාර කළමනාකරණය කර ගෙන, ආහාර වේල් අතර බෙදා ගෙන ආහාරයට ගැනීමට කියා දීම වැදගත්.

ඇතැම් වයස්ගත මව්පියන් තුළින් බර අඩු වී ගිය, කෙසඟ වී ගිය, ආහාර අඩුවෙන් ගන්නා ස්වභාවයක් දිස් වෙනවා. ඔවුන්ගේ පෝෂණය ඉහළ නැංවීම සඳහා කළ හැක්කේ කුමක් ද?

එවැනි අයගේ ආහාරවල කැලරි ප්‍රමාණය වැඩි කිරීමට කුඩා ප්‍රමාණයකින් සෝයා තෙල් වැනි සෞඛ්‍යයට හිතකර තෙල් වර්ගයක් එකතු කර ගත හැකියි. එසේ ම ඔවුන්ට එකවර ප්‍රමාණවත් ආහාර වේලක් අනුභව කළ නොහැකි නම්, වරින් වර කුඩා ආහාර වේල් 7-8ක් පමණ දෙමින්, ඔවුන්ගේ ආහාර අවශ්‍යතාව සහ පෝෂණ අවශ්‍යතාව සපුරාලිය හැකියි. සෞඛ්‍යයට හිතකර දියර ආහාර දීමත් කරන්න පුළුවන්. මෙහිදී ලුණු කැඳ, පෙරූ සුප්, කොත්තමල්ලි වතුර වැනි දේ දීමෙන්, ආහාර අඩුවෙන් ගන්නා, කෙසඟ, බර අඩු වැඩිහිටියකුගේ සෞඛ්‍ය ගැටලුවලට විසඳුමක් දිය නොහැකියි. ඔවුන්ගේ ආහාරවල කැලරි ප්‍රමාණය වැඩි කර ගැනීමට මෝල්ට් අඩංගු කිරි, පෝෂ්‍යදායි අතිරේක ආහාර වැනි දේ දිය හැකියි.

දියර ආහාර දිය යුත්තේ ඔවුන් ආහාර ගත් පසුවයි. නැත හොත් සුප්, කිරි වැනි දේ පානයෙන් පසු ඔවුන් ප්‍රධාන ආහාර වේල් මඟහැරී යෑමට ඉඩ තිබෙනවා. අවශ්‍ය පරිදි ආහාර නොගන්නා වැඩිහිටියන්ට යෝගට්, මීකිරි වැනි දේ ආහාරයට දීම සුදුසුයි. වයෝවෘද්ධ වන විට රස දැනීම අඩු වන නිසා, ඔවුන්ගේ ආහාර සකසන විට සේර, කරපිංචා ඇතුළු දේශීය කුළුබඩු යොදමින් හැම විට ම ආහාර රසවත්ව සකසා දීම වැදගත්. ඒ වගේම, දියවැඩියා රෝගයෙන් පෙළෙන්නේ නැති නම්, ලුණු වගේම සීනි ස්වල්පයක් වුවත් ආහාර පානවලට එක් කර, ඔවුන්ගේ කෑම රුචිය වඩාලිය හැකියි.

වැඩිහිටියන් සඳහා විටමින් සහ ආහාර අතිරේක ලබා ගත යුත්තේ කෙසේ ද?

විටමින් සහ ආහාර අතිරේක ගත යුත්තේ වෛද්‍ය උපදෙස් මතයි. කෙසේ වෙතත් මේ වකවානුවේ බොහෝ වැඩිහිටියන්ට විටමින් ඩී ඌනතාවක් ඇති විය හැකියි. විටමින් ඩී ලැබෙන්නේ හිරු එළියෙන්. මේ දිනවල වයස්ගත පුද්ගලයන් නිතර නිවෙස් තුළට ම වී සිටින්නේ නම්, ඔවුන්ට විටමින් ඩී ලැබෙන්නේ අඩුවෙන්. එවැනි වැඩිහිටියන්ට විටමින් ඩී ලබා දිය හැකියි.

වයෝවෘද්ධ පුද්ගලයන්ට අස්ථි භංග වීමේ වැඩි අවදානමක් පවතිනවා. කැල්සියම් දීමේදී ඉහළ වටිනාකමක් තිබෙනවා. එසේම වයස්ගත වන විට ශරීරයේ උරා ගැනීමේ හැකියාව අඩු වන නිසා, කෙටි කලකට බී 12 විටමින් දිය හැකියි. කෙසේ වෙතත්, ප්‍රතිශක්තිය විශාල වශයෙන් වෙනස් කරන විශේෂ මැජික් විටමිනයක් හෝ ඖෂධීය නිෂ්පාදනයක් නම් නැහැ. එබැවින් වෙළෙඳපොළේ ඇති විවිධ නිෂ්පාදනවලට රැවටී අනවශ්‍ය ලෙස මුදල් වියදම් කිරීම නිෂ්ඵල ක්‍රියාවක්.

පෙර සඳහන් කළ පරිදි මූලික කරුණු නිසි ආකාරයට අනුගමනය කරද්දි, ප්‍රතිශක්තිය ප්‍රශස්ත මට්ටමක පවත්වා ගත හැකියි. මේ ගත වන්නේ කාටත් අසීරු කාලයක් බව සැබෑවක්. කෙසේ වෙතත් ඔබට ඔබේ වැඩිහිටියන් රැක ගැනීමට අවශ්‍ය නම්, ඔවුන්ට පෙරට වඩා වැඩි අවධානයක් දීම අත්‍යවශ්‍ය බව සිහි තබා ගත යුතුයි.

0 comment
0

Related Posts

Leave a Comment