වරාය නගරයටත් බලපාන්නේ රටේ නීතියයි ඉඩම්වල අයිතියත් රජයට කොමිසමේ සාමාජිකයන් තෝරන්නේ ජනපතියි

0
102

කොළඹ වරාය නගර ආර්ථික කලාප කොමිෂන් සභාවට සාමාජිකයන් පත් කිරීමට මෙන්ම ඕනෑම අවස්ථාවක ඔවුන් ඉවත් කිරීමටද ජනාධිපතිවරයාට බලය ඇති බව මුදල් හා ප්‍රාග්ධන වෙළෙඳපොළ සහ රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ රාජ්‍ය ඇමැති අජිත් නිවාඩ් කබ්රාල් මහතා ප්‍රකාශ කළේය. මේ පනත් කෙටුම්පතට අදාළ සියලු කටයුතු මෙරට නීතියට අනුව වන අතර, එහි කිසිම තැනක වරාය නගරය චීනය සතු කොලනියක් වන්නේ යැයි සඳහන්ව නැති බවත් රටේ නීති පද්ධතිය වරාය නගරය තුළද එලෙසම ක්‍රියාත්මක වන බවත් රාජ්‍ය ඇමැතිවරයා පැවසීය.

රාජ්‍ය ඇමැති අජිත් නිවාඩ් කබ්රාල් මහතා මේ අදහස් පළ කළේ කොළඹ වරාය නගර ආර්ථික කලාප කොමිෂන් සභාව සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කිරීමට මුදල් අමාත්‍යාංශයේදී ඊයේ (16) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

ජනාධිපතිවරයා නම් කරන සාමාජිකයන් පස්දෙනකුගේ සිට හත් දෙනකු දක්වා වන සාමාජිකයන් ප්‍රමාණයක් මේ කොමිෂන් සභාව නියෝජනය කරන බව ප්‍රකාශ කළ රාජ්‍ය ඇමැතිවරයා මේ ආර්ථික කලාපය තුළ ලොව ඕනෑම ආයෝජකයකුට ආයෝජනය කිරීමට අවශ්‍ය පහසුකම් සලසා දීම එම කොමිසමේ වගකීම බවත් පැවසීය.

මේ කොමිෂන් සභාවේ කටයුතුවලට රජයේ මුදල් වැය නොකෙරෙන අතර, අදාළ ව්‍යාපෘති සමාගම ඊට අවශ්‍ය මුදල් ප්‍රතිපාදන වෙන් කරන බවත් කොමිෂන් සභාවේ විගණන කටයුතු විගණකාධිපතිවරයා විසින් තෝරා ගනු ලබන අන්තර්ජාතික විගණන සමාගමක් ඉටු කරනු ඇති බවත් ඇමැතිවරයා පෙන්වා දුන්නේය.

මෙරට ඕනෑම පුද්ගලයකුට වරාය නගරයට ඇතුළුවීමේ බාධාවක් නොමැති බවත් වරාය නගරයේ ඉඩම්වල අයිතිය රජය සතු වන බවත් ඇමැතිවරයා ප්‍රකාශ කළේය.

වරාය නගරයේ ව්‍යාපාර කරන ආයෝජකයන් පිළිබඳ රජය සහ තවත් ආයතන කිහිපයක් විසින් අන්තර්ජාතික නීති රීති යටතේ සෝදිසි කර බැලීමට පියවර ගන්නා බැවින් එවැනි කිසිදු අනිසි ක්‍රියාවක් මේ ව්‍යාපෘතිය යටතේ නොවන බවට ජනතාවට සහතික වන බවද හෙතෙම මෙහිදී අවධාරණය කර සිටියේය

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here